හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් පෙරෙයිදා (05 දා) දැයෙන් සමුගනු ලැබීය.අභාවප්‍රාප්ත වනවිට අසූඅට වැනි වියේ පසුවූ එතුමාගේ දිවිමගේ හමුවූ කලාකරුවන් රැසක් ඒ ගමන්මග ගැන අද හා කතාබහට එක්විය.
ගහ කොළ ඉර හඳ සේරම කම්පා වුණු දවසක් - විශාරද නන්දා මාලනී
ඇත්තටම මං හිතන්නෙ ගහ කොළ ඉර හද සේරම කම්පා වෙන දවස. මගේ මේ පනස් වසරක් පිරෙන්න හදන සංගීත චාරිකාවට උත්පත්තිය ලබල දුන්නෙ අමරදේව සර්. මොකද මාව කිසිම කෙනෙක් දන්නැති කාලෙ ආධුනික මට්ටමේ පහළම ඉදිද්දි මම ළමා මණ්ඩපයේ සින්දු කියන විදිය බලලා, ගුවන්විදුලියේ අත්වැල් ගායනාවලට සම්බන්ධ වෙන ආකාරය බලලා අමරදේව සර් එතුමාට ලැබුණු පළවෙනි චිත්‍රපටය වුණු %රන්මුතු දූව^ චිත්‍රපටයේ යුග ගායනයට මාව තෝරගත්තා. ඒ 1962 දී. ඇත්තටම මාව කිසි කෙනෙක් දන්නැති කාලෙ එතුමා තමයි මගේ හැකියාව ගැන යම්කිසි ඉවක් දැනී මාව හොඳින් අඳුනගත්තේ. එදා ඉදල අද වෙනකම් මං ගමනක් ආව නම් ඒ අමරදේව සර් නිසා. නන්දා මාලනී කියන නමත්, චරිතයත් රසිකයා පිළිගත්තු මොකක් හරි දෙයක් තිබෙනවා නම් එහි සම්පූර්ණ ගෞරවය අමරදේව සර්ට හිමිවිය යුතුයි.
ඔහු තමයි අපට මග කියූ නිවැරදි පෙරගමන්කරුවා - ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම් ජයරත්න
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ මේ ලංකාද්වීපවාසීන්ගේ, රටේ මහජනතාවගේ සහ රටේ පිනට පහළවෙච්ච මහා අද්විතීය පුරුෂයෙක් කියනෙකයි මට මුලින්ම කියන්න තියෙන්නෙ. අපි කලාකරුවන් හැටියට අපිටත් යන්න අතරමං නොවෙන ගමන් මගක් හදාදුන් මහා විද්වතාණන් තමයි අමරදේවයන්. එතුමාගේ අභාවය අපිට මහත් වේදනාවක්. එවන් චරිතයක් යළි මේ රටේ පහළ වෙයි කියා හිතන්න බෑ.
එතුමා ගමනක යෙදුණේ මහා දුක් කම්කටොලු මැද්දේ. විනාශකාරී සංගීතයක් නෙවෙයි බොහොම සරල සුගම කර්ණ රසායන කරුණාව හා මුදිතාව ගැබ්වුණු සංගීතයක් තමයි භාවිත කළේ. එයින් මුළු රටම සැනහුණා. දැනටත් රූපවාහිනී නාළිකාවල පෙන්වන දසුන් දැක්කම අතීතයේ එතුමාගේ තරුණ වියේ සිට කොයිතරම් දුර ආ කෙනෙක්ද කියල හිතාගන්න පුළුවන්. අපිට එතුමාගේ ගුණ කොයිතරම් වැනුවත් කෙළවරක් දකින්න පුළුවන්ද? අන් කිසිදු කලාකරුවෙකුට යා නොහැකි දුරකට ගමන් කළ එතුමා තමන්ගේ අනුගාමිකයන්ට හොඳ මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ ගමන් මගේ තමයි අපි ගමන් කරන්නේ. අපිට පෙරගමන්කරුවෙක් සිටි නිසා අපි අතරමං වුණේ නෑ. එතුමා තමයි පණ්ඩිත් අමරදේවයන්.
