''ආදරය නිබ්බුත පදයකී
සිත දවන තැන් නිවනා හැටී
එය කියා දුන්නේ නුඹ තමයි
ආදරය නිබ්බුත පදයකී...''
මේ ගීය ගයන ඇය නමින් නිපුනි නයනතාරාය. සහජයෙන් උරුමකරගත් ගායන හැකියාව නිසාවෙන් නවතම නිර්මාණ කිහිපයකටම දායක වී සිටින ඇය සමගිනුයි අද කතාබහ දිගහැරෙනුයේ.
මෙතෙක් කළ නිමැවුම්
මම මුලින්ම අම්මා ගැන ගීතයක් තමයි ගායනා කළේ. එය රචනා කළේ රඹුකන සිද්ධාර්ථ හිමියන් විසිනුයි. අනතුරුව 'ආදරය නිබ්බුත පදයකි' යන ගීතය ගායනා කළා. එය රචනා කළේ නයනසේන වන්නිනායකයන් විසින්. එය සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. අම්මා ගීතයටත්, ආදරය නිබ්බුත පදයකි යන ගීතවලට ෆේස්බුක් හා යූටියුබ්වලින් විශාල ප්‍රතිචාර හිමිවෙනවා.
මෙයට මියුසික් වීඩියෝවක් කරන්නත් අවස්ථාවක් හිමි වුණා. එමෙන්ම එදා දසමස නම් ගීතයක් ලැබුණා. එය ශෂික මධුරංග විසින් තමයි රචනා කළේ. එයත් සංගීතවත් කළේ දර්ශන වික්රමතුංගයන් විසිනුයි. නිබ්බුත පදයකි ගීතය ඇහුවාම මට ගීත ගායනා කරන්න අවස්ථාව හිමිවුණා. අලුතෙන්ම කළ 'එන්නැයි කියා' ගීතය වෙනස්ම ගීතයක්.
සංගීත ක්ෂේත්රයට පිවිසුම
මගේ අම්මා නැටුම් ගුරුවරියක්. මගේ ගම කැකිරාව. පොඩි කාලෙ ඉඳන්ම නැටුම් තමයි දැක්කෙ. මම දහය වසර අවසානය වනතුරුම කළේ නැටුම්. පොඩි කාලේ රජරට සේවයට ගීත ගයන්නත් ගියා. පොඩි ළමයින්ගේ වැඩසටහන්වල ගීත ගයන්න ගියා. එමෙන්ම සමස්ත ලංකා තරගවලත් ගීත ගයන්න ගියා. මම 7 ශ්‍රේණියේදී මහගම සීලානන්ද හිමියන්ගේ පියුමක ලස්සන නමින් සංයුක්ත තැටියක ගීත ගායනා කරන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුණා.
එම පත්තරේ දැන්වීමට අප්පච්චිත් එක්ක හුණුපිටිය ගංගාරාමෙට එද්දි ඒ ළමයි අතරින් මම එයට තේරෙනවා. දිස්නා අතපත්තු අක්කා අඳුනගන්නෙ එදායි. එහිදී රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවො ඇතුළු පිරිසක් අඳුනගන්න ලැබුණා. එදා මම එම සංයුක්ත තැටියේ ගීත දෙකක් ගායනා කළා. රෝහණ වීරසිංහ සහ රෝහණ ධර්මකීර්ති යන මහත්වරුන් සංගීතවත් කළ ගීත දෙකක් තමයි ගායනා කළේ. මගේ පාසල කැකිරාව මධ්‍ය විද්‍යාලය.
නමුත් මම නැටුම් තමයි විෂයයක් විදියට කළේ. සාමාන්‍ය පෙළට අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත යළි සංගීතය හදාරනවා. උසස් පෙළටත් හදාරලා විශ්වවිද්‍යාලයට එන්න ඉද්දි දැයට කිරුළ ගී තරුව ජාතික රූපවාහිනියේදි පවත්වපු තරගයකින් ප්‍රථම ස්ථානය හිමිවුණා. එමගින් තමා මට බොහෝ අවස්ථා හිමිවෙන්නෙ. දැයට කිරුළ තරගයෙන් පළමුවැනියා වුණාට පසුව සරල ගී ගායනයට ඒ ශ්‍රේණියේ ගායිකා සහතිකය හිමිවෙනවා. අනතුරුව සුභාවිත ගීතයේ ගීත ගායනා කිරීමට ගියා.
නවක තතු
මේ වනවිට සරසවියේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු තමයි සිදුකරන්නේ. විශාරද විභාගයත් අවසන් කළා. ගීත ගායනා කරනවා. ඊට අමතරව ප්‍රියා රණසිංහ නැන්දා අධ්‍යක්ෂණය කළ නාට්‍යයකත් රංගනයෙන් දායක වුණා. එය ජාතික රූපවාහිනියේ විකාශය වූ 'ඉර අවර' නම් වූ ටෙලි නාට්‍යයයි. ඉදිරියේදී ගායන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
මේ ගමනට දිරිදුන් අය
අම්මයි, අප්පච්චියි, නංගියි, මල්ලියි විශේෂයෙන් මතක් කළ යුතුමයි. අප්පච්චි තමා පොඩි කාලෙ ඉඳලම හැමදේටම පිටිපස්සෙන් හිටියෙ. කොළඹට ආවම මම තනිවුණේ නෑ. ශ්‍රියා ආන්ටි, මැණික් අංකල්, සංගීත ගුරුවරු, අනුරුද්ධ ජයසිංහ සර්, විශාරද දර්ශන වික්‍රමතුංග, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, දිස්නා අතපත්තු, විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු, ප්‍රේම් රංජිත් විජේවික්‍රම, නයනසේන වන්නිනායක අයියා, මගේ යාළුවො, ගුරුවරු හැමෝම මතක් කළ යුතුයි.