ඉන්දික රජින්ත ලක්මාල් නම් වූ ඔහු බටනළාවෙන් රටම නැළවූ වාදන ශිල්පියෙකි. මේ විසි හතරවැනිදා සිට ඔස්ටේලියානු සංචාරයක නිරත ඔහුගේ නවක තතු පිළිබඳව කතාබස් කරනට 'අද' හා සම්බන්ධ කරගතිමු.
බටනළා විස්කම
මම අඩි හයක් දිග බටනළාවක් හැදුවා. ඉන් පසුව අඹගහක අත්තක් සිදුරු කරලා අත්ත තියෙද්දිම වාදනය කළා.එමෙන්ම ඉටිපන්දම් කිරිවලින් බටනළාවක් හැදුවා. රවුම් බටනළාවක් හැදුවා. මේ ආකාරයෙන් බටනළා 6 ක් පමණ නිර්මාණය කොට තිබෙනවා. මම පාසල් ගියේ කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට. අනතුරුව රජරට විශ්ව විද්‍යාලයේ තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ. ජනසන්නිවේදනය තමයි හැදෑරුවේ.
පසුව රජරට ගුවන්විදුලියට සම්බන්ධ වෙලා කලකට පසුව සංගීත විශාරද විභාගය කළා. පසුව කොළඹට ඇවිත් විවිධ සංගීතඥයන්ගේ ඇසුර ලබාගත්තා. පළමුවෙන්ම කොළඹට එද්දි ජයගත් මනෝරත්න මහතා සහ නවරත්න ගමගේ යන මහත්වරුන් තමයි කොළඹට එද්දි මට තැන් සූදානම් කර දුන්නෙ. එමෙන්ම මට ස්වර ප්‍රස්තාර ලියන්න පුළුවන් සංගීත භාණ්ඩ නැතිව.
සංගීත පසුබිම
ගොඩක්ම විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වුණාම තමයි සංගීත කාර්යවලට සම්බන්ධ වෙන්නෙ. දැනට ටෙලිනාට්‍ය චිත්‍රපටි වෙළෙඳ දැන්වීම්, රියලිටි වැඩසටහන්වල බට නළා සහ බෙර වාදනයෙන් දායක වෙලා තියෙනවා.ටෙලිනාට්‍ය වශයෙන් රිදී තාරකා,සිතට වහල් වීමි සේපාලිකා රාවණා අඩවිය,ගැහැනු ළමයි, හේඩි බණ්ඩාර දෙයියෝ, බොරළු පාර,අම්මාවරුනේ, අළු බඳුන, රණා යන ටෙලිනාට්‍යවල බටනළා වාදනයෙන් දායක වී තිබෙනවා.
සමනල සන්ධ්වනි, සිරි පැරකුම්,රන් කෙවිට වැනි චිත්‍රපටවල සහ ඉදිරියේදී රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කළ අජාසත්ත චිත්‍රපටයේත් ඇඩ්රස් නෑ චිත්‍රපටයේත් බටනළා වාදනයෙන් සම්බන්ධ වෙනවා. නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණය කළ දුටුගැමුණු සිනමාපටයෙත් බටනළා වාදකයෙන් දායක වුණා.ඒ අතරේ සංගීත භාණ්ඩ 12 ක් වාදනය කරමින් අලුතෙන් සංයුක්ත තැටියක් නිර්මාණය කළා.ළඟදීම එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි.මේ මස 24 වැනිදා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරතවීමටත් නියමිතයි. එම සංචාරය අවසන් වූ පසු සංයුක්ත තැටියේ වැඩ අවසන් කරනවා.
ඔස්ටේලියානු ප්‍රසංගය
එහිදීත් ප්‍රසංග කිහිපයකට තමයි සහභාගී වෙන්නේ. රසවින්දන සහ මම හදපු බටනළා පිළිබඳව වැඩසටහනක් පවත්වන්නයි තිබෙන්නේ. මා සමග දර්ශන රුවන් දිසානායකත් සහභාගී වෙනවා.
සංයුක්ත තැටිය
මෙම ගීත හින්දි ගීත 12 කින් සමන්විතයි. එහි කවුරුත් නොකරපු අලුත්ම වැඩක් තමයි මම කරල තියෙන්නෙ. එක ගීතයකට එක සංගීත භාණ්ඩය බැගින් සංගීත භාණ්ඩ 12 ක් වාදනය කර තිබෙනවා. බටනළා එකෝඩියන් මවුත් ඕගන් වයලීන් ගිටාර් සර්පිනා හාර්මෝනියම් බෙර යන භාණ්ඩවලින් තමයි මෙම සංයුක්ත තැටිය නිර්මාණය කළේ . එයට ජනප්‍රිය හින්දි ගීත 12 ක් ඇතුළත්. එහි උපරිනා යන සංගීත භාණ්ඩයක් වාදනය කරලා තිබෙනවා. සමනල සංධ්වනිය චිත්‍රපටයේ මම ඒ සංගීත භාණ්ඩය වාදනය කළා.
ටෙලි නාට්‍ය කිහිපයකත් වාදනය කළා. ඩී ඩී ගුණසේන ,මහින්ද බණ්ඩාර යන නිහාල් කළුබෝවිල සහ ශාරද හෙට්ටිආරච්චි සහ දර්ශන රුවන් යන අය . චාමර දළදාවත්ත තමයි එම සංයුක්ත තැටියේ පටිගත කිරීම් කළේ. ප්‍රියන්ත දසනායක ගුරුතුමා තමයි බටනළාව ඉගෙනගන්නබොහෝ උදවු කළා.මගේ නිර්මාණ කටයුතුවලට එතුමා බොහෝ උදවු කරනවා. අම්මා අප්පච්චි සහ නංගිලා දෙන්නා සහ විශේෂයෙන්ම මතක් කළ යුතුයි බිරිඳ නිසා තමයි මම මේ තත්ත්වයෙන් ඉන්නේ. ඇය තමයි මේ හැමදේටම උදවු කරන්නේ. එමෙන්ම මගේ ඥාතීන් සියලු දෙනාමත් මතක් කරන්න කැමතියි.