තම දරුවන්ට කෑම කවාගන්නට වෙර දරන විට දෙමාපියෝ බොහෝ වෙහෙසට පත්වෙති. කුඩා ළමයින්ට කොපමණ හොඳ ආහාරයක් ලබාදීමට ඔවුන් උත්සාහ කළද එය එම දරුවාට නරක ආහාරයක් ලෙස හැඟුණහොත් සිදුවන්නේ ඔවුන් අතින් එම ආහාරය ප්‍රතික්ෂේප වීමයි. මෙයට විසඳුමක් ඉදිරිපත් කරන්නේ සමන්තා ලී යන මැලේසියානු ජාතික මව විසිනි. ඇය මෙම කාරණාව පිළිබඳව සොයා බැලීමට තීරණය කර ඇත්තේ, තමා දෙවැනි වර ගැබ් ගැනීමත් සමග පළමු දරුවාට ආහාර කැවීමට දරන්නට සිදු වූ වෙහෙස ඉතාමත් අධික වීම නිසාය.
ඇය අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව කුඩා දරුවන්ට කෑම රුචිය වැඩිවන්නේ ඔවුන් දකින් දේ රසවත්ව සහ ළමා මනසට උචිත ආකාරයෙන් දැකීමෙන් බව සොයාගත්තාය. ඒ අනුව ඇය තම දරුවන්ගේ ඇස් මෙන්ම මනසද පිනවන ආකාරයේ ආහාර නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවාය.
ඇය තම දරුවන්ට ආහාර පිසීමේදී ඒවා ඉතාමත් වර්ණවත්ව හා ගුණදායක මට්ටමින් පිසින්නට උත්සාහ කළාය. ඒ සඳහා දරුවන්ගේ ඉහළ ප්‍රතිචාර මෙන්ම කිසිදු අඩුපාඩුවක් නොමැතිව ලබාදෙන ආහාරය ඉතිරි නොකර ආහාරයට ගැනීමට ඔවුහු පුරුදු වූහ. "වර්ණ සහ ආලේපන මෙම කෑම සඳහා වැදගත්ම පැතිකඩයි. සෑම ආහාරයක් උඩම යම් කිසි ආලේපනයක් තිබෙනවා නම් දරුවන් කැමතියි.
ඔවුන් කේක්, ඩෝනට්, පිට්සා වැනි ආහාර සඳහා පෙළඹෙන්නේ මෙවැනි බාහිර ආලේපනයේ ඇති ලස්සන නිසයි. මෙවැනි කෘත්‍රිම ආහාර ළමයින්ට අගුණ වෙන්න පුළුවන්. නමුත් අපි ගෙදර සාදන ආහාර රසකාරක නොදා, යම් කිසි දෙයක් තුළින් ආලේපනයක් මෙන්ම කුමක් හෝ යොදාගන්නවා නම් දරුවන් පැකිළීමක් නොමැතිව අප ලබාදෙන ඕනෑම දෙයක් ආහාරයට ගනියි "යනුවෙන් ඇය පවසයි.
මේ වනවිට ඇයට අවුරුදු 04, 06 වයැසති දරුවන් දෙදෙනෙකු සිටියි. ඇයගේ ආහාර කලාවේ ඡායාරූප නිසා ඇගේ ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයෝ මේ වනවිට 288,555 ක් සංඛ්‍යාවක් සිටිති. ඊට අමතරව ඇය විසින් ඉදිරිපත් කර ඇති ආහාර පිළිබඳව රූපවාහිනී වැඩසටහන් චීනය, ජපානය, ඉන්දියාව, පිලිපීනය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල මාධ්‍ය තුළින් අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.