සිංහල සංගීතයේ මුදුන්මල්කඩ තමයි ගුරු අමරදේව- ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක
සකල ශ්‍රී ලංකාවටම මම හිතන්නෙ ඉතාම ශෝකජනක සිද්ධියක්. සිංහල සංගීතයේ මුදුන්මල්කඩ ගුරු අමරදේව කියල තමයි මම නිතරම කතා කරන්නෙ. එතුමා 'අශෝකමාලා' චිත්‍රපටයේ සිට මේ තාක් සිනමාවට කරපු සේවයත්, ශ්‍රී ලාංකික සුභාවිත ගීතයට කරපු සේවයත් මේ දෙකම ගැන කතා කරනකොට එලෙස වෙනත් සංගීතඥයෙක් ගායන ක්ෂේත්රයේවත් සංගීත ක්ෂේත්රයේවත් නෑ. ඇත්ත වශයෙන්ම සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයයි කියන තැනට ඇවිත් කතා කරනකොට විශාල වශයෙන් දුක්වීමක් අවශ්‍ය නෑ. මොකද එතුමා වසර සිය ගණනකට අමතක කරන්න බැරි සේවයක් ශ්‍රී ලාංකික සෞන්දර්ය ක්ෂේත්රයට කරල තිබෙනවා. කිසියම් දෙයක් නොකර මියැදෙනවාට වඩා, විශාල සේවයක් කරපු කලාකරුවෙක් හැටියට දුක්වෙන අතරම අපිට එතුමාගේ නම වසර සියගණනක් පවතින බව මතක් වෙද්දි ඉතාම සංවේගයට පත්වෙන්න පුළුවන්. අමරදේවයන් අපිට අමතක නොවන චරිතයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
රුවන්වැලි සෑය ළඟ වාඩිකරලා අපිට ජාතියට බාරකරන්න පුළුවන් චරිතයක් තමයි අමරදේව - ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ අපට හුදෙක් සංගීතඥයෙක්, ගායකයෙක්, පුද්ගලයෙක් විතරක් නෙවෙයි පුරාවෘත්තයක්. පුරා අවුරුදු 70කට වැඩි කාලයක් සිංහල සංගීත ක්ෂේත්රය වෙනුවෙන් හා ගායනය වෙනුවෙන් කැපකරපු නිර්මාණාත්මක ශ්‍රමය අපට පුරාවෘත්තයක්ම තමයි. පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය, යම් විදියකට අපේ ඉතිහාසයේ ජාතික සංස්කෘතික ලක්ෂණ වෙනවද එසේම අමරදේවයනුත් එතැන තියන්න පුළුවන්. රුවන්වැලි සෑය ළඟ වාඩිකරලා අපිට ජාතියට බාරකරන්න පුළුවන් චරිතයක් තමයි අමරදේව. මං කැමතිවෙන්නෙ නෑ අමරදේව මහත්තයා නැතිවුණා කියල කියන්න. එතුමා අපි අතර ජීවත් වෙනවා. එතුමාගේ හඬ නිර්මාණ කාය හැමදාම අපි අතර ජීවත් වෙනවා. තව අවුරුදු දාහක් ගියත් ඉතිහාසෙන් මකාදාන්න බැරි චරිතයක්. ඉතාම ආදරණීය හා හෘදයංගම කලාකරුවෙක් තමයි අමරදේව කියන්නෙ.
