නූතන ගීත කලාව තුළ සුභාවිත ගීතය සොයා යන ගමනේ අපට හමුවන අවරගණයේ ගීත හා ගීතයට මුවා වූ ශබ්ධ හා ඝෝෂාවන් පිළිබඳ අප කොතෙකුත් කතාකර ඇත්තෙමු. ඒ අතර ප්‍රවීණයන් මේ සම්බන්ධයෙන් දක්වන නිහැඬියාව පිළිබඳවද අපි චෝදනා නගන්නෙමු. නමුත් ඇතැමෙකු වාණිජකරණයට මුවා වී විනාශ මුඛයට ඇදෙන ගීත කලාවට නැවුම් ගීතාවලියක් ඉදිරිපත් කරන්නට අදිමදි කරන වකවානුවක ගීත කලාවේ මුදුන්මල් කඩක්සේ සැලකෙන ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ‘සොඳුරු මිනිසා’ ඔබ අතට පත්කරයි.
‘සොඳුරු වූ මිනිසා’ පළමු විද්‍යුත් මාධ්‍ය විචාරණය වශයෙන් මේ සටහන අප තබන්නේ ඉඩෝරයට වට පොද වැස්සක් වී ‘සොඳුරු මිනිසා’ අද දිනයේ ඔබ මියුරු ගීතාවලියකින් අමන්දානන්දයට පත්කරන මේ වෙලාවේ ඔහු හා යෙදෙන කෙටි පිළිසඳරකිනි.
“මේ සංයුක්ත තැටියේ එන සියලුම ගීත මම නැවත අලුතින්ම ගැයූ ඒවා. ඇත්තෙන්ම මේ ගීත එකතුවට මගේ ගීත ප්‍රියකරන ලොකු කුඩා සැමටම රසවිඳිය හැකි තේමාවන් සහිත ගීත රැසක් ඇතුළත්. මමත් මේ ගීත ගායනා කළේ රසවිඳිමින් කීවොත් නිවැරදියි”
දැන් ඔබ අසූපස්වැනි වියේදී ගයන පැරණි ගීත පෙර පරිදිම ගයන්න ඔබට හැකිද?
මම ගීත ගායනා කරන්නේ එයට උපරිම සාධාරණය ඉටුකරමින්. ගීත ගැයීම තිබෙන්නේ නිසි ස්වර උච්චාරණය කිරීම තුළ. ඒ නිසා වයස හා කටහඬ පටලවා ගත යුතු නැතිතරම් දෙයක්. මම ඒ ගීත වලින් කීපයක් නැවත ගායනා කළා නව පරපුර වෙනුවෙන්. පරණ ගීතය වගේම අලුත් ගීතයත් රසවිඳ එය තව කාලයක් පවතින්න අවශ්‍ය කටයුතු සුදානම් කළා. මතකද ගිමන් හරින දියඹ දිගේ ගීතය. එය මම අග්නි ටෙලිනාට්‍යයට ගායනා කළ ගීතයක්. එය ඉතාම කැමැත්තෙන් රසියන් වැළඳගත් ගීතයක් බව මේ වනවිට සනාථ වී තිබෙනවා.
මේ ගීත නිර්මාණය වෙන්නේ අමරදේව පදනම හරහා?
ඔව්. එයට විශේෂ හේතුවක් තියෙනවා. මම ගීත නිෂ්පාදකවරුන්ගේ උවමනාවට ගීත ගයන විට මට ඒ ගීත තෝරා බේරාගන්න අවස්ථාව බොහෝ අල්ප විය හැකියි. මම කවදත් මා කළ දෙයක් තුළින් ආත්ම තෘප්තියක් ලද කෙනෙක්. මෙහිදී මම හොඳ පදමාලාවන්, හොඳ සංගීතයක් පිළිබඳ තීරණ ගනිමින් මේ කාර්ය හොඳින් නිම කළා. මගේ පුතු රංජන මගේ රුචිකත්වය අනුව මෙන්ම ඉතාම හොඳ කුමක්ද යන්න තීරණය කිරීමට මට උපකාර වෙමින් මේ ගීත එකතුව නිමකරන්න මා පසුපස සිටියා. එමෙන්ම මගේ බිරිඳ විමලා සහ දියණියන්ද මා දිරිමත් කළා.
සංයුක්ත තැටිය එළිදැක්වීමේ උලෙළ පිළිබඳව සඳහන් කළොත්?
හෙට (19දා) තමයි මේ අවස්ථාව උදාවෙන්නෙ. මේ සංයුක්ත තැටියේ නම ‘සොඳුරු වූ මිනිසා’ කාටත් පහසුවීම පිණිස හවස හතට යොදාගන්නා අතර, ස්ථානය කදිරගාමර් මධ්‍යස්ථානය. සොඳුරු වූ මිනිසා ගෙන එන වින්දනය මගේ ගායන දිවියේ සුවිශේෂී කඩ ඉමක්. කලකට පසු මා ඉදිරිපත් කරන මේ ගීත එකතුව අනාගත සුභාවිත ගීත ප්‍රියකරන රසිකත්වයට කරන පිදුමක්.