මෙවර රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළේ තේමා ගීතය නිර්මාණය කළේද ඔහුය. එලෙසින් සංගීත අධ්යක්ෂණ කටයුතු සිදුකරන ඔහුගේ ශබ්දාගාරය එළඹෙන 05 වැනිදා යළි විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බැවින් ඒ පිළිබඳව සහ නිර්මාණ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට සංගීත අධ්‍යක්ෂක උදාර සමරවීර මහතා 'අද'ට සම්බන්ධ කරගතිමු.
අලුත් වෙන ශබ්දාගාරය
මගේ 'කැනෝ එන්ටර්ටේන්මන්ට්' නම් වූ ශබ්දාගාරය අලුතෙන් ස්ථාපිත කළේ බත්තරමුල්ල, පැලවත්ත, 939, විජිතපුර, ගැමුණු මාවත නම් වූ ස්ථානයේයි. එහි නවීකරණය කර ගෙවැදීම සිදුවෙන්නෙ එළැඹෙන 05 වැනිදා. එහි මූලිකම අවධානය යොමුකරන්නෙ චිත්‍රපට සහ වෙළෙඳ දැන්වීම් කටයුතුවලට. එමෙන්ම එහි නිර්මාණශීලී කටයුතු කරන්න සිදුකිරීමටයි අපි හැමවිටම පෙළඹෙන්නෙ.
පෙළඹ වූ මියැසිය
මුලින්ම මගේ ආසාව තිබුණෙ සංගීතයේ තිබෙන තාක්ෂණික දේවල් හදාරන්න. මම ඉගෙන ගත්තෙ රසායනික ඉංජිනේරු විද්‍යාව. සරසවියේ ඉන්න කාලෙ මට හමුවෙනවා දිලුප් ගබඩාමුදලිගේ මහතා. ඔහු ලංකාවේ සංගීතයේ තාක්ෂණික පාර්ශ්වය හොඳින් ඉගෙන ගත්ත පුද්ගලයෙක්. එතුමා යටතේ සංගීතයේ තාක්ෂණික පාර්ශ්වය ඉගෙන ගන්න අවස්ථාව හිමිවෙනවා. ශබ්ද පරිපාලනය විතරක් නෙවෙයි සංගීතය ගැනත් විශාල දැනුම් සම්භාරයක් ලබාදෙනවා. මේ අයුරින් තමයි සංගීත කටයුතු පටන් ගත්තෙ. අපේ තාත්තා ගිටාර් වාදනයෙහි යෙදුණා. එයත් මට පෙළඹවීමක් වුණා සංගීතයට පිවිසෙන්න.
පූර්ණ කාලීන වූ සංගීතය
මට මුලින්ම වෘත්තීමය මට්ටමේ ගීතයක් නිර්මාණය කරන්න ලැබෙන්නෙ ජාතික රූපවාහිනියෙන් අවුරුදු උත්සවයට 2011 වසරේදී තේමා ගීතයක් නිර්මාණය කළා. අවුරුදු 20කින් තේමා ගීතයක් නිර්මාණය කර තිබුණෙ නෑ. ඔවුන් අත්හදා බැලීමක් විදියට අලුත් ගීතයක් නිර්මාණය කළා සහ අලුත් සංගීත ශිල්පියෙකු ලෙස මටත් අවස්ථාව හිමිවුණා. ගායනා කරන්න යොදාගත්තෙ ප්‍රවීණ ශිල්පීන් වන රෝහණ බැද්දගේ, නෙලූ අධිකාරී, ශෂිකා නිසංසලා, අමල් පෙරේරා ඇතුළු දහදෙනෙක්.
එය මට ලැබුණු ලොකු අවස්ථාවක්. එහි පද රචනය සිදුකළේ ඩිලාන් ගමගේ. එය තමයි පළමු වෘත්තීය මට්ටමේ ගීතය. එය 2012 වසරේදී තමයි එළිදැක්වුවේ. පසුව එයට හොඳම කණ්ඩායම් ගීතය ලෙස රාජ්‍ය මට්ටමේ සම්මානයක් පවා හිමිවුණා. ඒ නිර්මාණයේ සාර්ථකත්වයත් පූර්ණ කාලීන සංගීතයෙ යෙදෙන්න මාව පෙළඹ වූ බව කියන්න පුළුවන්. 2011 වසරෙන් පසුව මම පූර්ණ කාලීනව සංගීත කටයුතුවල යෙදුණා. ඒ ගීතයත් එක්ක නෙලූ අධිකාරිලා, අමල් පෙරේරලා, ශෂිකා නිසංසලා ඇතුළු ක්ෂේත්රයේ හිටිය ප්‍රවීණයන් එක්ක ඔවුන්ට අලුත් ගීත නිර්මාණය කරන්න පටන් ගත්තා.