ස්වදේශික සංගීතයක් සොයාගැනීමේ ව්‍යාපෘතියේ ප්‍රධානම මැදිහත්කරුවෙක් තමයි අමරදේවයන් - සංගීතවේදී නදීක ගුරුගේ
පහුගිය ශතවර්ෂයේ මුල් දශක කිහිපය තුළ විශේෂයෙන්ම එක්දහස් පන්සිය පනස් ගණන් හැට ගණන්වල ආපු ස්වදේශික සංගීතයක් සොයාගැනීමේ ව්‍යාපෘතියේ සුනිල් ශාන්තයන්ට පසුව ආපු ප්‍රධානම මැදිහත්කරුවෙක් තමයි අමරදේවයන්. හැබැයි අමරදේවයන් හින්දුස්ථානී රාගධාරී සංගීතය සහ ලංකාවේ ජන සංගීතය යන මූලද්‍රව්‍ය දෙක ගැන ඔහුගේ පර්යේෂණවලදී විශ්වාසය තැබුවා සහ ඔහු භාෂාව මත ලොකු විශ්වාසයක් තැබුවා. ගීතයන්ට හොඳ භාෂා මැදිහත්වීමක් ලැබුණු විශේෂයෙන්ම සේකරයන් දක්වා ලොකු පසුතලයක් තිබුණා.
සුභාවිත කියන වචනයට මං එච්චර කැමති නෑ.. නමුත් ලාංෙක්ය අනන්‍යතාවක් සහිත සංගීතයක් ගොඩනගන්න අමරදේවයන් මුල් කාලය තුළ ගත්ත ප්රයත්නය ඉතාමත් වැදගත් වෙනවා ලාංකේය සංගීත ඉතිහාසය සොයාගෙන යද්දී. ඔහුගේ සම්ප්රදාය අනුදනිමින් රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන් විශාල ආභාසයක් ලැබුවා. ඔහුගේ සංගීත භාවිතාව නූතන ලාංකීය ගීත කලාව දක්වා විහිදී පවතිනවා. එමෙන්ම ගීතයෙනුත් ඔබ්බට යන්න ඔහුට ලොකු අවස්ථාවක් හිමිවුණා මුද්‍රා නාටක කලා තුළදීත්. එනිසා ඔහුගේ සංගීත භාවිතාව හරි පුළුල්. ඔහුගේ සලකුණ ලංකාවේ නූතන ඉතිහාසය තුළ ඔහු තබා තිබෙනවා. සංගීතමය වශයෙන් ඔහුගේ උත්කර්ෂය තිබුණේ 1970-1980 වගේ දශකවල. එමෙන්ම ඔහුගේ සංගීතමය ප්‍රතිභාව ඔහු පෙන්වා තිබුණා. එනිසා ඔහුගේ නික්ම යාම ලංකාවේ සංගීත රසිකයන්ට ලොකු පාඩුවක්.
අමරදේව අතු රිකිලි මත මහ ඵල දැරූ වනස්පතියක් - ප්‍රවීණ ගේය පද රචක රවි සිරිවර්ධන
ලංකාවෙ ඉන්දියානු අනුකාරකවාදී සංගීත රටාව වෙනසකට භාජනය කරලා නව ශ්‍රී ලාංකික සංගීත පරම්පරාවකට බිම් මට්ටමේ අවශ්‍යකරන මතවාදී වටපිටාව හැදුවෙ අමරදේවයන්ය යන්න තමයි මගේ පෞද්ගලික මතය. ඊට පස්සෙ මං විශ්වාස කරනවා ලංකාවේ ගායනය කියන විෂය ඇතුළේ තිබුණු ගායනවේදය තුළ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය වූ ගායනය තුළට හැඟීම් ගොනුකර ගැනීමේ ක්‍රියාවලියේදී අමරදේවයන් ගිරිමුදුන වුණා. එනිසාම ඔහු ගායකයන්ට පූර්වාදර්ශය වුණා. සිංහල ගීතය වැඩිය වියපත් වූවක් නෙවෙයි. එයට අවුරුදු සීයකවත් ඉතිහාසයක් නෑ.
