ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ 'ගෝව' නගරයේ පවත්වනු ලබන ආසියාවේ පැරණිතම 'ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ' සඳහා නිල වශයෙන් තෝරාගෙන ඇත. 1952 වසරේදී ආරම්භ කරන ලද, මේ වනවිට 47 වැනි වරට පවත්වනු ලබන ලෝකයේ 'A' ශ්‍රේණියේ චිත්‍රපට උලෙළක් වන මෙම චිත්‍රපට උලෙළට මෙවර ලෝකය පුරා රටවල් සියයකින් පමණ චිත්‍රපට දහසකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'සංදේශ' චිත්‍රපටයෙන් පසු, ඵෙතිහාසික කතා වස්තුවක් මත නිර්මාණය වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් මෙවැනි 'A' ශ්‍රේණියේ චිත්‍රපට උලෙළක් සඳහා තෝරාගෙන ඇත්තේ වසර 56කට පසුව බව එහි තිර රචක සමන් වීරමන් මහතා පවසයි. කැන්ඩි සිටි සෙන්ටර් නිර්මාතෘ තුසිත විජයසේන මහතාගේ කුළුඳුල් නිෂ්පාදනයක් වන මෙම චිත්රපටයෙහි තිර නාටකය 'ශ්‍රී සිද්ධාර්ථ ගෞතම' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සමන් වීරමන් විසින් ලියා ඇති අතර, ඔහුගේ පුත් චත්‍ර වීරමන් විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබේ.
වලගම්බා රජු සමයේ, යුද ගිනි මැද වසර 12 ක් පුරා ඇදී ගිය මහා සාගතයෙන් නොනැසී, ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය මනසේ රඳවාගනිමින් එය ආරක්ෂා කොට ග්‍රන්ථාරූඪ කළ එවකට ශ්‍රී ලංකාවේ වැඩ විසූ මහා යතිවරයාණන් වහන්සේලා විසින් කරන ලද ඵෙතිහාසික කැපවීම මත නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ 'ලෝක මංගල දර්ශනය' (World Premiere) ඉකුත්දා (21දා) 'ගෝව' නගරයේ ඉනොක්ස් (INOX) සිනමා ශාලාවේ උත්සවාකාරයෙන් පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ විශේෂ අමුත්තන් රතු පලසක් මතින් ගෙනයමින් විශේෂ පිළිගැනීමක්ද කරන ලදී.
ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, භාරත හෙට්ටිආරච්චි සම-අධ්‍යක්ෂණයෙන්ද, මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂණයෙන් හා ශාන් අල්විස් සංස්කරණයෙන්ද දායක වූ මෙම චිත්‍රපටයේ, උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, මේනකා පීරිස්, රොෂාන් රවීන්ද්‍ර, නිරෝෂා තලගල, ඩග්ලස් රණසිංහ, නිහාල් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, දර්ශන ධර්මරාජ්, බුද්ධදාස විතානාච්චි හා දිනෙත් ද සිල්වා රංගනයෙන් දායක වී ඇත.
මෙම චිත්‍රපටය සිංහල සිනමාවට වසර 70 ක් සපිරෙන 2017 ජනවාරි 20 වැනිදා ඊ.ඒ.පී. මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් හා ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු අනෙකුත් චිත්‍රපට මණ්ඩලවල සහාය ඇතිව දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.