ෆ්ලෙමෙන්කෝ ගිටාරය සම්බන්ධයෙන් විශේෂඥයෙකු හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙකු වන අමරනාත් රණතුංග මහතා අලුත් කටයුත්තකට මුලපුරා තිබේ. එනම් ඔහුගේ නවතම කෘතිය වන 'වාදකයෙකු බිහිවීම' එළිදැක්වීමේ අවස්ථාවයි. අපි ඒ පිළිබඳව ඔහුගෙන්ම විමසා දැනගනිමු.
මා රචනා කළ මගේ ග්‍රන්ථය තමයි 'වාදකයෙකු බිහිවීම'. මගේ ප්‍රථම ග්‍රන්ථයේ මා නියෝජනය කරන ක්ලැසිකල් සහ ෆ්ලෙමෙන්කෝ ගිටාරය ගැනයි තිබුණේ. එහිදීද ක්ලැසිකල් ගිටාරයේ බිහිවීම, ඉතිහාසය හා වාදකයන් පිළිබඳව සඳහන් වුණා. එය කෘතියකින් සහ සංයුක්ත තැටියකින් සමන්විත වුණා. මෙවර සංයුක්ත තැටියක් නෑ. නමුත් මෙම කෘතියෙහි තිබෙන වෙනස තමයි වාදකයෙකු බිහිවීමේදී ඔහුගේ ගමන්මග පිළිබඳව කතාබස් කෙරෙනවා. ඕනෑම සංගීත භාණ්ඩයක් සඳහා (තබ්ලාව, පියානෝව, එස්රාජය ආදී) මෙම කෘතිය අදාළ කරගත හැකියි. වාදකයා පිළිබඳව සාකච්ඡා කළොත් ඔහු වෘත්තීමය වශයෙක් ඉතා ශක්තිමත් තැනක සිටි පුද්ගලයෙක්. රජ මැදුරේ සහ පල්ලියේ වාදකයාට සුවිශේෂී තැනක් තිබුණා. අන්න ඒ වාදකයා පිළිබඳවයි මා කතාබස් කරන්නෙ.
-
වාදකයා අත්පත් කරගත යුතු දේවල්
මෙහිදී මම සාකච්ඡා කරනවා වාදකයා අත්පත් කරගත යුතු දේවල් මොනවාද සහ ඉවත් කරගත යුතු දේවල් මොනවාද යන්නත්. එමෙන්ම වාදකයා ගමන්ගන්නා මග තුළදී හමුවන ශාරීරික ආබාධ සහ ගැටලු පිළිබඳව. ඒ ගැටලු පෙන්වා දී ඒවා නිරාකරණය කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් පෙන්වා දෙනවා. එමෙන්ම වාදකයාගේ නිජබිම වන වේදිකාව අත්පත් කරගන්නේ කෙසේද? එහිදී ඇතිවන බිය පිළිබඳවත්, එම බිය ඉවත් කරගන්නේ කෙසේද යන්නත්, අවසානයේදී වේදිකාව ජයගන්නා ආකාරය පිළිබඳවත් එහි සඳහන් කොට තිබෙනවා. එමෙන්ම හොඳ වාදකයෙකුට වෘත්තීය වශයෙන් ගුරු වෘත්තියට පිවිසිය හැකියි. එහි වාසි කිහිපයක් තිබෙනවා. ලෝකයේ මතයක් තිබෙනවා කෙනෙකුගේ ජීවිතේ 85% ක් ප්‍රශ්න විසඳෙනවා ආර්ථික ප්රශ්නය විසඳුණොත් යන කියමන. ගුරු වෘත්තිය මගින් අමතර ආදායමක් මෙම වාදකයාට ලබාගත හැකියි. එම ගුරු වෘත්තියට පැමිණීම නිරවුල් ගමනක් සඳහා අඩිතාලමක්ද වෙනවා. ගුරු වෘත්තියට පැමිණීමේ භයානකත්වයක්ද තිබෙනවා. එය කලාවක් සහ දුර්ලභ කලාවක්.
