දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන කබාලි සිනමා නිර්මාණය එළිදැක්වීම මෙම වසරේ ඉන්දියානු සිනමාවේ උත්කර්ෂවත් මොහොත බව සඳහන් වෙයි. රජිනි කාන්ත් විසින් ගෙන එනු ලැබූ රසික උන්මාදය මෙතෙක් බිහි වූ කිසිදු දමිළ සිනමා තරුවකට අභිභවා යාමට නොහැකි වී ඇත. පසුගියදා ඉන්දියාවේ සහ ලොව පුරා රටවල් කිහිපයකම එකවර එළිදැක්වුණු කබාලි චිත්‍රපටය තිරගත වූ පළමු දවස තුළම ආදායම් වාර්තා බිඳහෙළීමට සමත් විය.
කාර්යාල නිවාඩු දිනයක් වීම
මෙම චිත්‍රපටය හේතුවෙන් පසුගිය 22 වැනිදා (සිකුරාදා) දිනය තමිල්නාඩුවේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම පෞද්ගලික සේවා ස්ථානයන්ද නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි. එයට හේතුව වූයේ චිත්‍රපටය නැරඹීම සඳහා ලෙඩ නිවාඩු ගැනීම, සිය ජංගම දුරකථන ක්‍රියා විරහිතකොට තැබීම සහ සේවයට වාර්තා නොකර සිටීම වැනි අපහසුතා වළක්වා ගැනීමටයි. ඊට අමතරව එම ඇතැම් පෞද්ගලික ආයතනවලින් මෙම චිත්‍රපටය නැරඹීම සඳහා ප්රවේශපත්ද නොමිලේ ලබාදී තිබුණි.
ට්විටර් ඉන්දියා වෙබ් අඩවිය අඩපණ වීම
මෙම කබාලි චිත්‍රපටය සම්බන්ධයෙන් විවිධ පුවත් මෙන්ම පණිවුඩ පළ වීමෙන් ට්විටර් ඉන්දියා නම් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
අනුග්‍රාහක භවතුන්
මෙම චිත්‍රපටයේ Official Airline Partner ලෙස එයාර් ඒෂියා සමාගම කටයුතු කරන ලදී. ඊට අමතරව එයාර් ඒෂියා ගුවන් සේවය විසින් බැංගලෝර් නගරයේ සිට චෙන්නායි නුවර දක්වා කබාලි නමින් විශේෂ ගුවන් ගමනක් යෙදවූ අතර, ගුවන් ගමන අතරතුර රජිනිකාන්ත් විසින් අනුභව කරනු ලබන ප්‍රියතම ආහාර පිළිගන්වනු ලැබූ බවද සඳහන් වෙයි. ඊට අමතරව සිය මෝටර් රථ කබාලි නමින් පින්තාරු කිරීමට සහ සිය සිරුරේ රජිනිකාන්ත්ගේ රුව පින්තාරු කිරීමට ඔහුගේ රසිකයන් ක්‍රියාකර තිබුණු බවද සඳහන් වෙයි.
එයාර් ඒෂියා ගිය මගීන්ට වූ අකරතැබ්බය
බැංගලෝර් සිට චෙන්නායි බලා ගමන් කළ මෙම ගුවන් යානයේ එක් අසුනක් සඳහා ඉන්දීය රුපියල් 7800ක මිලක් නියම වී තිබුණ අතර, එහි ගමන් ගත් මගීන් 160 දෙනෙකු චිත්‍රපටය නැරඹීම සඳහා සතත්යම් සිනමා ශාලාවට රැගෙන යාමට එයාර් ඒෂියා ගුවන් සමාගම මුල්ම වශයෙන් සැලසුම් සකස්කර තිබුණු බව සඳහන් වෙයි. කෙසේවෙතත් පසුව එම ස්ථානය වෙනස් කරමින් ඔවුන්ව ප්‍රසාද් නම් වූ සිනමා ශාලාවට රැගෙන යාමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කිරීමත් සමග මගීන් සිය නොසතුට ප්‍රකාශ කළේය. ඇතැම්හු තමාට සත්‍යම් සිනමා ශාලාවේ රැඳී සිටීමට අවශ්‍ය බව පවසා ඇත. කෙසේවෙතත් ස්ථානය වෙනස් කිරීම පිළිබඳව මුලින්ම මගීන්ට දැනුම් දීමට නොහැකි වීම කාර්යය මණ්ඩලයේ වරදක් බැවින්, ඒ සඳහා ඔවුන් ගුවන් මගීන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
එයින් සෑහීමකට පත්නොවුණ මගීන් වෙනුවෙන් සත්‍යම් සිනමා ශාලාවේම කබාලි චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කළේ වෙනත් වේලාවක් ඒ සඳහා වෙන් කරමිනි.
