රටේ ඇතිවන ගැටලු හෝ සංහිඳියාව හෝ ජාතික අරමුණු හෝ වෙනයම් ජාතික අවශ්‍යතාවක් නිසා හෝ කලාකරුවා දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුද යන්න ප්‍රශ්න කිරීමට අපි සිතුවෙමු.
ඒ මීට පෙර අවස්ථාවලදී පළමුව ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටිනා වග පවසමින් ආණ්ඩුවලට පක්ෂපාතී වූ ඇතැම් කලාකරුවන් පසුව ඒ හරහා අයුතු ලාභ ප්‍රයෝජන ලබාගත් බවටත්, දේශපාලන වාසි ලබාගනිමින් කලාවට නිග්රහශීලී හැසිරෙමින්, සිය ජනප්‍රියත්වය භාවිත කරමින් දේශපාලනයටද පිවිස ජරාජීර්ණ වූ අවස්ථා මේ මොහොත වනවිටත් අපට දකින්නට ලැබෙන බැවිනි.
මෙවැනි මාතෘකාවක් කරළියට ගෙන ඒමට බලපෑ තවත් හේතුවක් තිබේ. ඒ මෑතකදී පවත්වනු ලබන බවට ඉඟි පළවන මැතිවරණයක් පිළිබඳවද නිල නොවන ආරංචි මගින් වාර්තා වන බැවිනි. මේ ඒ පිළිබඳව ස්වාධීන මතධාරී කලාකරුවන් කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලාල් රෝහණ
කලාකරුවෙකුට දේශපාලනයක් තියෙනවා. ඒත් දේශපාලන පක්ෂයක් බදාගන්න ඕන නැහැ. මොකද කලාකරුවාට රටක ජනතාව රොක් වෙන්නේ පක්ෂ භේදයකින් තොරව. ඒ නිසා පක්ෂවලට බෙදුණු කලාකරුවන්ට අද රටම නැති තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. එවැනි කලාකරුවන්ට ජනතාව බනින ස්වරූපයක් තමයි තියෙන්නේ.
ඒ නිසා කලාකරුවා කියන්නේ ජාතික සම්පතක් බව කලාකරුවන් වටහාගත යුතුයි. මේ ගැන ලෝක ප්‍රකට වික්ටර් හාරා පවා කියා තියෙනවා. ඔහු කියන්නේ කලාකරුවා කියන්නේ සමස්ත දේශපාලනයටම ගැළපෙන ගරිල්ලා භටයකු විය යුතු බවයි. ඒත් අපේ රටේ නම් අද තියෙන්නේ බඩගෝස්තරවාදී වැඩ. දේශපාලඥයන් ආවම බයාදු, හිඟා කන කලාකරුවන් පිරිසක් තමයි අද ඉන්නේ.
කලාකරුවන් පහතට ඇද වැටිලා තියෙන්නේ මේ දීනකම නිසා. ඒත් කලාකරුවා එහෙම දීන විය යුතු නැහැ. ඔවුන් දැකිය යුත්තේ පවතින ක්‍රමය තුළ පවත්නා ගැටලුව. එයයි ප්‍රශ්න කළ යුත්තේ. ඒ සඳහායි කැප විය යුත්තේ. අනික දේශපාලනඥයන් විසින් කලාකරුවන්ට එවන ලිපි දැක්කම ඇඟ හිරි වැටෙනවා. ඒ තරමටම කලාකරුවා පහළට වැටිලා. මටත් එවැනි ලිපි එවලා තියෙනවා. ඒත් අපි පහළට වැටුණේ නැහැ. මම ළඟ සාක්ෂි තියෙනවා ඒවට. ඒ නිසා බුද්ධිමත් කලාකරුවා ගනුදෙනු කළ යුත්තේ සමස්ත දේශපාලන දර්ශනය එක්ක.
ඒත් ඒක බොහෝ අයට තේරෙන්නේ නැහැ. මොකද එයාලා හරියට ඉගෙනගත්තු මිනිස්සු නෙමෙයි. ඒ නිසා සමහරු වචන වෙනස් කරගෙනත් දේශපාලනයට යට වෙන්න හදනවා. අනික කොටියාගේ පුල්ලි මාරු වුණා කියලා කැලේ මාරුවෙන්නේ නැහැනේ.
