දෑස පා සිනාසෙන්නට යළිත් ඇය අපට හමුනොවනු ඇත. අයිරින් ද අල්විස් නම් ඇය හමුවන්නට අපි ඇයගේ කුලී නිවසට ගිය එක් දවසක ඇය ඇගේ ජීවිතයේ දුක්බර කතාව අපට හෙළි කළේ ගිලන් ඇඳ මත වැතිර සිටමය. අතීතයේ ඉතාම රසබර ගී පදවැල් සමග ඇය ඇගේ ඉමිහිරි හඬ මුසු කළ අවස්ථාවල ඡායාරූප සටහන් අප අත තබමින් ඇගේ ස්වාමියා වූ ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක හේමශ්‍රී ද අල්විස් මහතාද අපේ කතාබහට එක්වූයේ හදිසියේම ගිලන් වූ තම ආදරණීය බිරිඳගේ සියලු සාත්තු සප්පායම් ඉටුකරන අතරය. රැකියාවක් නැතිව ඇයගේ වියපැහැදම් දැරීම තමන්ට ඇති ලොකුම අභියෝගය යැයි ඔහු පවසද්දී ඇය කඳුළු පිරි දෙනෙතින් ඒ සියල්ල අසා සිටියාය. කවදාක හෝ අපේ නිවසක මට මැරෙන්න ඉඩක් ලැබේවිද යැයි එදා ඇය අපෙන් විමසුවාය. එදා අප ඒ සියල්ල අකුරු කළේ එම කලාකරු යුවළ කෝටිපතියන් සේ සලකාය.
ඔවුන්ට අතේ සතේ නැතිව කල් ගෙවන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපොළවල වටිනාකම ඔවුන්ට නොලැබීම හේතුවෙන් යැයි යන අදහසින් අප ඒ සටහනට එක්කළ ශීර්ෂපාඨය, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නෙත ගැටී තිබුණාක් මෙන්ම පානදුර ප්‍රාදේශීය සභා ලේකම්වරයාගේද, සිංහ සමාජයේද නෙත ගැටී තිබිණි. එම ලිපිය අවසන දක්වා කියැවීමෙන් පසු අයිරින් ද අල්විස් මහත්මියගේ සිහිනය යථාර්ථයක් බවට පත්වීම ඇරඹිණි.
තල්පිටිය ප්‍රදේශයෙන් බිම් කඩක් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඔවුන්ට හිමිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සජිත් ප්‍රේමදාස මහතාත්, සිංහ සමාජයත් එක්ව මෙම අතේ සතේ නැති කෝටිපති යුවළට ඔවුන්ගේ සිහින මන්දිරය ඉදිකර දෙන්නට ක්‍රියා කළහ. අද අපි ඔවුන්ගේ නව නිවසට ගොඩවැදුණේ අයිරින් ද අල්විස් ගායිකාවගේ සිහිනය ඉටු වූ බව දෙනෙතින් දකිමිනි. නමුත් ඇය දෑස පියාගෙන සිටින්නීය. නැවත නොහරින්නට දෑස පියාගත් ඇය අවසන් ගමන යන්නට තමන්ගේම නිවසක් ලැබූවේ යැයි යන සහනය ඇගේ ශාන්ත මුහුණ මත අද රැඳී තිබේ. එදා මෙන් අදත් හේමශ්‍රී අල්විස් මහතා ඇය අසලම රැඳී සිටි නමුත් ඔහුට කියන්නට වෙනම කඳුළු කතාවක්ද ඉතිරිව තිබේ.
"අයිරින් යන්නම ගියා. අපි ඉන්න හිටින්න තැනක් නැතිව ලොකු කරදරයකින් හිටියේ. කුලියට වත් තැනක් ගන්න අපට පහසු වුණේ නැහැ. අයිරින් ලෙඩින් බව දැනගත්තාම අපට කුලියටවත් ගෙවල් නොදෙන්න තරම් සමහරු කටයුතු කළා. ඇත්තටම අයිරින්ට අවශ්‍ය වුණේ ඉන්න ටික දවස හිතේ සහනයෙන් ගතකරන්නයි. ඇය අංශභාග රෝගයට ගොදුරු වෙලා සිටි නිසා ඇයට අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල සහ දියවැඩියා යන තත්ත්වයන්ට අවශ්‍ය බෙහෙත් සපයා ගැනීම කිසිම ආදායමක් නැතිව හිටි අපට ලොකු ගැටලුවක් වුණා.
