ඵලදායීතා හා ධනාත්මක චින්තන උපදේශකයෙකු ලෙස බොහෝ දෙනෙකු හඳුනා ගන්නා ලාල් ෆොන්සේකා, ඒ ගැන සඳහන් කරන ග්රන්ථ කිහිපයක්ම රචනා කර තිබේ. ඔහු විසින් රචනා කරන ලද තවත් ග්රන්ථ ත්‍රිත්වයක් අද (28දා) කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී එළි දැක්වීමට නියමිතය. මේ කතාබහ ඒ පිළිබඳවය.
ග්රන්ථ තුන සමාජගත කිරීම
සදාචාරය කියන දේ අපේ රටේ ඉහළින්ම තිබූ දෙයක්. නමුත් අද වන විට ඒ තත්ත්වයෙන් ඈත්ව තිබෙන්නේ. ලෝකයේ අනෙක් රටවල් දියුණු වන විට අපත් දියුණු විය යුතුයි. නමුත් තරුණ පරපුර මේ දේවල් ගැන මීට වඩා හිතන්න ඕන කාලයක් ඇවිත් තියෙනවා කියලා මට හිතෙනවා. තමන්ව මාකට් කර ගැනීම තමයි අද දකින්න තිබෙන්නේ. දේශපාලනිකව බැලුවත් එවැනි තත්ත්වයක් තමයි අද දකින්න ලැබෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න විප්ලවයක් ඕන කියලා මම අදහස් කරන්නේ නැහැ. මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ චින්තනමය විප්ලවයක්. මේ තත්ත්වය වෙනස් වෙන්න තරුණයන් ඉදිරියට එන්න ඕන. එවන් තරුණ තරුණියන්ට ජීවිතය හදාගන්න යම් මගපෙන්වීමක් වේවි.
ග්රන්ථ තුන ගැන
පාසලට 6S+3R
‘6S’ ලෙස හඳුන්වන්නේ ‘5S’ ලෙස හඳුන්වන දෙයට මම තවත් යමක් එක් කළා. ඒ ආරක්ෂාව කියන දේ. අවුරුදු දහසයට පෙර දරුවන්ගේ විනය කියන දේ තමයි ඒ පොතේ අන්තර්ගත වෙන්නේ. පාසල් යන අවධියේ සිටම පිළිවෙළ, පිරිසුදුකම, සම්මතය, ප්‍රමාණය, නොහික්මීම, විනය යන කරුණු ගැන දරුවන් ඉතා තදින් මෙනෙහි කරන්න ඕන. හැමදේම කරන්න ආරක්ෂාවක් තිබිය යුතුයි. ඒ ආරක්ෂාව කියන දේ ඇතිකර ගන්න ඕන කියන දේ තමයි මම 6S තුළින් කතා කරන්නේ. ඒ වගේම එම ග්‍රන්ථයේ ‘3R’ ලෙස සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ අඩු කරන්න, නැවත පාවිච්චි කරන්න හා ප්රතිචක්රීයකරණය කියන දේවල්. අපි නැවත භාවිත කළ හැකි දේවල් පවා ඉවත දානවා. ඒ ගැන කතා කළා. ඒ වගේම අඩු කිරීම කියන දෙයින් විදුලි බලය, ජලය වැනි දේවල් අඩුකර ගන්න පුළුවන් වැනි දේවල් ගැන කතා කළා. නැවත පාවිච්චිය ගැන කතා කළා. ජපානය වැනි රටවල අද දිනයේ පත්තරේ බලලා ඉවර වෙලා හෙට දිනයේ උදෑසන අලුත් පත්තරයක් ගන්නේ පරණ පත්තරේ දීලා. එය නැවත පාවිච්චි කරනවා. මෙවැනි දේවල් බොහෝ තිබෙනවා. අපි ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙවැනි දේවල් ගැන සැලකිල්ලක් දක්වලා කටයුතු කරන්නේ කොහොමද කියන එක මේ ග්‍රන්ථයේ අන්තර්ගතය බවට පත්වෙලා තියෙනවා.
16න් ඔබ්බට
‘තරුණයා’ පුවත්පතේ ‘අපි 16න් පටන් ගමු’ නමින් ලිපි මාලාවක් කළා. ඒ ලිපි මාලාව තමයි මේ ග්‍රන්ථයේ අන්තර්ගතය බවට පත්වෙන්නේ. අවුරුදු දහසය කියන්නේ මිනිසෙකු ජීව විද්‍යාත්මකව වෙනස් වෙන කාලයක්. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙනුත් වැඩි බරක් තියෙන්න ඕන කාලයක්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයක් තමයි මේ කාලය. මේ වෙද්දි තරුණයන් තුළ තාක්ෂණයත් එක්ක අමුතුම රැල්ලක් ඇතිව තිබෙනවා. අපි තාක්ෂණය එපා කියලා කියන්නේ නැහැ. අපි ඒ දේවල් වාරණය කරන්න කියන්නෙත් නැහැ. අපි සඳහන් කළේ ඒ දේවල් තමන්ගේ දියුණුව සඳහා යොදාගන්න කියන දේ. ඒ කාලයෙන් පසු ජීවිතය ගොඩනගා ගන්නේ කෙලෙසද කියන දේ තමයි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතය බවට පත්වෙන්නෙ.
