ලාංකීය සිනමාවේ දක්ෂ, යොවුන් රංගන ශිල්පිනියක් වන ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගියදා යුග දිවියට පිවිසෙනු ලැබුවාය. ඇයගේ අතගත් මනාලයා වූයේ සම්පත් ද සිල්වාය. ලාංකීය ටෙලි නාට්‍යය නරඹන්නන් අතර අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය කිහිපයකම අධ්‍යක්ෂකවරයා වූ රංජන් ද සිල්වාගේ වැඩිමහල් දරුවාය. ශේෂාද්‍රිගේ ජීවිතයේ සිදුවූ අලුත් වෙනස පිළිබඳව මෙන්ම ඇයගේ ඉදිරි කලා කටයුතු ගැන විමසන්නට අපි මේ ඉඩකඩ වෙන් කරන්නට සිතුවෙමු.
ඔබ ජනප්‍රිය තරුවක් වෙලත් විවාහය ලොකු ප්‍රසිද්ධියකින් පැවැත්වුණේ නැහැ. ඒ ඇයි?
ඇත්තටම, විවාහය ලොකුවට ගන්න මගෙත්, සම්පත්ගෙත් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. මොකද, මේ විවාහය අපේ පවුල් දෙකේ ළඟම හිතවතුන්ට, නෑදැයින්ට හා යහළුවන්ට පමණක් සීමා කරන්න අපි හිතුවා. ගොඩක් දෙනෙක් අපි විවාහ වෙනවා කියලවත් දැනගෙන හිටියෙ නැහැ.
කොහොමද ශේෂාද්‍රිට සම්පත්ව මුණ ගැහුණේ?
මේක යෝජනාවකින් සිදුවන එකක්. මගේ තාත්තාත්, සම්පත්ගෙ තාත්තත් හොඳ මිතුරන්. ඒ මිත්‍රත්වය නෑදෑකමකට පෙරළන්න මගේ තාත්තටත්, සම්පත්ගෙ තාත්තටත් ලොකු උවමනාවක් තිබුණා. අනික සම්පත්ව මම කාලයක සිට දැන හඳුනගෙන හිටියෙ. ඔහුත් මා ගැන දන්නවා.
සම්පත්ව යෝජනා කරපු ගමන් ඔබ ඔහුට කැමති වුණාද?
අපෝ නැහැ. මම ඔහුව දැකලා, කතා කරල තිබුණට ලොකුවට අඳුනගෙන තිබුණෙ නැහැ. අපි යෝජනා කළාට පස්සෙ දෙන්නම ගොඩක් ළඟින් ඇසුරු කළා. ඒ ඇසුර නිසාම සම්පත් කියන පුද්ගලයාව අඳුන ගන්න මට පුළුවන් වුණා. ඇත්තටම ඔහුව ඇසුරු කරන කාලේ ඔහුගෙන් වරදක් මා දුටුවේම නැහැ.
මොනවද සම්පත්ගෙන් දැකපු හොඳ ගතිගුණ?
ගොඩක් දේවල් දැක්කා. විශේෂයෙන් මට ගොඩක් ආදරේ කරනවා කියල මට ඔහුව ඇසුරු කරලා දින කිහිපයකින්ම තේරුම් ගන්න පුළුවන් වුණා. අනික සම්පත් කියන්නේ හරි නිහතමානී කෙනෙක්. එයාට කෙනෙකුගේ හිතක් තේරුම් ගන්න හැකියාව තියෙනවා.
ඔබ කාර්යබහුල කෙනෙක් විදිහට ඔහුගෙන් ලැබෙන සහය මොන වගේද?
ඇත්තටම, මම කාර්යබහුල නැහැ. වසරකට චිත්‍රපටයක් හෝ දෙකක පමණක් රඟපාන නිසා මම කාර්යබහුල කෙනෙක් නෙවෙයි. නමුත්, සම්පත් මගේ කලා කටයුතුවලට උදව් කරන කෙනෙක්. විවාහයෙන් පස්සෙ මම කලා කටයුතු කිහිපයකට දායක වුණා. එහිදී සම්පත් ඔහුට හැකි උපරිමයෙන්ම මට සහය දුන්නා.
කලා කටයුතු වලින් ඔහු සමුගන්න කිව්ව දවසට ඔබ සමුගන්නවද?
ඔහු එවැනි දෙයක් කිව්වොත් මම අනිවාර්යෙන්ම සමුගන්නවා. මම මේ ක්ෂේත්රයේ ලොකුවට කලා කටයුතු වලට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. එවැනි වතාවරණයක් උඩ සම්පත් මට මේ ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න කියයි කියල හිතන්න අමාරුයි. අනෙක් කාරණය තමයි මට වසරකට රඟපාන්න චිත්‍රපට 10ක් 15ක් සඳහා ආරාධනා ලැබෙනවා. නමුත්, මම ඉන් තෝරා ගන්නේ මට ගැළපෙන හා මට කරන්න පුළුවන් යැයි හිතෙන චරිත පමණයි. සම්පත් මේ දේවල් හොඳින් තේරුම් ගනියි කියල මම හිතනවා.
හැමදාම කලා කටයුතුවල නිරත වෙන්න බැහැනේ?
ඇත්ත, මේ ක්ෂේත්රයේ රැඳෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මම කැමතියි මගේම කියල ව්‍යාපාරයකට අත ගහන්න. ඒ පිළිබඳව මේ දිනවල සැලසුම් කරමින් ඉන්නවා. ඊට පෙර මගේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය නිමා කරන්න තියෙනවා. මෙහි අවසන් විභාගය තියෙන්නේ ලබන වසර මැද භාගයේදී. ඒ විභාගය අවසන් කළවිට මම ව්‍යාපාරයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
විවාහයෙන් පස්සෙ ජනප්‍රියත්වය අඩු වේවි කියලා ශේෂාද්‍රිට හිතෙන්නෙ නැද්ද?
මම ජනප්‍රියත්වය කියන දේ පස්සෙ එදත්, අදත්, හෙටත් යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ජනප්‍රියත්වය අඩු වැඩි වෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ ජනප්‍රියත්වය හැම කෙනා අතරම අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. මට ඒ ගැන ලොකු ප්‍රශ්න නැහැ.
විවාහයෙන් පස්සෙ ගෙදර අය එක්ක තියෙන සම්බන්ධය මොන වගේද?
ගෙදර අය එක්ක නිතරම කතා කරනවා. නමුත්, අක්කා දිනක්ෂි, නංගී ශනුද්රිලාගෙන් වෙන්වෙලා ඉන්න එක තමයි ලොකුම දුක. මොකද අපි සහෝදරියන් වුණාට යාළුවො වගේ තමයි හැම වෙලාවෙම ගත කළේ. කෑවෙ බිව්වෙ, ගමන් බිමන් ගියේ අපි තුන්දෙනාම එකට. ඒ ගත කරපු අතීතය මතක් වෙනකොට ටිකක් විතර දුකයි.