ඒ වෙලාවේ තමයි 'අද' පුවත්පත අප ගැන හෙළිදරව් කළේ. රසික රසිකාවන් අපට මුදලින් තමන්ට හැකි පමණින් ආධාර කළා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ලතා වල්පොළ, ඇන්ජලීන් වැනි ශිල්පීන් නොයෙක් අවස්ථාවල අයිරින්ගේ ප්‍රතිකාර වෙනුවෙන් උදවු උපකාර කළා. අපි වේලක් හෝ පිරිමහාගත්තේ ඒ ලැබුණු ආධාර උපකාර නිසයි. 'අද' පුවත්පත නිසා අපට ඒ උදවු උපකාරය වගේම අපටමය කියලා ඉන්න හිටින්න තැනක් ලැබුණා. එයට සහභාගි වූ, වචනයකින් හරි දායකත්වය දුන්න හැමෝටම පිං. කලාකරුවෝ හිඟන්නෝය කියල ඉස්සර කියන කතාව මම සම්බන්ධයෙන් නම් ඇත්ත. හැකියාවෙන් පෝසත් අපි හිඟන්නෝ තමයි.
සමහරු අහනවා ඇයි අයිරින් කලාභවනට ගෙනියන්නේ නැත්තේ කියලා. අපට ඒකට හයියක් නැහැ. අපි ඉන්නේ වාද්දුවේ. මෙහේ ඉඳලා අයිරින්ව කලාභවනට ගෙන ගිහින් ආයෙ භූමදානය කරන්න වාද්දුවට ගේන්නේ කොහොමද? ඒකට වියදම් කරන්න මට හයියක් නැහැ. ඒ නිසා අයිරින්ට පුරුදු චාම් සරල විදියටම අවසන් කටයුතු කෙරෙයි. මම දැන් සම්පූර්ණයෙන්ම තනිවුණා. අයිරින් ඉන්න කොට මට ඇය වෙනුවෙන් කරන්න බොහෝ වැඩ තිබුණා. ඇයට කවන්න, නාවන්න, බෙහෙත් පොවන්න මේ හැමදේම මම කළේ බොහොම කැපවීමකින්. ඇය මගේ ජීවිතයේ අනෙක් අර්ධය නෙවෙයි සම්පූර්ණ ජීවිතය වුණා.
ඒත් අදින් පස්සේ ඇයත් මා ළඟ නැහැ. ජීවත් වෙන්න මොනවා හරි කරන්න පුළුවන් වයසක නෙවෙයි මම ඉන්නේ. මට පුරුදු දේ කරන්නත් මම ඊට අවශ්‍ය දේවල්වත් සම්පාදනය කරගන්න ඕන. ගායික ගායිකා සංගමය අයිරින්ගේ අවසන් කටයුතු වෙනුවෙන් දායකත්වය දක්වන බව කිව්වා. නමුත් ඇය වෙනුවෙන් පිනක් දහමක් කරන්න මට වත්කමක් ඕන. මට තවම හොඳට ගීත ලියන්න පුළුවන්. නමුත් දැන් මට මුදල් ගැන හිතන්න වෙනවා. බත් කටක් හරි කන්න මට කීයක් හරි උපයන්න වෙනවා. ඉස්සර පුරුද්දට සමහරු තවමත් මගෙන් කුණුකොල්ලෙට සින්දු ලියවා ගන්න හිතනවා නම් ඒක ගැන එයාලට තවත් හිතන්න වෙනවා. අයිරින්ගේ ගීත වුණත් මම ඒ වගේ කුණුකොල්ලයට විකුණගන්න හිතන්නේ නැහැ. ඒ ගීතවල අයිතිය මගේයි.
