ජනප්රිය බොලිවුඩ් නළුවෙකු වන අනිල් කපූර්ගේ ගැල්වනයිස් කරන ලද පිළිරුවක් පසුගියදා සිංගප්පූරුවේ Madame Tussaudsහිදී විවෘත කරනු ලැබිණි. ඒ ඔහු වසර තිහකට අධික කාලයක් පුරා සිනමාවට කරන ලද සේවාව වෙනුවෙන් ගෞරව කිරීමක් වශයෙනි. එබැවින් ළඟදීම තිරගත වීමට නියමිත 'මුබාරකන්' චිත්රපටයේද අර්ජුන් කපූර්, ඉලේනා ඩි කෘස් සහ අතියා ෂෙට්ටි සමගින් රංගනයේ යෙදෙන අනිල් කපූර් සිය ඉටි ප්රතිමාව සහ සිනමා ජීවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් හරහා දැක්වූ අදහසකි මේ.
''මට මේ ගෞරවය මගේ මුල් අවුරුදු දහය විස්ස අතර ලැබුණා නම් මෙහි වටිනාකමක් නැතිවෙන්න තිබුණා. ඒ නිසා මට මෙවැනි ගෞරවයක් ලැබීම ගැන මම හුඟක් ආඩම්බර වෙනවා. අනික මම වාසනාව නිසා රැඳුණු නළුවෙක් නෙමෙයි. ලේ හලලා කැපවෙලා තමයි මෙවැනි තත්ත්වයකට අද ඇවිත් ඉන්නේ. (සිනාසෙමින්) ත්රාසජනක ජීවිතයක් තමයි මට තිබුණේ.
ඒක මටම මගේ ජීවිතයේ අවුරුදු විස්සක් විසි පහක් ආපස්සට ගියාම මට තේරෙනවා. මොකද මම ධනාත්මක චින්තනය සහ වටිනාකම් මතින් මේ දක්වා පැමිණි කෙනෙක්. ඒ ගැන හුඟක් සතුටුයි මට'' අනිල් කතාව ඇරඹුවේය.
Q ඔබ පුදුම වුණාද මෙවැනි ගෞරව සම්මානයක් ලැබීමත් එක්කම ?
මෙය මාස අටක දහයක වෙලේ ඉඳන් නිර්මාණය කළ පිළිරුවක්. මගෙන් මිනුම් පවා ලබාගත්තා. ඒ නිසා මම මේ ගැන කලින් දැනගෙන හිටියා. ඒ හින්දා හුඟක් සතුටුයි මේ අවස්ථාව සැබෑවක් වීම ගැන. අනික වසර තිහක තිස්පහක වෙලේ පටන් මගේ වේෂ නිරූපණ කටයුතු සිදුකරන දීපක් තමයි මගේ සමේ පැහැය එක්ක ගළපමින් මීට අදාළ කරුණු කාරණා එක්ක මෙතැනදි ගනුදෙනු කළේ. ඒ නිසා මේක විශාල අභියෝගාත්මක කටයුත්තක් කියලා මට තේරෙනවා.
Q දුව 'සෝනම් කපූර්' ජාතික සම්මානයෙන් පිදුම් ලැබීම නිසා ඔබ හුඟක් පුදුමයට පත්වුණා?
මම මගේ පිළිරුව නිර්මාණය වීමටත් වඩා ඒ කාරණය ගැන හුඟක් පුදුමයට පත්වුණා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක්. මට ඒ ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරම් සතුටුයි.
Q මෙම ඉටි පිළිරුව ඔබේ මතකයට ගෙන එන්නේ 2008 වසරේදී ඔබ රඟපෑ Slumdog Millionaire චිත්රපටය අවධියේ මුහුණක්?
ඔව්. නිර්මාණ කණ්ඩායම විශිෂ්ට සේවයක් මේ පිළිරුව නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකරලා තියෙනවා. මම හිතන්නේ. Slumdog Millionaire චිත්රපටයේ තමයි මෑතකදී මගේ හොඳම මුහුණුවර තියෙන්නේ. මම ඒ චිත්රපටයේ පැය අටක් පුරා එකම ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න සිදුවුණා. අනික ඒ චිත්රපටයේ රංගනය ගැන බොහෝ දෙනෙක් පැහැදීමෙන් මං එක්ක කතා කළා.
Q කොහොමද අවුරුදු 35ක් පුරා සිනමාවේ රැඳී සිටින්නේ?
මම කැපවෙලා කටයුතු කරන කෙනෙක්. අනික මම යම් තෝරා බේරාගැනීම් ඇතුවයි නිර්මාණවලට දායක වෙන්නේ. ඒ නිසයි මගේ චරිතවල විවිධත්වයක් තියෙන්නේ.
Q හැබැයි ඔබේ තෝරාගැනීම ආකර්ෂණීයයි ?
ඒ අතින් මම වාසනාවන්තයි. මගේ රටේ නොවන බොහෝ අධ්යක්ෂවරුන් එක්ක වැඩ කරන්න මට හැකියාව ලැබුණා. ඒත් සමහර වෙලාවට මට හිතුණා ඇයි මාව චරිතයට තේරුවේ කියලා අහන්නත්. මොකද මට වඩා දක්ෂ නළු නිළියන් එම චිත්රපට කණ්ඩායම්වල හිටියා.