මීනා ප්‍රසාදිනී කියන්නේ සිරස සුපර් ස්ටාර්වලින් බිහිවුණු මියුරු කටහඬක් තිබෙන දක්ෂ ගායිකාවක්. ඊයේ පෙරේදා ඇයගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා. විවාහ දිවියට ඇතුළත් වුණු මීනාගෙ අලුත් ජීවිතය ගැන විස්තර දැන ගැනීමට 'අද' වෙතට සම්බන්ධ කර ගත්තා.
Q අලුත් ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මම ජීවිතේ හිතාගෙන හිටිය සහ බලාපොරොත්තු වුණ දේවල් ඒ විදියටම කරගන්න පුළුවන් වුණා. ඒ ගැන නිහතමානී සතුටක් මට තිබෙනවා.
Q සැමියා ගැනත් විස්තර ටිකක් කියමු?
මගේ මහත්තයා ඉරේෂ් පෙරේරා. දැනට පදිංචිය ඔස්ට්‍රේලියාවේ. අපේ සම්බන්ධෙට අවුරුදු 8ක් විතර වෙනවා. ඉරේෂ් ගොඩක් හොඳ වගේම ආදරණීය කෙනෙක්. සතුටුයි මට ඒ වගේ කෙනෙක් මගේ සැමියා වීම ගැන. ඒ වගේම මේ මගේ පළවෙනි ආදරේ. එදා ඉඳන් හිතුවා අපිට මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියා. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි.
Q කුලුඳුලේ පටන් ගත්ත ආදරේට බාධා ආවෙම නැද්ද?
අපේ ආදරේ පටන් ගත්තෙ මම ක්ලාස් යද්දි. අපේ ආදරේටත් බාධක ආවා. ආදරේ පටන් අරන් ටික කාලෙකින් එයාට රට යන්න වුණා. ඒක තමා අපිට තිබුණ ලොකුම බාධකය. රටවල් දෙකේ වෙලාවන් ගොඩක් වෙනස්. මම ෆ්‍රී වෙද්දි එයා කාර්යබහුලයි. එයා ෆ්‍රී වෙද්දි මම කාර්යබහුලයි. සම්බන්ධයකදී දෙන්නා අතර කතාබහ අඩු වුණාම ඒක හිතට ගොඩක් අමාරුයි. ඒක තමා අපිට තිබුණ ලොකුම බාධකය. ඒ දේට හුරු වෙන්න අපිට සෑහෙන කාලයක් ගියා.
Q ඉරේෂ් ආදරේ කරන්න ඔබේ කටහඬත් හේතුවක් වුණාද?
එයා මාත් එක්ක යාළු වෙද්දි මම සිංදු කියනවා කියල දන්නෙ නැහැ. මොකද මම ඒ කාලෙ ඉඳන් ජනප්‍රිය චරිතයක් නෙවෙයි. පාසලේ යාළුවො මම සිංදු කියනවා දන්නවා වුණාට ඉරේෂ් දැනගෙන හිටියෙ නැහැ.
Q විවාහය දවසේ ගීතයක් කළා කියලා ආරංචියි. ඒ ගීතය ගැන කිව්වොත්?
ඔව් අලුත් ගීතයක් කළා %මතකයිද අද වාගේ^ කියලා. වෙඩින් එක දවසේ ඉරේෂ්ව සර්ප්‍රයිස් කරන්න තමයි එය කළේ. එහි පද රචනය සහ තනුව නිර්මාණය කළේ දෙනුවන් පෙරේරා. සංගීතය දුලිප් නිලංග. ඇත්තටම ඒ ගීතය පටිගත කළේ ගොඩක් වැඩකටයුතු මැද්දේ. වෙඩින් එකට දින හතරකට විතර කලින් මහ පාන්දර තමයි වොයිස් කළේ. මට දෙනුවන් පෙරේරා සහ දුලිප් නිලංග ගොඩක් උදව් කළා මේ වැඩේ ලස්සනට කරගන්න. මට වෙන්න ඕන මොකද්ද කියලා විතරයි මම ඒ අයට කිව්වේ. ඒ විදියටම එයාල ගීතය කරල දුන්නා. ඉතින් මට ඉරේෂ් වෙනුවෙන් ගොඩක් ලස්සන ගීතයක් කරගන්න පුළුවන් වුණා. ඉරේෂ් කියන්නේ මියුසික්වලට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට එයාට හොඳ රසාස්වාදයක් තිබෙනවා. එයා මේ ගීතයට ගොඩාක් සතුටු වුණා වගේම ගොඩක් කැමති වුණා. මට ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.
Q ඇයි මීනා රට යන්න තීරණය කළේ?
රට යන්න තීරණය කරන්න හේතු ගොඩක් තිබුණා. ලංකාවේ සංගීතය වෘත්තීමය මට්ටමෙන් කරන්න අපහසු තත්ත්වයක් තියෙනවා. මම මගේ වෘත්තිය විදියට කළේ ගායනය. එතනදී මම ගොඩක් වෙලාවට නිර්මාණ බාරගත්තෙ නැහැ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි ගොඩක් නිහඬව ඉන්නේ, මගේ ගීත ඇයි අඩුවෙන් එන්නේ කියලා. එයට හේතුවක් තමා මම ආස විදිහේ නිර්මාණ මට හම්බවෙන්නෙ නැති එක සහ මම ආස අයට කියලා ගීත කරගන්න තිබෙන නොහැකියාව. මොකද මම සාමාන්‍ය පවුලක ගැහැනු ළමයෙක්. මම අකමැති විදියට ගායනා නොකරන නිසා මට මුදල් හම්බ කරන්න පුළුවන් අවස්ථා මම ගොඩක් මගඇරියා. මම කැමති නැහැ නිසරු ගීත නිර්මාණය කරන්න. මගේ ප්‍රතිපත්තිගරුක වීම තුළ මම ආර්ථික වශයෙන් වැටුණු අවස්ථා ගොඩක් තිබෙනවා.
මගේ පවුලේ කිසිම කෙනෙක් මේ පැත්තට සම්බන්ධ නෑ. ඒ නිසා මට හැමදේම බිංදුවේ ඉඳලා පටන්ගන්න සිද්ධ වුණා. මාව ආශ්‍රය කරපු ගොඩක් අය දන්නවා මගේ ගමන කොච්චර අමාරුවෙන්ද ආවේ කියන එක. ඉතින් රට යන්න හේතුවක් තමා මම ඒ ආර්ථික වශයෙන් වැටුණු සිද්ධීන් සහ ඒ නිසා වුණු සිත් රිදීම්.
Q ඒ කියන්නෙ ඉදිරියෙදි අපිට මීනාගෙ නිර්මාණ අහන්න දකින්න ලැබෙන එකක් නෑ කියලද?
නෑ. මම සංගීත ක්ෂේත්රය අතහරින්නෙ නැහැ.මම මගේ රසිකයන් වෙනුවෙන් ඉදිරියේදීත් නිර්මාණ සිදු කරනවා. මගේ වෙඩින් එක දවසේ එළි දක්වපු ගීතයට අමතරව අලුත් නිර්මාණ කීපයක් කළා. සුදුසු කාලයේදී ඒ ගීත එළියට ඒවි.
Q මීනගෙ වැඩවලට මහත්තයාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම මගේ මහත්තයාගෙන් වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා.
Q ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
යහපත් පවුල් ජීවිතයක් ගත කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මම මේක අවස්ථාවක් කර ගන්නවා මගේ වෙඩින් එක ලස්සනට කර ගන්න උදව් කරපු හැම දෙනාටම ස්තූති කරන්න.