නා නා අරමුණු ඔස්සේ තණ්හව ලුහුබඳින්නා වූ මානවයන් සතුට, සැනසුම, නිදහස ආදී සියලු මානුෂීය හැඟුම් ඇතැර මුදල නම් මිරිඟුව පසුපස දිවයමින් සිටියි. විකෘති මනස්වලින් ජීවිතය දකිනවා වෙනුවට ප්‍රකෘති මනසින් ජීවිතය දකින්නට, ජීවිතය කියවන්නට සප්ත ස්වර සුසංයෝජනය කරන්නට ඔවුන් සූදානම්ය. ඒ දෙසැම්බර් 1 වැනිදා සවස 7ට තලවතුගොඩ ඇක්ට් ෆෝ ආයතනයේදීය. සප්ත ස්වර අතර ජීවිතය කියවන්නට ඇක්ට් ෆෝ ආයතනය හා එක්ව ඔවුන් 'ආයු' ප්‍රසංගය ගෙන එයි. ඒ ගැන අප හා කතාබහ කළේ එම කණ්ඩායමේ ඉසුරු පෙරේරාය.
Q 'ආයු' ප්‍රසංගය ගැන මුලින්ම අපි කතා කරමු?
'ආයු' කියන මේ ප්‍රසංගයට මූලික වෙන්නේ බෞද්ධ දර්ශනයයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ අපේ ජීවිතේ. ආයු කියන්නේ ජීවන චක්‍රය. අපි මෙය නම් කරන්නේ the journey of life කියලා. අපි එය සංගීත සංයෝජන මගින් පෙන්වනවා.
Q 'ආයු' ප්‍රසංගයේ අන්තර්ගත නිර්මාණ ගැන සඳහන් කළොත්?
අපි අදහන ආගම ධර්මය තුළින් ඒ ජීවිත ගැන කතා කරනවා. මුලින්ම සර්වාගමික ආශිර්වාදය ලබාගන්න සංගීත නිර්මාණයක් සිදුකරනවා. පසුව අපි මිනිසෙකුගේ ඉපදීම ගැන සංගීතයෙන් ඉදිරිපත් කරනවා. අනතුරුව ළමා අවධිය, කතා කරන කාලය වැනි දේ අපි සංගීතය තුළින් ඉදිරිපත් කරනවා. පසුව අපි යොවුන් විය ගැන කතා කරනවා. ඒක සංක්‍රාන්තික සමයක්. ජවය, කලබලය සහ ආදරය පිරුණු කාලයක්. ඒ කාලය ගැන අපි සංගීත නිර්මාණයක් කරල තියෙනවා. ඉන්පසු විවාහ ජීවිතය ගැන කතා කරනවා. ඉන් අනතුරුව ජීවිතයේ සැදෑ සමය ගැන සංගීත නිර්මාණයන් ගෙන එනවා. අවසානයට අපේ ජීවිතයේ මරණය ගැන සඳහන් වන නිර්මාණයක් සිදුකරනවා.
Q මේ නිර්මාණවලට මූලික කරගත් සංගීත ශෛලීන් ගැන කතා කළොත්?
මෙයට අපි මූලික කරගන්නේ හින්දුස්ථානි සංගීත ශෛලියයි. මේ කණ්ඩායමේ හැම දෙනාම වගේ සංගීතය ගැන හොඳින් ඉගෙන ගත් අය. ශාන්ති නිකේතනයෙන් සංගීතය ඉගෙන ගත් අයත් සිටිනවා. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසිත් අතපත්තු අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු අපිට ලොකු ශක්තියක්. ඒ වගේම දමින්ද අතාවුද, චින්තක ජයකොඩි වැනි අය ඉන්දියාවෙන් සංගීතය හදාරා පැමිණි අය. ඒ නිසා අපිට මෙය වඩා හොඳින් සිදුකළ හැකි යැයි හිතුවා. ඒ නිසා තමයි අපි මේ සංගීත ශෛලියට මූලිකත්වය දෙන්න හිතුවේ.
Q මෙවැනි ප්‍රසංගයක් කරන්න අපේක්ෂා කළ හේතුව මොකක්ද? මෙහි අරමුණ ගැන සඳහන් කළොත්?