කබාලි ආදායම් සහ වාර්තා
චිත්‍රපටය එළිදැක්වීමට ප්‍රථම අලෙවි කරන ලද ටිකට්පත් වලින් පමණක් මේ වන විට කබාලි උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 8000-10,000ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය වීමයි. මීට අමතරව තිරගත වූ පළමු දිනයේදීම කබාලි ජාත්‍යන්තර වාර්තා 04ක් සඳහා උරුමකම් කියනු ලබයි. ඒ ඇමෙරිකාව, මැලේසියාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල බොක්ස් ඔෆිස් වාර්තාව අලුතෙන් ලිවීමට සමත් වූ චිත්‍රපටයක් ලෙසයි. මීට ප්‍රථම ඇමෙරිකාවේදී පළමු දිනයේදී වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස හඳුන්වනු ලැබුවේ බාහුබාලි චිත්‍රපටයයි.
එහි ආදායම වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.39කි. ඉන්පසු ඇමෙරිකාවේ වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය වන්නේ කබාලි චිත්‍රපටයයි. එහි ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2කි. බ්‍රිතාන්‍ය තුළදී වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වයි. එහි ආදායම ලෙස සඳහන් වන්නේ පවුම් 93,835කි. ඊට අමතරව ප්‍රංශයේදී යුරෝ 41,280ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියනයක්ද උපයා ගැනීමට මෙම චිත්‍රපටයට හැකිවී තිබේ.කබාලි චිත්‍රපටය භාෂා 7කින් හඬකවා තිබීමද වාර්තාවක් සේ සැලකෙයි. එය දමිළ, හින්දි,තෙලිඟු, මලයාලම්, කන්නඩි, ඉංග්‍රීසි, ජපන් හා චීන භාෂාවලින් හඬකවා ඇත.
රජිනිකාන්ත්ට පුද පූජා
රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් තිරගත වීමට පැය කිහිපයකට පෙර සිනමාහල වෙත පැමිණෙන සිනමාලෝලීන් ඇතැම් විට ඔහුගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් දේව මෙහෙයන්ද පවත්වන බව සඳහන් වෙයි. අනෙකුත් දමිළ සිනමා නිර්මාණවලට එහා ගිය ස්වරූපයක්ද රජිනිකාන්ත්ගේ චිත්‍රපට වලින් දැකගැනීමට හැකියාව ඇති බව ඔහුගේ රසිකයන් සඳහන් කරයි. මෙම චිත්‍රපට නැරඹීමට පැමිණෙන සිනමාලෝලීහු ඔහු තිරයේ දිස්වන සෑම අවස්ථාවකම අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගන අතර, සිය දෙපා බිම ගසමින් සිය තරුව දිරිමත් කිරීමට උත්සාහ ගනිති.
රජිනිකාන්ත් වෙනුවෙන් දිවි නසා ගැනීම්
මෙම චිත්‍රපටය පළමු දිනයේදීම නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගැනීමට ගිය මැලේසියානු දමිළ තරුණයෙකු ප්‍රවේශපත් මිලදී ගන්නා ස්ථානයෙන් පහළට පැන සිය දිවි හානි කරගෙන තිබේ. සිනමාවෙන් පිටතදීද ඉන්දීය ජනතාවගේ ඉමහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වී සිටින රජිනිකාන්ත් වරක් රෝගාතුරව සිටින බව නිවේදනය වීමත් සමග ඔහුගේ රසිකයෙකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර, ඔහු විසින් ලියූ ලිපියකින් දන්වා ඇත්තේ තමා මියගිය පසු සිය වකුගඩු සහ ශරීර කොටස් රජිනි කාන්ත් වෙත ප්රදානය කරන ලෙසයි.
කබාලි නිසා වැසිකිළි
ඉන්දියාවේ වැසිකිළි ප්රශ්නය 2020 වන විට තුරන් කිරීමට රජය මැදිහත් වී තිබේ. කෙසේවෙතත් කබාලි චිත්‍රපටය හේතුවෙන් ඉන්දියාවේ පුදුච්චේරී ප්‍රාන්තය විසින් අලුත් වැඩපිළිවෙළක් අනුගමනය කළේය. ඒ තමන්ගේ නිවසේ වැසිකිළියක් සාදා ගතහොත් එම නිවසට කබාලි නැරඹීමට ප්‍රවේශපත්‍ර 4ක් නොමිලේ ලබාදීමයි. මෙම නිවේදනයත් සමග ඉන්දියාවේ එම ප්‍රාන්තය තුළ වැසිකිළි සාදා ගැනීමට බොහෝදෙනා උනන්දු වූ බවයි සඳහන් වන්නේ.
කබාලි අන්තර්ගතය
පාතාල ලෝක නායකයෙකු සහ පළිගැනීමක් වටා ගෙතුණු කබාලි සිනමා නිර්මාණයේ ප්රචාරක වීඩියෝව ආසියාවේ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ ප්රචාරක වීඩියෝව ලෙස වාර්තාවක් තබා තිබේ. ඉන්දියාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, ප්‍රංශය සහ ජපානයේ 'කබාලි' තිරගත කිරීම මේ වන විට ආරම්භකොට තිබේ.