සැබෑ කරගත් සිනමා හීනය
පොඩි කාලෙ ඉඳලා මගේ ආසාවක් වුණේ සංගීතයේ තාක්ෂණික පැත්ත වගේම චිත්‍රපට පසුබිම්, ගීත සහ සංගීතය පැත්ත. එයට අත්දැකීම් ලබාගන්න වෙනම ගීත නිර්මාණය කළා, අවුරුදු තුනක් පමණ. එවිට මගේ ශබ්දාගාරය තිබුණෙ තිඹිරිගස්යායෙ. එහිදී මට හමුවෙනවා ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ යන මහත්වරුන් දෙපළ. චමින්ද ගමගේ කියන්නෙ ධර්මසිරි ගමගේ මහතාගේ පුතණුවන්.
ඔවුන් දෙදෙනා එක්ව නිර්මාණය කළ 'ආදරණීය කතාවක්' චිත්‍රපටයේ සංගීත කටයුතු බාරදීමත් එක්ක මම අපේක්ෂිත හීනයට ළඟාවෙන පළමුවැනි අවස්ථාව ලෙසට හඳුන්වා දිය හැකියි. විශේෂම කරුණ තමයි එය සංගීතමය චිත්‍රපටයක් වීම. ලංකාවේ එවැනි චිත්‍රපට බොහොමයක් නෑ. එය මගේ හැකියාවන් පෙන්වීමට ලැබුණු හොඳම අවස්ථාවක්. එහි ගීත අටක් ඇතුළත් වුණා. එම ගීත ගායනයට හොඳම ගායක ගායිකාවන් දායක වුණා.
කසුන් කල්හාර, චිත්‍රාල් සෝමපාල වැනි ගායක ගායිකාවන් තමයි මෙයට දායක වුණේ. ඔවුන් සමග වැඩකිරීමට ලැබීමත් භාග්‍යයක්. එහි කටයුතුවලට මාස හයක් පමණ ගතවුණා. එයට තමයි මගේ වෘත්තීයමය චිත්‍රපට ජීවිතයේ ඇරඹුම. එයට වැඩිපුර ලැබුණෙ හොඳ ප්‍රතිචාර. ආදරණීය කතාවක් චිත්‍රපටය ලබාදීම වෙනුවෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට සහ නිෂ්පාදකතුමාට ස්තූතිවන්ත විය යුතුයි.
ඉදිරි නිර්මාණ කටයුතු
මේ වනවිට අලුත් චිත්‍රපට කිහිපයක වැඩකටයුතුවලට දායක වෙමින් සිටිනවා. දැනටත් චිත්‍රපටවල සංගීත කටයුතු සහ විවිධ ආයතනවල වෙළෙඳ දැන්වීම් සංගීත කටයුතු නිර්මාණයත් සිදුකෙරෙනවා. එහිදීත් මට ලැබුණු අවස්ථා ඉතා හොඳයි සහ හොඳ වෙළෙඳ දැන්වීම් ලැබීමට මම වාසනාවන්තයි. බොහෝ අයට තමන්ට අවශ්‍ය ආකාරයෙන් සංගීතය භාවිත කරන්න අවස්ථාව හිමිවෙන්නෙ නෑ. නමුත් අපි හරියට එම කටයුත්ත සිදුකරනවා නම් වෙළෙඳ දැන්වීම්වල පවා එම කටයුත්ත සිදුකරන්න පුළුවන්. 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ සංගීත කටයුතුත් මේ දිනවල සිදුවෙනවා. මම කැමතියි වැඩි කාලයක් අරගෙන අඩු නිර්මාණ ප්‍රමාණයක් සිදුකරන්න. එවිට වඩාත් සාර්ථක නිර්මාණ බිහිකරන්න පුළුවන්.