1990 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කරනා ලද වයස අවුරුදු 15- 18ත් අතර ඇඹිලිපිටියේ පාසල් ශිෂයන් 32 දෙදෙනෙකු පිළිබඳ සිදුවීමත්, ඒ වන විට රට තුළ පැවති දේශපාලන ක්රමවේදයත් පිළිබඳව වසර හතක පරිශ්‍රමයකින් පර්යේෂණනාත්මක කෘතියක් රචනා කරන්නට වරුණ ප්‍රියංකර සමත් විය. එනම් 'අඳෝනාව' යන ග්‍රන්ථයයි. මේ කතාබහ ඒ ග්‍රන්ථය ගැනයි.
Q වරුණ ප්‍රියංකර මේ ලියලා තියෙන්නේ කාගේ අඳෝනාවද?
1990 වසරේදී ර/ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය (මධ්‍ය මහා විද්‍යාලය) හා උඩගම මහා විද්‍යාලයේ සිදුවූ ගැටලුව, ඒ ගැටලුවට සිසුන් අතරමැදි වන ආකාරය, ඔවුන් පැහැරගෙන රඳවා තබාගන්නා ආකාරය, මර්දනයට ලක්වන ආකාරය, ඒ විතරක් නෙමෙයි අතුරුදන් වන දරුවන් මරා දමා සිරුරු සැඟවූවා යැයි කියන සූරියකන්ද සමූහ මිනී වළ මතුකිරීම, මහාධිකරණයේ පවතින සිසු ඝාතන නඩුව හා අතුරුදන් කරලීමේ නෛතික පසුබිම මම මේ 'අඳෝනාව' කෘතිය හරහා ගෙන එනවා. මෙම ගැටලුවේ යථාර්ථයේ 'අඳෝනාව' තමයි මේ.
Q ඒ අඳෝනාව ඇයි මේ විදිහට පර්යේෂණාත්මක ග්රන්ථයක් ලෙස සමාජගත කරන්න හිතුවේ?
ලංකාවේ බොහෝ පොත්පත් බිහිවෙන්නේ එකම රැල්ලකට අදාළවයි. බොහෝ විට ඒවා නවකතා. නමුත් අපරාධ විද්‍යාවයි, ඝාතනයයි සම්බන්ධයෙන් පොතපත බිහිවෙනවා ගොඩක් අඩුයි. 'ඇඩ්ලින් විතරෙ නඩුව', 'හාරලක්ෂය මංකොල්ලය', 'ගණිකාවෝ', 'යාචකයෝ' වැනි ග්රන්ථ සිද්ධි විමර්ශනය කර රචනා කර ඇති ග්රන්ථ ලෙසයි සලකන්නේ. පුස්තකාල වල තිබෙන එවැනි ග්‍රන්ථත් බොහෝවිට බාහිර පාඨකයන්ට ලබාදෙන්නේ නැහැ.
මෙවැනි ග්‍රන්ථවල අඩුවක් දකින්න තිබෙනවා. කතුවරු බොහෝ ප්‍රමාණයක් පර්යේෂණ කෘති අඩුවෙන් ලියන්න හේතු කිහිපයක් තිබෙනවා. එක් හේතුවක් තමයි අපරාධ විද්‍යාව කියන විෂයට යොමු වීමේ අඩුව. අනෙක් කාරණය අපරාධ විද්‍යාව සම්බන්ධව පොතක් රචනා කරන විට කතුවරයෙකුට නෛතික පැත්තෙන් අවදානමක් තිබෙනවා. ඒ ග්‍රන්ථවල නම් ගම් සිදුවීම් සියල්ලම සත්‍ය තොරතුරු නිසා එය එක්තරා ගැටලුවක් බවට පත්වෙනවා. හැම අකුරක්ම ලියන්න වෙන්නේ වගකීමෙන්.
ඒ වගේම අපරාධ විද්‍යාව සම්බන්ධ පොතක් ලියන විට සම්මුඛ පරීක්ෂණය වැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න බැහැ. නන්දසේන රත්නපාල මහතා වසර ගණනක් ග්රන්ථ රචනා කළේ ඒ ප්‍රජාව සමග කටයුතු කරමින්. විත්තිය පැත්තෙන් සාකච්ඡා කළත් පැමිණිල්ල පැත්තෙන් සාකච්ඡා කළත් සියයට සියයක්ම නිවැරදි තොරතුරක් අපිට ලබාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ක්‍රමවේදය නිවැරදි වෙන්නේ නැහැ. මෙවැනි කාරණා එයට බලපානවා. මේ තත්ත්වයන් තුළයි මම මෙය රචනා කරන්නේ.