ඒ සිංහල ගීතයේ ප්‍රමාණාත්මක ගමන්මගේ ප්‍රධානම පූර්වාදර්ශය තමයි අමරදේව. අමරදේවයන්ගේ ගායනය පූර්වාදර්ශ කරගත් විශාල පරම්පරාවක් ලංකාවේ බිහිවෙනවා. ඒ පරපුර අතුඉති ලා වැඩෙනවා. ඒ පරපුර හරහා තමයි අලුත් ජයග්‍රහණ අත්පත් කරගන්නෙ. අමරදේව කියන වනස්පතිය ඇතුළෙ එය පූර්වාදර්ශ කොටගෙන අතුඉතිලා වැඩුණු පරපුරක් විවිධ සංගීත ශානරයන්ට ගමන් කරමින් ඉන්නවා. සමහර අය අමරදේව නම් වූ පූර්වාදර්ශය තුළම නොසිටියත්, අලුත් අලුත් මානයන් පර්යේෂණශීලීව පටන් ගන්නෙ අමරදේව කියන මහා ගායකයා මුල්කරගෙනයි. මේ වෘක්ෂයේ අතු ඉති මත සෑදුණු ඵල භුක්ති විඳින්න පුළුවන් වුණා නම් එහි මුල් සම්පත දරාගෙන ඉන්නෙ අමරදේව නම් වූ මහා වෘක්ෂයයි.
අමරදේවයන් සෙවණේ වැඩුණු සියලුදෙනාම පාහේ ප්‍රවීණයන් බවට පත්වුණා - ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ
අපිට සංගීත ක්ෂේත්රයට මග හෙළිකළ මහා ගාන්ධර්වයා තමයි පණ්ඩිත් අමරදේවයන්. ඒ සෙවණේ වැඩුණු අය සියලුදෙනාම පාහේ ප්‍රවීණ ශිල්පීන් බවට පත්වුණා. ඉන් බැහැරට ගිය අය අවරට ගියා කියල තමයි අපිට දැනෙන්නේ. පණ්ඩිත් අමරදේවයන් කියන්නෙ අපේ සංගීත ක්ෂේත්රයට විශාල පූර්වාදර්ශ රැසක් එක් කළ මහා කලාකරුවායි. උත්තර භාරතයේ සංගීතය හා අපේ ජන සංගීතය මුසුකොට අපිට ගැළපෙන සංගීත උරුවක් ඇතිකරපු මහා කලාකරුවායි අපෙන් නික්ම ගියේ.
අප්‍රමාණ පුරුෂයෙක් නැතිවුණා කියන හැඟීමයි මට දැනුණෙ - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අපි දන්නවා කවුරුත් මියයනවා කියල. නමුත් එතුමා අමරදේව. අමරදේව කියන්නෙ අමරදේවට. එක්කෙනයි ඉන්නෙ. ඒ හිඩැස පුරවන්න ලේසි නෑ. ඔහු පහුගිය ශතවර්ෂෙ ඉපදිලා ඉතාම දුෂ්කරව ස්වශක්තියෙන් ගොඩනැගිලා වයලීනයට අත හුරුවෙලා ඉන්දියාවෙ ගිහින් ගායනය හා වයලීනය ඉගෙනගෙන ඇවිත් චිත්‍රපට වේදිකා නාට්‍ය, ගුවන්විදුලි ගීතයට හා පසුකාලීන තැටිවලට සංගීතයෙන් තනු නිර්මාණයෙන් හා ගායනයෙන් කරන ලද මහ මෙහෙවර අප්‍රමාණයි. අප්‍රමාණ පුරුෂයෙක් නැතිවුණා කියන හැඟීමයි මට දැනුණෙ.
අපේ රටේ බිහිවුණු කලාකරුවන්ගෙන් මුදුන්මල්කඩ තමයි අමරදේවයන් - ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්
අමරදේවයන් පොඩි අදහසකින් කියන්න බැරි තරම් මහා පුරුෂයෙක්. අපේ රටේ බිහිවුණු කලාකරුවන්ගෙන් අපේ මුදුන්මල්කඩ හැටියට සලකන ඒ මහා පුරුෂයා අපට නැතිවුණා. නමුත් එතුමා කරපු නිර්මාණ සදාකාලිකයි. එතුමා මියගියත් එතුමා මියගියේ නැහැ කියනෙකයි අපට කියන්න තියෙන්නෙ. එතුමා කරපු නිර්මාණ කොයිතරම් ජීවයකින් යුක්තද යන්න අපි දන්නවා. එහි අගය මෙයින් ඉදිරියට තවත් වැඩිවේවි.