මමයි ඇගේ ගීත වැඩි ප්‍රමාණයක රචකයා. මා හැරෙන්නට කිසිකෙනෙකුට ඇගේ ගීතවල අයිතිය මම පවරා නැහැ. මගෙන් අවසර නොලබා ඇගේ ගීත ගැයීම නීතිමගට යන්නට සිදුවන ක්‍රියාවක් වෙයි. අයිරින් මේ නිවස ලැබුණු දවසේ ඇයට ඒ බව දැන්වුවාම ඇය ගොඩාක් සතුටු වුණා මරණය තියන්නවත් දැන් අපට තැනක් තියෙනවනේ කියලා. සජිත් මහත්තයාගේ තාත්තා ඉන්න කාලේ ඔහු මා ලවා ලිය වූ ගීතය 'ශ්රීනිවීභූෂිත ලංකා බැබළේ' ගීතය මා ලිව්වේ විනාඩි දහයකින්. එයට සංගීතය මුසු කළේ පැට්රික් දෙනිපිටිය සංගීතවේදියා. ඇත්තටම මම ඒ ගීතයට වචන යෙදුවේ 'පෙරදිග මුතු ඇටයයි' මේ ගීතයේ තනුව ඔළුවේ තියාගෙන. ඒ එම ගීතය ගයන්නේ ලතා වල්පොළ මහත්මිය යැයි දැනගන්න ලැබුණු නිසා ඇයගේ ස්වර පරාස මතකයට අරගෙන.
මේ ගීතයට ප්‍රේමදාස මහත්තයා බොහෝම කැමැති වුණා. එයට මුදල් ලබා ගැනීම මම ප්‍රතික්ෂේප කළාම එතුමා ඒකට කන්දුන්නේ නැහැ. එවැනි උදාර ගති ගුණ තිබුණ දේශපාලකවරයෙකුගේ පුතා අද අපට සැනසිල්ලේ හුස්මක් ගන්න උදවු කළේ %අද^ පත්තරයට පිං සිද්ධ වෙන්න බව ලියන්නම ඕන. සජිත් ප්‍රේමදාස ඇමතිතුමාටත්, සිංහ සමාජයේ නෝනා,මහත්වරුන්ටත්, මේ නිවස ඉදිකරන්න ඉඩම වෙන්කර දුන් ප්‍රාදේශීය ලේකම්වරයාටත් පිං. ඉතින් අද අයිරින් සදහටම යන්න යනවා. ඉන්ද්‍රාණී පෙරේරා, ජානක වික්‍රමසිංහ, ක්‍රිස්ටෝපර් පෝල් කියන ගායක ගායිකාවන් තුන්දෙනා නම් මම මේ කතාව පත්තරයට කියන දවස වෙනකොට අයිරින්ට අවසන් ගෞරවය දක්වන්න මෙහේ ආවා. ඒත් බොහෝ දෙනෙකු කලාකාරයන්ට අපි දෙන්නව මතක නැහැ.
ලංකාවේ ගීත රසික රසිකාවන්ට ස්තූතියි අපට අතහිත දුන්නාට. මට දැන් ඇඟපත වෙහෙසා රැකියාවක් කරගන්න ක්‍රමයක් නැහැ. නමුත් මටත් ජීවත් වෙන්න ක්‍රමයක් අවශ්‍යයි. මට දෙයක් කරන්න පටන් ගන්නවත්, යන්න එන්නවත් මුදලක් මා අතේ නැහැ. මට ඉල්ලන්න කවුරුවත් නැහැ වගේම මම කාටවත් කරදරයක් වෙන්නත් කැමැති නැහැ. මට කවුරුන් හෝ දෙයකට යොමු වෙන්නවත් හැකිවෙන විදියේ ආධාරයක් ලබාදෙනවා නම් ලොකු උපකාරයක්. තල්පිටිය උතුර, වාද්දූව, කහටගහවත්ත අංක 50/9 මේ නිවසේ අයිරින් ඉන්නේ අද (07දා) විතරයි. අද සවස හයට වාද්දුව වේරගම සුසානභූමියේදී ඇය සදහටම අපව දමා යන්න යනවා. අයිරින් හදවතින් ඉතාම සුන්දර කාන්තාවක්. ඇය නැතිව මගේ ජීවිතය බොහෝ හිස් තැනක්" යැයි ඔහු පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.
හේමශ්‍රී වෙනුවෙන් ඔබට යමක් කළ හැකි නම්, වාද්දුව කොමර්ෂල් බැංකුවේ 8410047948 දරන ගිණුම් අංකයට ඔබේ ආධාර මුදල් බැරකළ හැකි අතර, 077-5822425 යන අංකයෙන් ඔහු සම්බන්ධ කරගත හැකිය.