මෙහෙමයි, අපි ඉන්දියාවේ ඉඳන් සංගීතය ඉගෙන ගෙන ලංකාවට ආවට පස්සේ අපිට හැම විටම හිතුණ දෙයක් තමයි, අපි අහපු දෙයක් තමයි හින්දුස්ථානි ක්ලැසිකල් මියුසික් ඉගෙන ගෙන ආවට පස්සේ එයම සිදුකරනවා කියන එක. මට කෙනෙක් කිව්ව දෙයක් මම කියන්නම්. 'ඔයගොල්ලො ඉන්දියාවේ ගිහින් සංගීතය ඉගෙන ගෙන ආවට පස්සේ ඔයාලත් තෙල් බෙහෙත්කාරයෝ වගේ^ කියලා. අපි හින්දුස්ථානි ක්ලැසිකල් මියුසික්වලට අගෞරව කරනවා නෙමෙයි. එය මහා සම්ප්රදාය. ඒ සංගීතයත් යොදාගෙන, අපේ සංගීත නාදත් යොදාගෙනයි මෙය සිදුකරන්නේ. මෙහි හින්දුස්ථානි සංගීතය වගේම කර්ණාටක සංගීතය, ජනගී, බටහිර සංගීතය, ජෑස් පවා අපි යොදා ගන්නවා. අපි එක් රාමුවකට කොටු වෙන්නේ නෑ. අපිට තිබෙන ප්‍රධාන අරමුණ තමයි දැන් පවතින කඨෝර සංගීතයෙන් මිදිලා සංගීතයේ රස හොයා ගෙන යෑම. හොඳ දෙයක් සහ හිතන්න දෙයක් ඉතුරු කරන්නයි අපිට අවශ්‍ය වුණේ. මානව ජීවිතවල භාව ප්රකාශනවලට මෙහි ඉඩක් තිබෙනවා. මේක කලබලයෙන් කරන දෙයක් නෙමෙයි. හොඳට හිතලා බලලා නිර්මාණය කරන්නේ.
Q මේ පවතින රටාවට අනුගත වෙලා තියෙන ප්‍රේක්ෂකාගාරයට මෙය කොයි විදිහට බද්ධ වෙයිද?
ඒක සාපේක්ෂයි. අපි මේ සිදුකරන වැඩේට සුදුසු ප්‍රේක්ෂකාගාරයක් සිටිනවා. අපිට කියන්න බැහැ හැම දෙනාම මේක අහයි කියලා. මේක වෙනස් නිර්මාණයන් අන්තර්ගත වූ ප්‍රසංගයක්. ඒ නිසා මේ අත්දැකීම අත්විඳලාම බලලා කතා කරන්න කියලයි අපි කියන්නේ. එක උදාහරණයක් කියන්නම්. ලංකාවට නූර්ති කලාව පැමිණෙන්න පෙර ලංකාවේ තිබුණේ නාඩගම්නේ. නූර්තිවලට ආභාසය වුණේ හින්දුස්ථානි ක්ලැසිකල් මියුසික්. ඒ හින්දුස්ථානි සංගීතය මූලික කරගෙන මෙය ලංකාවට පැමිණි පසු රටේ ජනතාව එය වැලඳ ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපිත් ඉන්දියාවට ගිහින් ඒ සංගීතය වැලඳ ගත්තේ. ඒ කාලෙදිත් හොඳ මියුසික්වල රික්තකයක් ලංකාවේ නිර්මාණය වෙලා තිබුණා. දැන් ඒ වගේම රික්තකයක් ලංකාවෙත් ඇතිවෙලා තියනවා. ඒක කාට වුණත් තේරෙනවා. බස්වල ගියත් රසවිඳින්න පුළුවන් සංගීතයක් නෙමෙයිනේ අද ඇහෙන්නේ. අපි නිතරම ඒ ගැන කිය කියා ඉන්නවා. කිය කියාම ඉන්නවාට වඩා අපි දෙයක් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය තමයි %ආයු^ කියන මේ ප්‍රසංගය. මේ සංගීතය ලංකාවේ කාලීන අවශ්‍යතාවක්. මේ තුළින් තවත් මෙවැනි සංගීත අධ්‍යාපනය ලැබූ අය ඉදිරියට එයි. ඉදිරියේදීත් අපි මෙය කොළඹට පමණක් සීමා නොකර ප්‍රසංගයක් ලෙස හා සංගීතය හදාරණ අය අතරටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ නිර්මාණ තුළ හින්දුස්ථානි රාග තිබෙනවා. රාග කියන්නේ මිනිසෙකුගේ හිත රංජනය කළ හැකි ස්වර සමුදායක්. මේ තුළින් මිනිසෙකුගේ හිත සුවපත් කිරීමක් සිදුකරන්නේ. මේවා පර්යේෂණාත්මකව අත්හදා බැලීම් කළ නිර්මාණ. හොඳ රසවින්දනයක් අපි ලබාදෙනවා. ඉතිං කාර්යබහුලත්වයෙන් මදකට මිදී ඇවිත් මේ ප්‍රසංගය රසවිඳින්න කියලා අපි ආරාධනා කරනවා.
ඉසුරු -0779 663429