එදා බොහෝ ගායක ගායිකාවන් බිහිවූයේ ගුවන් විදුලියේ ළමා පිටිය හරහාය. පියවරෙන් පියවර කට්ට කමින් පෙරට ආ මේ පිරිස අදත් ගායන ක්ෂේත්රයේ තමන්ගේ ස්ථාවරය පවත්වා ගන්නට සමත්ව ඇත්තේ එදා පැවැති ක්රමයේ වූ නිවැරදි බව හේතුවෙනැයි අදත් පිළිගැනීමට කතාබහට ලක්වෙයි. ශීලා පරණමාන්නගේ නම් ගායන ශිල්පිනිය සම්බන්ධයෙන් කතාබහ කරන විට ඇය සාමාන්‍ය ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායිකාවක පමණක් යැයි සඳහන් කළ නොහැකිය. මන්ද ඇය එවකට ගුවන් විදුලිය විසින් නිර්මාණය කරන ලද ඒ ශ්‍රේණියේ දක්ෂතම විරිදු ගායන ශිල්පිනියකද වන බැවිනි. ශීලාගේ හඬින් බැහැර වූ වෙසක් තොරණක් එදා වූයේ නම් ඒ කලාතුරකිනි.
ආදරයක හැඟුමක් සිතෙහි - නොතිබුණු කාලෙක පෙර දිනෙහි, මා හද ඔබ හමුවුණ විටදී - මතකයි හද කිති කැවුණු හැටි යැයි ශීලා ගයන්නේ විජය කුමාරතුංගයන් සමගය. ඒ ගීතය ඇතුළු තවත් ගීත තුනක් සමග ශීලාගේ ගී හඬ මුසු වූ තැටිය අදත් ගුවන් විදුලිය තුළ ප්‍රචාරය වන ජනප්‍රිය ගීත අතර රැඳී සිටී. අතීතයෙන් කතාවක් තුළ අද දිගහැරෙන්නේ ශීලා පරණමාන්නගේ ගායන ශිල්පිනියගේ කතාවයි.
“මම ගුවන් විදුලියට මුලින්ම ගියේ ළමා ශිල්පිනියක් විදිහට ළමා පිටියටයි. කරු අයියාගේ ළමා පිටිය අපිට එදා සරසවියක් වගේ වුණා. කරු අයියා කීවම එදා ගුවන් විදුලියේ දැවැන්ත චරිතයක්. කරුණාරත්න අබේසේකර මහත්තයාගෙ සෙවණේ ගුවන් විදුලියේ බොහෝ දෙනෙක් හැදුණා. මම සරල ගී පරීක්ෂණයට පෙනී සිටින්නේ ඒ අතරයි. ඒ දවස්වල ගුවන් විදුලියේදී අපි අත්වැල් ගායනාවලට ඉදිරිපත් වෙනවා.
මේ විදිහට අපි අමරදේව සර්ගෙ ගීතවලටත් අත්වැල් ගායනයෙන් සහාය වුණා. ඒ කාලෙ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනක් තිබුණා රාත්‍රී 7.00 ට විකාශනය වෙන. ඉතිං මට මුලින්ම අත්වැල් ගායනය කරන්න ලැබුණේ මේ වැඩසටහනේ අමරදේව සර් ගායනා කළ වක්කඩ ළඟ දිය වැටෙන කාෙලට ගීතයටයි. ඇත්තටම එවන් ප්‍රවීණයෙක් සමග මුල්ම ගීත අත්දැකීම ලබන්නට හැකිවීම මගේ වාසනාවක් කියලයි මම හිතන්නේ.
මම සරල ගී පරීක්ෂණයෙන් සමත් වෙන විටත්, ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ විරිදු ගායිකාවක ලෙස සමත් වී සිටියා. කොහොම නමුත් සරල ගී පරීක්ෂණයෙනුත් මම ඒ ශ්‍රේණියේ ශිල්පිනියක බවට පත් වුණා. ඇත්තෙන්ම ඒ කාලයේ එවන් ශ්‍රේණිගත කිරීමකට ලක්වීමම ශිල්පියෙකුට ලොකු අවස්ථාවක්.
උදා ගී වැනි වැඩසටහන්වල සෝමදාස ඇල්විටිගල මහත්තයා ඇසුරේ වැඩ කරන්නත් මට අවස්ථාව ලැබුණා. අමිතා වැදිසිංහ, රූපා ඉන්දුමතී වැනි ගායක ගායිකාවන් අපේ සමකාලීනයෝ.
