හෙළ සිනමාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ගායන ශිල්පියා වන එච්.ආර් ජෝතිපාල කලාකරුවා දිවි ගමනින් සමුගෙන මෙම ජූලි 07 වැනිදාට වසර 30ක් සපිරෙයි. අභාවප්‍රාප්ත වන විට 51 වැනි වියේ පසු වූ ඔහුව සිහි කරමින් එච්.ආර් ජෝතිපාල පදනම සහ කලා ලංකා පදනම ක්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කර ඇත.
මේ වෙනුවෙන් එච්.ආර් ජෝතිපාල පදනම මගින් සංවිධානය කරනු ලබන කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරිසුමන මාහිමිපාණන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් සහ මල්පහන් සපිරි බුද්ධ පූජා පිංකමක් ජූලි 06 වැනිදා සවස 5-8 දක්වා කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේදී පැවැත්වේ.
එම විහාරස්ථානයේදීම ජූලි 07 වැනිදා සංඝයා වහන්සේලාට දහවල දානය පිළිගැන්වීමෙන් අනතුරුව එදිනම සවස 3.30ට බොරැල්ල සුසාන භූමියේ ඇති ජෝතිපාල සමරු ස්ථම්භය අසල පුෂ්පෝපහාරයක්ද පැවැත්වෙයි.
මෙම කටයුතු සඳහා පැමිණ සහභාගී වන ලෙස ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලට හිතවත් රසික මිතුරු කැළට එච්.ආර්. ජෝතිපාල පදනමේ සභාපතිනිය වන ඔහුගේ දියණිය ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල මහත්මිය ගෞරවයෙන් ආරාධනා කරන බව මෙහි මාධ්‍ය සම්බන්ධීකාරක සිරිල් ආරියපාල මහතා 'අද'ට පැවසීය.
මීට අමතරව එච්.ආර් ජෝතිපාල පදනමේ සාමාජික සාමාජිකාවන් ජෝතිගේ ගීත ගයන සංගීත ප්‍රසංගයක් බොරැල්ල මැගසින් පාරේ ප්‍රජා ශාලාව අසල ඇති භූමියේ ජූලි මස 09 වැනි දින සවස 6.00ට ආරම්භ වීමට නියමිතය.
එච්.ආර්. ජෝතිපාල පදනමේ උප සභාපති ප්‍රියන්ත විජයකුමාර මහතා සමග එහි සාමාජික වීරසිංහ පතිරාජ මහතා සංවිධානය කරනු ලබන මෙම සංගීත සන්ධ්‍යාවේ සංගීත අධ්‍යක්ෂණය සංගීත ශිල්පී තිළිණ තුෂාරගෙනි.
කලා ලංකා පදනමේ සභාපති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ උපදේශකත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 'සිරියමේ සාරා' ගී ප්රසංගයද ජූලි 07 වැනිදා පස්වරු 6.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
සන්ෆ්ලවර්ස් සංගීතයට ලංකාවේ ප්‍රකට සහ ජනප්‍රිය ගායක ගායිකාවන් 30 දෙනෙක් සජීවීව ජෝතිගේ ගී ගයන මෙම ප්රසංගයේදී ප්‍රවීණ කලාකරුවන් 10 දෙනෙකු ජෝතිගේ ගී ගැයීමට නියමිතය. මීට පෙර පැවති සමරු ප්‍රසංග 29දී ගීත ගැයූ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය කලාකරුවා 30 වැනි වතාවටත් ජෝතිගේ ගීත ගැයීම මෙවර විශේෂත්වයකි.
ප්‍රවීණ සිනමාවේදීන් වන රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ යුවළට මූල්‍යමය අනුග්‍රහයක්ද ලබාදෙන මෙම උලෙළ ලංකා ටයිල් පී.එල්.සී. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතාගේ සහ ඩබ්.යූ.සෙනෙවිරත්න පෞද්ගලික සමාගම් අධිපති විජිත සෙනෙවිරත්න මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන්ද යුක්තය.
මීට අමතරව ප්‍රවීණ රංගධර රොබින් ප්‍රනාන්දු, ප්‍රවීණ නිළි සෝනියා දිසා, නළු දමිත් ෆොන්සේකා මෙන්ම අප අතරින් වෙන් වූ ප්‍රතිභාපූර්ණ රංගධර ටෝනි රණසිංහයන්ගේ දියණිය වන තුෂාරා රණසිංහ මහත්මියත්, ඇගේ සැමියා වන ආගුස් ජේ. මහතාත් විශේෂ ආරාධිතයන් ලෙස මෙම උලෙළට සහභාගී වන බව කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කලා ලංකා පදනමේ ලේකම් සහ කැඳවුම්කරු වන දේශමාන්‍ය සමන් අබේගුණරත්න මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙම සංගීත ප්‍රසංගය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ඕනෑම අයෙකුට නොමිලේ නැරඹීමේ අවස්ථාව පවතින බවද ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.
මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාව, සිනෙස්ටා පදනම සහ හෙළ සිනමා ශිල්පීන්ගේ සන්ධානය සංවිධානය කරන සිනමා ශිල්පීන් පමණක් ජෝති ගී ගයන සංගීත සන්ධ්‍යාවක් තරංගනී සිනමා ශාලාවේදී ජූලි 07 වැනිදා සවස 6.00ට පැවැත්වෙන බවද චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර මහතා 'අද' පුවත්පතට පැවසීය. මෙය ආරාධිතයන්ට පමණක් වෙන්වූ ප්‍රසංගයක් බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
1956 වසරේ තිරයට පැමිණි සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ 'සුරතලී' චිත්‍රපටයට 'සිරියාමේ සාරා' ගීතය ගයමින් තම සිනමා ගායන දිවිය ඇරඹූ ජෝති, 'කස්තුරි සුවඳ', 'තුෂාරා', 'ස්විප් ටිකට්', 'කවුද රජා', 'හොඳට හොඳයි', 'වාසනා', 'සංගීතා' ඇතුළු චිත්‍රපට රැසක එඩී ජයමාන්න, බොනිෆස් ප්‍රනාන්දු, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, ජයන්ත දාස් පෙරේරා ඇතුළු නළුවන් වෙනුවෙන් තම කටහඬ පසුබිම් ගායකයෙකු ලෙස ලබා දී ඇත.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'සංදේශය' චිත්‍රපටයට 'පෘතුගීසිකාරයා' ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලද අතර, එහි පද රචනය කළේ අභාවප්‍රාප්ත අරියසෙන් අහුබුදු සූරීන්ය. සංගීත අධ්යක්ෂණ කළේ සංගීතවේදී සුනිල් ශාන්තයන්ය.
ගායනයට අමතරව 'ඇතුල්වීම තහනම්', 'සුලලිත සෝභනී', 'සුජීවා', 'සුකිරි කෙල්ල', 'අභිරහස', 'සුමිතුරෝ' වැනි චිත්‍රපට වලින් ඔහු සිනමා නළුවෙකු බවටද පත්විය.
එච්.ආර් ජෝතිපාලයන්ගේ ඇති සුවිශේෂී බව වන්නේ දිවිගමනින් සමුගෙන වරස 30ක් (දශක තුනක්) ඉකුත් වීමෙන් අනතුරුවත් අදටත් ජනතාව ආදරයෙන් වැලඳගත් ගායකයෙකු බවට පත්වීමට ලැබූ වාසනාවයි. මේ හේතුව නිසාම ඔහු අමරණීය ගායක ජෝති යන විරුධාවලියද ලබා ඇත.
සටහන - පද්මකුමා පී. මෙත්තසේන