කලාකරුවා කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්න කෙනෙක් නෙමෙයිනේ. ඒ නිසා ඔවුන් මහන්සි ගත යුත්තේ පවතින ක්‍රමය වෙනස් කරන්නයි. කලාකරුවා දැනගන්න ඕන තමන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ගන්න. එහෙම නැතුව නපුංසකයෝ වෙලා හරියන්නේ නැහැ. කම්මැලි වෙලා හරියන්නෙ නැහැ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාගේශ්‍රී ෆොන්සේකා
ප්‍රශ්නෙම වැඩවසම්. අද කලාකරුවා කියල කෙනෙක් නැහැ. කලාකරුවෝ හිටියෙ වැඩවසම් යුගයේ. යම්කිසි රාජ්‍යයකින් හෝ ප්‍රතිපාදන මත යැපෙමින් මිනිසුන් උදෙසාම වැඩ කරපු අය තමයි කලාකරුවෝ. නමුත් අද කලාව වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන තවත් භාණ්ඩයක් බවට පත්වෙලා. ඒ නිසා එම භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවි කරන්නාට අපි කලාකරුවෝ කියන්නේ නැහැ.
අපි ඒ අයට කියන්නේ නිර්මාණකරුවෝ කියලා. පක්ෂ දේශපාලනය පැත්තකින් තිබ්බොත් නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණ තුළින් සමාජයට සන්නිවේදනය කරන දේශපාලනයක්, දෘෂ්ටිවාදයක් වෙනම තියෙනවා. ඔහු එයින් කරන්නේ වඩාත් යහපත් වූ සමාජ තත්ත්වයක් අත්පත් කර දීමට ඔහුගේ මතවාදය සමාජයට සන්නිවේදනය කිරීමයි.
මේක තමයි ඔහුගේ දේශපාලනය. අනෙකුත් වෘත්තීන්ට වගේම තමන් අදහන දේශපාලනයේ යෙදීමට නිර්මාණකරුවාටද හැකියාව තිබිය යුතුයි. හැබැයි වෙනස තියෙන්නේ සමාජයට විමුක්තියක් ලබාදීම පසෙකලා පවතින දේශපාලනයෙන් තමාට විමුක්තියක් ලබාගැනීමට ඔහු පක්ෂ දේශපාලනයේ යෙදෙනවා නම් ඔහු තවදුරටත් නිර්මාණකරුවෙක් නෙමෙයි. දේශපාලනඥයෙක්.
ප්‍රවීණ නාට්‍යවේදී ධනංජය කරුණාරත්න (ඔස්ට්‍රේලියාවේ සිට)
රටක පාලකයන් පත්කරන්න ඡන්දය භාවිත කරන භික්ෂුවගේ සිට ශිෂ්‍යයා දක්වා සියලුම දෙනාටම දේශපාලනයේ යෙදීම අතිශයින්ම උචිතයි. ඒකෙ කිසිම වරදක් නෑ. කලාකරුවාට කියල විශේෂ වගකීමක් නෑ. සියලු පුරවැසියන්ට ඇත්තේ එකම වගකීමක්. ඒ නිසා එසේ දේශපාලනය කිරීමට කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමත් කිසිම වරදක් නෑ. එහෙම තමයි ඒක විය යුත්තේ.
නමුත් දැන් ප්රශ්නය වෙලා තියෙන්නේ රට වෙනුවෙන් කියලා පක්ෂවල පස්ස ඉරාගෙන මේ මිනිස්සු වැඩ කරන්න යන්නේ තමන්ට මොනවා හරි හොයා ගැනීමේ පටු පරමාර්ථය වෙනුවෙන් වීමයි. පක්ෂ අතර ගැටුම් පවා මෙතරම් උග්‍ර වෙලා තියෙන්නේත් ඒකයි.
අනාදිමත් කාලයක ඉඳන් දේශපාලනය කරනවා කියල මිනිස්සුන්ව රවටලා, වංචා කරලා, පාවා දීලා දැන් මිනිස්සු කලකිරීලා විශ්වාසයෙන් සහයෝගය දෙන්න එන්නෙ නෑ. අද දේශපාලනය කරන්න පුරෝගාමී වන අයට තියෙන ගැටලුව අවශ්‍ය අයගේ සහයෝගය ලබාගන්නේ කොහොමද කියන එකයි.
ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල (ජර්මනියේ සිට)
මට පෙනෙන විදිහට කොන්දක් නැති කලාකරුවෝ තමයි දේශපාලකයන්ට කඩේ යන්නේ. ඇත්තටම ඒ වගේ අයට තමන් ගැනවත් ආත්ම විශ්වාසයක් නැහැ. ඔවුන්ට ඇති දක්ෂකමක් නැහැ. මොකද එයාලා හරිම කම්මැලියි. එයාලා අකමැතියි තමන්ගේ දහඩිය මහන්සියෙන් කලාවේ නිරතවෙලා මුදල් උපයාගන්න. අනුන්ගේ පහනෙන් එළිය බලන කලාකරුවන් විදිහට තමයි ඔවුන්ව හඳුන්වන්න පුළුවන් වෙන්නේ.