මෙය රචනා කරන්න එක් හේතුවක් වෙන්නේ මෙය ලොව පුරා ප්‍රචලිත සිදුවීමක් වීමයි. නමුත් මෙහි තොරතුරු එකම ලේඛනයක ලියවී නැහැ. අධිකරණ සාක්ෂි සටහන් වුණත් මෙහි යථාර්ථය මතුවන තරමේ කරුණු තිබුණේ නැහැ. ඒ නිසා 'අඳෝනාව' ග්‍රන්ථයෙන් එයට සාධාරණයක් කළා.
අනෙක් කාරණාව දැන් මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල නීති පීඨයේ අධ්‍යාපන පාඨමාලාවට අයත්. එහි සාක්ෂි සටහන්පත් පහළොස්දහසක්, අධිවෝදනා අසූවක්, නඩු තීන්දු පත්‍රිකා 675කට ආසන්න ප්‍රමාණයක් සඳහන්. එවැනි සංඛ්‍යාත්මක අගයක් මෙරට අධිකරණ ඉතිහාසයේ මෙතෙක් එකම නඩුවකට අදාළව ගොනු වී නැහැ. ඒ හේතු නිසා තමයි මෙය ග්රන්ථයක් ලෙස සමාජගත වන්නේ.
Q මෙලෙස පර්යේෂණාත්මක කෘතියක් කිරීම ආර්ථිකමය වශයෙන් අභියෝගයක් නේද?
පර්යේෂණ කෘතියක් රචනා කිරීමේදී වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධවෙනවා. මම මගේ කෘතියට ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් වැයකර තිබෙනවා. මම කර්තෘ ප්රකාශනයක් ලෙසයි මෙය එළිදැක්වූයේ. ඒ මුදල කතුවරයෙකුට දරන්න අසීරුයි. මේ පොත රචනා කරන්න වසර දෙකක කාලයක් වෙනත් තැනක නතර වෙන්න සිදුවුණා.
එයටත් පිරිවැයක් ගියා. මේ නිසා තමයි මෙවැනි පොත් බිහිවීම අඩුවෙලා තියෙන්නේ. දැන් පවතින තත්ත්වය අතිශයම කනගාටුදායකයි. ආරාධනය කළ රූපවාහිනී වැඩසටහන් හතරකට විතර සහභාගි වුණා. ඒ වැඩසටහන් කළාට පස්සේ ඒ ටයිකෝට් ඇදගෙන මහත්වරු වගේ ගත්ත ෆොටෝ අපි වගේම ඒ අයත් ෆේස්බුක් වලට දානවා.
මෙය බලා සිටින බොහෝදෙනෙක් සිතන්නේ මේ පොත් ලියලා ලක්ෂ ගණනක් එහෙමත් නැත්තම් කෝටි ගණනක් හිමිවෙනවා කියලා. නමුත් එහි අභ්‍යන්තරය දන්නේ කතුවරු පමණයි. මම මේ ග්‍රන්ථයේ පිටපත් දාහක් මුද්‍රණය කළා. ග්රන්ථ දහසට එක්ලක්ෂ පනස්දහසක් පමණ වැය වනවා. වසර හතරක කාලසීමාව තුළ ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කර තිබෙනවා.
මේ සියල්ල ආවරණය කරගන්න සිදුවන්නේ පොත් දහසකින්. පොතේ වෙළෙඳ වටිනාකම 600යි. පොත් දහසම අලෙවි වුණත් ලැබෙන්නේ ලක්ෂ හයයි. ඉන් 150ක් පොත මුද්‍රණය කරන්න වියදම් කර තිබෙනවා. ඒ මුදල ලැබෙන්නේ නැහැ. පොත් අලෙවි කරන ආයතන ඒ මුදලින් සියයට තිස්පහක් ගන්නවා. එහෙම බැලුවාම මම කරන වියදමෙන් හතරෙන් එකක්වත් මට ලැබෙන්නේ නැහැ. බැංකුවලටත් ණය වී තමයි මෙවැනි ග්රන්ථ රචනා කරන්න සිදුව තිබෙන්නේ.
Q ඔබ මෙම ග්‍රන්ථය තුළින් වෙනත් දේශපාලනික කාරණාවක් ගැන සාකච්ඡා කළාට ඇඹිලිපිටිය ජනාධිපති පාසල් සිසු ඝාතනයට අදාළව ව්‍යාප්තව තිබෙන මතය ප්‍රේම සබඳතාවක් නේද?