මේ කාලෙ මාව බොහෝ දෙනෙක් දන්නෙ විරිදු ගායිකාවක් විදිහටයි. ඇත්තෙන්ම මම කාගෙන්වත් විරිදු ගායනා ඉගෙනගෙන නැහැ. නමුත් මමවත් නොදන්න හැකියාවක් මට විරිදු පද පේළියක් අතට ලැබුණම මතුවෙනවා. ඒ එක්කම මගේ හඬ විරිදු හා හොඳින් ගැළපෙන බව තමයි හැමෝගෙම මතය වුණේ. ඒ දවස්වල අම්මා මගේ පස්සෙන්මයි. තාත්තා නම් වැඩිපුර මේ වැඩවලට කැමති වුණේ නැහැ. මමත් අක්කාත් දෙන්නම මේ කියන කාලයේ ගීත කලාවට සම්බන්ධව හිටියා. මේ කියන්නෙ අපි තරුණම කාලෙනේ.
ඉතිං ඇහැට කනට පේන කෙල්ලො දෙන්නෙක් විදිහට අම්මා අපේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා අපිව රැකගන්න. නමුත් එදා ගුවන් විදුලියේ ශිල්පීන් සහ සේවය කළ පිරිසගෙනුත් අපට ලැබුණෙ හොඳ සහයෝගයක්. හැමෝම අපිව තමන්ගේ සහෝදරියන් තරමට ආරක්ෂා කළා. මේ නිසා අපට ගුවන් විදුලිය ගෙදර වගේ.සනත් නන්දසිරි, වික්ටර් රත්නායක වැනි අද ජනප්‍රිය ගායකයන් බිහිවුණෙත් මේ කාලෙයි. ඒ කාලෙ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට සම්බන්ධ වෙනවා කියන්නෙ අමාරුම කාරණයක්. මම සරල ගී ගායිකාවක් විදිහට මුලින්ම ගුවන් විදුලියේ පටිගත කරන ගීතයකට සම්බන්ධ වෙන්නෙ ෂෙල්ටන් පෙරේරා මහත්තයගෙ සරල ගීයකටයි. ඒ දිනවල මම හරිම පොඩියි. ඇත්තම කිවුවොත් මට අද නම් ඒ ගීතයේ වචන මතක නැහැ.
මම සරල ගී ගායිකාවක් වුණේ 1965 අවුරුද්දෙනෙ? මගේ මුල්ම සරල ගී වැඩසටහනේ ගීත තුනම සංගීතවත් කළේ සරත් බාලසූරිය මහත්තයා. ඒ ගීත ලිවුවෙ මාලා වජිරා පෙරේරා. මගේ ගීත වැඩි හරියක් ලියා ඇත්තෙ මාලා තමයි. ඇය ගුවන් විදුලියේ ප්‍රසිද්ධ නිවේදිකාවක්.කොහොමහරි මා ගැන හුඟ දෙනෙක් කතා කරන්න පටන්ගත්තු ගීතය මම ගැයුවෙ විජය කුමාරතුංගයන් සමග. මෙය මම කළේ ගී තැටියකට. ඇත්තටම සරත් බාලසූරිය තමයි විජය එක්ක ගීතය ගයන අවස්ථාව සැලැස්සුවේ. ඇත්තෙන්ම විජයට මේ අදහස කිවුවම විජය ගීතය ගයන්න කැමැත්ත පළකර තිබුණා.
මේ යාමේ - ඔබෙ රූ මැවේ කියන ගීතයත්, ආදරයක හැඟුමක් සිතෙහි කියන ගීතයත් විජය මා සමග ගැයුවා. මට තාම මතකයි එහි පටිගත කිරීම් යොදාගෙන තිබුණේ උදේ දහයයි තිහට. විජය හරියටම ඒ වෙලාවට ආවා. පළමු ගායනයෙන්ම එය පටිගත කෙරුණා. ඒක නම් පුදුම හැකියාවක්. ඔහු ඒ ගීත එක හුස්මට ගායනා කළා. ඒ වගේම ඒ ගීත පුදුම විදිහට ජනප්‍රිය වුණා. අදටත් ඒ ගීත ජනප්‍රියතාව රඳවාගෙන ඉන්නවා. එය මට විශාල සතුටක්.