Forget ranks, just lead
මේ ග්‍රන්ථය මම රචනා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ රටේ පවතින නායකත්වය ගැන පැහැදිලි දැක්මක් නැහැ. මම මේ ග්‍රන්ථය තුළ වැඩි වශයෙන් කතා කරන්නේ ආයතනික නායකත්වය ගැන. ආයතනවල නිසි නායකත්වයක් අද දකින්න ලැබෙන්නේ නැහැ. ‘ජැක් වෙල්’ නමින් ඇමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ට්‍රිකල් සමාගමේ නායකයෙක් හිටියා. ඔහු ග්රන්ථ රචනා කළා. ඔහු තුළ තිබූ නායකත්වය අපට දකින්න නැහැ. නමුත් බොහෝ ආයතන ප්‍රධානීන් ඒ ග්රන්ථ පරිශීලනය කර තිබෙනවා. එහි අන්තර්ගත එක් කරුණක්වත් භාවිත කරනවා කියලා මට හිතෙන්නේ නැහැ. ආයතනය තුළ ඉන්න පහළම සේවකයා තමයි ඔහුට තිබෙන වටිනාම සම්පත. ඔහු හැම විටම කියන දෙයක් තියෙනවා. ඒ මම අද සුඛෝපභෝගී කාර් එකක යන්නේ, නිවසක ඉන්නේ මා යටතේ සිටින සේවකයන් මුදල් සොයන නිසා කියන කාරණාව. තනතුර කියන දේ අමතක කළ යුතුයි. තනතුරෙන් ඵලක් නැහැ, අපට අවශ්‍ය වෙන්නේ නායකයන්. තනතුරු එක්ක තමයි බෙදීම හදා ගන්නේ. සමහර ආයතනවල නෙස්කෑෆේ මැෂිමක් ඔෆිස් එකේ ප්‍රධානීන් ඉන්න කාමරේ තියෙනවා. සාමාන්‍ය සේවකයන් ඉන්න තැන නැහැ. නායකයා කියන්නේ තමන් යටතේ ඉන්න අනුගාමිකයන් ඉදිරියට ගැනීම. තනතුර පෙසකළා නායකයෙක් ලෙස කටයුතු කරන්න කියන කාරණය තමයි මේ ග්‍රන්ථයේ අන්තර්ගතය වෙන්නේ.
මේ වන විට රචනා කර තිබෙන ග්රන්ථ
මම මුලින්ම රචනා කළේ ‘නොපරදින තරගය’ නම් ග්‍රන්ථය. ඒ තුළින් මම කතා කරන්න උත්සාහ කළේ ඵලදායිතාව කියන දේ. ඵලදායිතාව කියන්නේ ක්‍රීඩාවක් කියන එක මම අදහස් කළා. ඒ ක්‍රීඩාව කිසි දිනක පරදින්නේ නැති ක්‍රීඩාවක් ලෙස මම හැඳින්වුවේ. ඉන් පසුව ‘නිවසේ ඵලදායිතාව’ නමින් මම ග්රන්ථයක් රචනා කළා. අඹු-සැමි සබඳතා අවබෝධය වැනි දේ එහි අන්තර්ගත වුණා. මගේ තෙවැනි පොත බවට පත්වුණේ ‘ඵලදායී සම්පත්’ කියන පොත. මේ රටේ තිබෙන සම්පත් ගැන කතා කළේ. එය ආරක්ෂා කර ගත යුතුයි කියන දේ මම රචනා කළා. ඉන් පසු ‘බොදු සිතුවිලි හා ඵලදායිතාව’ යන නමින් ග්රන්ථයක් රචනා කළා. ඵලදායිතාව යන වචනය බෞද්ධ දර්ශනය තුළ කෙලෙසකද තිබුණේ කියන දේ පර්යේෂණයක් සිදුකර සූත්‍ර කියවා එහි ඵලදායිතා වචනයේ ඇති අන්තර්ගතය ගැන කතා කළා. ‘ටොයෝටා’ සමාගමේ තිබූ ප්‍රතිපත්ති පහම බෞද්ධ දර්ශනය තුළින් එන ප්‍රතිපත්ති පහක්. ඉන් පසුව මම ‘අඛණ්ඩ වර්ධනය’ නමින් ග්රන්ථයක් රචනා කළා. සමනලයෙකුගේ ජීවන චක්‍රය උපයෝගී කරගෙන ජීවිතය ගැන කතා කළා. මම හිතන්නේ මේ ග්රන්ථවලට වඩා වෙනස් තේමාවක් තමයි එළිදැක්වූ ග්රන්ථ තුන හරහා කතා කරන්නෙ. 0717888871