ඒක ව්‍යාප්තව තිබෙන මතය. නමුත් මෙහි ආරම්භය තිබෙන්නේ මම කියන කාරණාව තුළ. මම මෙය කියන්නේ ප්‍රේම සම්බන්ධයේ බලපෑමක් මෙයට ඉස්මතු කරන්න නෙමෙයි. ඒ තුළත් සාධාරණ සැක සහිත ඝාතනයට සම්බන්ධ දේවල් ඉස්මතු වෙනවා. මෙම සිදුවීම වූ සමයේ පාසලේ විදුහල්පතිවරයාගේ පුතා සිටින්නේ උසස් පෙළ පන්තිවල.
ඔහු ප්‍රේම සම්බන්ධයක් පවත්වන්නේ 11-A පන්තියේ සිසුවියක් සමග. එතැන ලිපියක ගැටලුවක් මතුවෙනවා. චෝදනාවට ලක්වෙන්නේ මේ පන්තියේම පිරිමි දරුවන් පිරිසක්. පසුව ඉතාම කෙටි දින ප්‍රමාණයකින් ශිෂ්‍යයන් හයදෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කරනවා. පාසලේ අනිත් ශිෂ්‍යයන් අතුරුදන් වන්නේ ඉන්පසුවයි.
Q මේ කෘතිය රචනා කිරීමේදී වගේම කෘතිය එළිදැක්වීමේදීත් දේශපාලඥයෝ සම්බන්ධ වුණා නේද? ඔබ මේ කෘතිය හරහා කතා කරන්නෙත් දේශපාලනික කාරණාවක්?
ලංකාවේ තිබෙන දේශපාලන ක්‍රමවේදය ගැටලුකාරියි. බොහෝවිට ස්වාභාවික ස්ථරය මතුවෙනවා අඩුයි. පාලකයෝ සහ පාලිතයෝ ගැන බැලුවොත් අවසානයේ පාලකයෝ නිදහසටත් පාලිතයෝ පීඩනයටත් ලක්වන කාරණා තිබෙනවා. මේ සිදුවීමේ තිබෙන්නෙත් එවැන්නක්. මේ සිදුවීමට දේශපාලඥයන් මැදිහත් වූ ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. බහුතරයක් පාලකයෝ උත්සහ දරා තිබුණේ එහි විසඳුමකට යනවට වඩා එය වාසියක් බවට පත්කර ගැනීමට.
මැතිවරණ අපේක්ෂකයන්ට පාර්ලිමේන්තුවට පිවිසුමට, 1994 පාර්ලිමේන්තු, ජනපතිවරණ බල පෙරළියට මෙය අති ප්‍රබල සාධකයක් වුණා. දේශපාලඥයන්ගේ බැනර් ප්‍රදර්ශනය කරමින් මේ පොත දොරට වැඩි බව ඇත්ත. එය කළේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. අනෙක් දේ අඳෝනාව පර්යේෂණාත්මක විචාරීය කෘතියක්.
එහෙම වුණාම සියලු මතවාද අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා පාලක පිරිස් සම්බන්ධ කර ගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙක්, ජාතික හෙළ උරුමයේ හිටපු නායක ඕමල්පේ සෝභිත හිමියන් යන හැම පාර්ශ්වයක්ම සම්බන්ධ කර ගත්තා. එය ඒකපාර්ශ්වීය නොවුණ කැඳවීමක්.
Q ආර්ථිකමය වශයෙන් සෑහීමකට පත් නොවුණත් මේ ග්රන්ථයට බොහෝදෙනෙකුගේ ඇගයීමක් ලැබෙනවා?
මෙම ග්‍රන්ථය පුස්තකාලගත කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යංශය හා පළාත් පාලන ආයතන ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ වගේම කොළඹ මහජන පුස්තකාලයේ මේ පාඨක උත්තමාචාර සම්මානය හිමිවුණා. පොත රචනා කරලා අවසන් වන විට මට තෘප්තිමත් වෙන්න හැකියාව ලැබෙනවා.
එයට හේතුව පාඨක ප්‍රතිචාරය. ප්‍රතිභා මහානාම මහතාත් මේ ගැන විචාරයක් ලියල තියෙනවා. මෙය නීති සම්පාදකයන්ට කදිම මඟපෙන්වීමක් දෙන කෘතියක් කියලා ඔහු සඳහන් කරනවා. ඒ වගේම සුනන්ද මහේන්ද්‍ර මහතා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මේ පොත ගැන හොඳ විචාර ලියල තියෙනවා.
071 9 597 071