ඒ තැටියේ විජයගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ගීතයකුත් නිර්මාණය වී තිබුණා. විජය විවාහයට පෙර පැවැති පෙම් සබඳතාවක් මේ ගීතයට පාදක වී තිබුණා. ඇත්තෙන්ම විජය මේ ගීතය ගැයුවේ එක්තරා නිළියක් වෙනුවෙන්. ඇය හා විජය යන දෙදෙනා ඒ දිනවල සිනමාවෙත් ජනප්‍රියම පෙම්වතුන් වී සිටියා. නමුත් පසුකාලෙක විජය හා පැවැති පෙම් සබඳතාව බිඳවැටුණු මේ නිළිය හා ඇගේ ආදරය ගැන විජය මේ ගීතය ගැයුවා. ඒ ගීතය තමයි ඉරිසියා සිතින් මා ඉරිසියා සිතින් කියන ගීතය.
හැබැයි ඉතිං පටිගත කරන වෙලාව වෙනතුරුම විජය මේ ගීතයේ වචන දැනගෙන හිටියෙ නැහැ කියන කතාව තමයි ඇත්ත. විජය මේ ගී තැටියට සම්බන්ධ වෙන බව දැනගත් මොහොතෙ තමයි මේ ගීත රචකයා තීරණය කළේ විජය හා ඔහුගේ පෙම්වතිය වී සිටි ඒ නිළියගේ බිඳුණු පෙම් පුවත ගීතයකට නගන්න. කෙසේ හෝ විජය මා සමග ඉතාම හැඟුම්බරව ඒ ගීතය ගායනා කළා. ඒ වනවිට විජය විවාහ වෙලා හිටියේ. නමුත් ඔහුගේ බිරිඳ එය ගීත නිර්මාණයක් ලෙස පිළිගත්තා විනා ඒ ගැන විජය සමග අමනාපයක් ඇති කරගත්තේ නැහැ. ඒ ගීතය ගයන අවස්ථාවේත් ඇය ඒ ගීතය අසාගෙන හිටියා.
ඉතිං ඉතාම රසවත් සිද්ධි ඕන තරම් තියෙනවා. මම ගුවන් විදුලියේ නිවේදිකාවක් විදිහටත් වැඩ කළා. සේසිරි විජේසේකර කළ වැඩසටහන්වල මම කවි ගායනා කළා. ඇත්තෙන්ම මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්. මගේ අම්මා වගේම මගේ මහත්තයත් මට මගේ කලා ජීවිතයට ගොඩාක් උපකාර කළා. දුවත් ඒ වගේ. අද ඇයත් ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ නියුතු කෙනෙක්. නමුත් කලා මාධ්‍යයෙන් නෙවෙයි. ඉතිං අද මම විවේකී සුවයෙන් මගේ එකම දියණියත්, මුණුබුරාත් සමග ජීවත් වෙනවා.
ගායික ගායිකා සංගමය වෙනුවෙනුත් මම දැන් මගේ කාලය වැය කරනවා. ඇත්තෙන්ම සංගීත කලාකරුවන් වෙනුවෙන් යම් සේවයක් සලසන්නට ගායික ගායිකා සංගමය යම් මෙහෙවරක් ඉටුකරන්නට සැරසෙන මේ මොහොතේ මගේ ශක්ති ප්‍රමාණයෙන් ඊට දායක වෙන්නේ බොහොම කැමැත්තෙන්. මේ ගමනේදී අතහිත දුන් අය බොහෝමයි. ලලිත් එස්. මෛත්‍රීපාල මහත්තයා ඇතුළු ඒ හැමෝම ගෞරවයෙන් මතක් කළ යුතුයි.
ඇත්තෙන්ම මට තවමත් මගේ විරිදු රසික රසිකාවන් හමුවෙනවා. සමහරු මගේ අත්දෙකින් අල්ලගෙන ඒ විරිදු පද පේළි සිහිපත් කරවමින් අඬනවා. ඇත්තෙන්ම රසිකත්වය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමහර පද මාලා ඒ අයට මතක තිබුණාට මට අමතකව ගිහින්. අනේ ඒත් මම කවදාවත් ඒ බව ඒ රසිකයන්ට කියන්නේ නැහැ දුක හිතෙයි කියලා. ඒ රසික රසිකාවියන් තමයි අපි උපයාගත් ධනය කියලා මට හිතෙනවා. අදටත් මම විරිදු ගායනයෙන් ඈත්වෙලා නැහැ. ආරාධනා ලැබෙන අවස්ථාවල ඒවා බාරගෙන බෞද්ධ තොරණ විරිදු ගායනා පටිගත කිරීම්වලට තවමත් යනවා"