ප්‍රබල වාදකයෙක් කොහොමද ගුරු වෘත්තියට එන්නෙ. එය අත්පත් කරගන්නේ කෙසේද යන්නත්, එහි ගුණාංග මොනවාද? ඔහු විෂය සමගින් බද්ධ කළ යුත්තේ කොයි ආකාරයටද? යන්න පිළිබඳවත්, ඔහු ගෙන යායුත්තේ කුමන ඉසව්වටද යන්න පිළිබඳවත් මම සාකච්ඡා කරනවා. ශිෂ්‍යයන්ගේ තිබෙන පරස්පර විරෝධී ආකල්ප හා සංකල්ප වෙනස් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් මෙම කෘතියේ ඇතුළත්. එමෙන්ම ලෝකයේ වාදකයා විචාරකයා බවටත් පත්වෙනවා. මම එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. විචාරකයා යනු වෙනම ක්‍රියාදාමයක් තුළ සිටින පුද්ගලයෙක්. වාදකයා සතුව තිබෙන්නේ වෙනම ගුණාංගයි. ඉහත කී ගැටලුවත් නිරාකරණයටයි මම උත්සාහ දරන්නෙ. ඔබ විචාරකයෙකු නොවී වාදකයෙක් වෙන්න යනු මගේ ප්‍රකාශයයි. ඉහත අදහස තමයි මගේ කෘතියේ සඳහන් වෙන්නෙ. මෙවැනි කෘති දුර්ලභයි. විශේෂයෙන්ම ලංකාවේ හිඟයි. මම ගිටාරයට සම්බන්ධ වී වසර 52 ක් පමණ වෙනවා. වාදකයෙකු වශයෙන් උදාහරණ ගෙනහැර දක්වද්දී ක්ලැසිකල් හා ෆ්ලෙමෙන්කෝ ගිටාරය ගෙනහැර දක්වනවා. මා නියෝජනය කරන්නේ ෆ්ලෙමෙන්කෝ ගිටාරයයි.
-
අටපාරක් වැටුණොත් නවපාරක් නැගිටින්න
එමෙන්ම ඕනෑම වෘත්තියක අසාර්ථක වීම් විශාලයි. අපි කුඩා ජයග්‍රහණයක් අත්පත් කරගන්නවා වෙන්න පුළුවන්. බොහෝ අය පරාජය ඉතා විශාල කරගන්නවා සේම ජයග්‍රහණයත් ඉතා කුඩා කරගන්නවා. නමුත් මතක තබාගත යුත්තේ කුඩා ජයග්‍රහණ කිහිපයක් එකතු වී තමයි ප්‍රබල ජයග්‍රහණයක් නිර්මාණය වන්නේ. සුප්‍රකට කියමනක් තිබෙනවා ඔබ 'අටපාරක් වැටුණොත් නවපාරක් නැගිටින්න' කියලා. අන්න ඒ නිසා පරාජය ඇතුළෙ මම කියනවා අත්පත් කරගත හැකි දේවල්. පරාජය ඇතුළෙ ඉගෙනගන්න තිබෙන දේවල් ඉගෙන ඊළඟ පියවරට යන්න. ඒ දේවල් මොනවාද කියා මා සඳහන් කරනවා. පරාජය කියන්නෙ වෙස්වළාගත් ආශීර්වාද. නමුත් බොහෝවිට දකින්නෙ දෙතුන් පාරක් වැටුණාම යළි නොනැගිටීමයි. ජීවිතය යනු තරගයක්. එය දිනිය යුතුයි. මෙම කෘතියේදී මෙම කාරණා සියල්ල මම විග්රහ කරනවා. ජීවිතයේ තරගාකාරිත්වය ජයගත යුතු ආකාරයත් මම එහි සඳහන් කොට තිබෙනවා. එමෙන්ම මෙම ග්‍රන්ථය එළිදක්වන්නෙ හෙට (04දා හවස 04.00 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී හවස 4.00 ට. මම හැම කෙනෙකුටම ඒ සඳහා ආරාධනා කරනවා. එය නොමිලේයි පැවැත්වෙන්නෙ. එහිදී විශ්වවිද්‍යාලයෙන් බිහිවූ හොඳම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පෞද්ගලික පන්තිවල සිසුන් සහ මම වාදනයෙන් දායක වන ප්රසංගයක්ද පැවැත්වෙනවා. පැමිණෙන ඔබව හිස් අතින් යවන්න අදහසක් නෑ. මෙහි භාවිත කරන්නෙ ආන්දාන්තේ ඇලිගෝ නමින් හැඳින්වෙන ප්‍රසංග මාලාවෙහි ගිටාර් වාදනය පමණයි. වෙනත් කිසිම සංගීත භාණ්ඩයක් මේ සඳහා භාවිත කරන්නෙ නෑ. එමෙන්ම දකුණු ආසියාවේ තිබෙන ක්ලැසිකල් සහ ෆ්ලෙමෙන්කෝ ගිටාර් සම්බන්ධයෙන් පැවැත්වෙන එකම ප්‍රසංගයත් එයමයි. එවැනි අවස්ථාවක් දැක බලාගැනීමටත් ඔබට එමගින් අවස්ථාව හිමිවෙනවා. එනිසා ඒ සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනාටම මම ආරාධනා කරනවා. එහිදී ඔබට මෙම කෘතිය මිලදී ගැනීමේ අවස්ථාව හිමිවෙනවා. මෙම කෘතියේ වැදගත්කම පිළිබඳව ඔබට එදිනට අවබෝධ කරගත හැකිවේවි.