බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයෙකුට ඉන්දීය රුපියල් කෝටි 100ක් ත්‍යාග වශයෙන් ලබාදෙන බවට භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු වන ඉන්දියාවේ හරියානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූ ප්‍රකාශයක් කර තිබීම මේ වන විට ඉන්දියාවේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිටද මේ වන විට ඉන්දියාවේ හින්දු ජාතිවාදීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර, චිත්‍රපටයේ අධ්යක්ෂ මෙන්ම එහි නිෂ්පාදකවරයාද වන සන්ජේ ලීලා බන්සාලිගේද හිස ගසා දමන්නේ නම්, එය සිදුකරන පුද්ගලයාට ඉන්දීය රුපියල් කෝටි 100ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවත් හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.
මෙම චිත්‍රපටය දෙසැම්බර් මුල් සතියේ සිට තිරගත වීමට නියමිතව තිබූ නමුත්, තිරගත වීමටත් පෙර, මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත තුනක 'පද්මාවතී’ චිත්‍රපටය තහනම් කර තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංචාරක ඇමති ජයිකුමාර් රාවාල් පවසා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේද ‘පද්මාවතී’ තහනම් කළ යුතු බවයි. ඔහු ඒ බව දන්වමින් ප්‍රාන්ත මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට ලිපියක් යැවීය. ‘ඉතිහාසය විකෘති කිරීමට පෙර සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටය වහා නැවැත්විය යුතුයි’ යනුවෙන් එම ලිපියෙහි සඳහන් වෙයි. ‘පද්මාවතී’ චිත්‍රපටය තහනම් කළ ඉන්දීය ප්‍රාන්ත වන්නේ රාජස්ථානය, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය සහ හර්යානා ප්‍රාන්තයයි. මෙම ප්‍රාන්ත තුනම භාරතීය ජනතා පක්ෂය සතුය.
2017 ජනවාරි මස ජායිපූර්හි රූගත කිරීම් අතරවාරයේදී ජායිගාර් බළකොටුවේ පසුතලයෙහි ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා නම් සංවිධානය විසින් විරෝධතාවන්හි යෙදුණේ අධ්‍යක්ෂක බන්සාලි විසින් මෙම චිත්‍රපටය තුළ ඉතිහාසය විකෘති කරන බවට චෝදනා නගමිනි. රූගත කිරීම් කරනු ලැබූ ස්ථානයේ පසුතලයද විනාශ කිරීමට ඔවුහු තැත් කෙරූහ. 2017 මාර්තු 6, මෙම සාමාජිකයන් චිතෝර්ගාර් බළකොටුවට කඩාවැදී එයට හානි කළ අතර, රාණි පද්මිණීගේ මාලිගයේ තැන්පත් කළ කැඩපත් බිඳ දමා ඇත. ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලේඛන අනුව, මෙම කැඩපත් මීට වසර 40කට පෙර චිතෝර්ගාර් බළකොටුවෙහි තැන්පත් කළ බවයි ඉන්දියානු මාධ්‍ය විසින් සඳහන් කරනු ලබන්නේ. එමෙන්ම මාර්තු 15 දින හඳුනා නොගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් කොල්හාපූර්හි මෙම චිත්‍රපටය සඳහා ඉදිකළ පසුතලයට හානිකොට ගිනි තබන ලදී. මෙහිදී චිත්‍රපටයේ පසුතල, වස්ත්‍ර සහ ආභරණ ගිනිබත් වූ බවද සඳහන් වෙයි.
'පද්මාවතී' චිත්‍රපටයේ පද්මාවතී යනු මුස්ලිම් පාලකයෙකු සමග විවාහ වන හින්දු රැජිනකි. ඒ හේතුවෙන් මෙම චිත්‍රපටය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමට හින්දු ජාතිකයන් පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ. චිත්‍රපටය ලබන මාසයේදී තිරගත කිරීමට නියමිතව ඇති අතර, එය වැළක්වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ කරන බව වාර්තා වෙයි. මේ අතර පූනේ අධිකරණයෙන් ප්‍රාන්ත සිනමා ශාලාවල %පද්මාවතී^ තිරගත කිරීම තහනම් කර වාරණ නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ.
දීපිකා වෙනුවෙන් ඉන්දීය සිනමාවේ දැවැන්තයන් බොහෝදෙනෙකු එක්ව සිටියි. ඒ අතරින් සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ශේකර් කපූර් පවසා ඇත්තේ, තමාගේ සහාය 'පද්මාවතී' චිත්‍රපටය සමග බවයි. ඔහු පවසනු ලබන්නේ, බන්සාලි අතිශය දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු බවයි. ඔහු විසින් සිදුකරනු ලබන නිර්මාණයක් තුළ යම්කිසි වැරැද්දක් ඇතිනම් එය රැඟුම් පාලක මණ්ඩලය තීරණය කරනු ඇතැයි ඔහු පවසයි. තවද මෙම වසරේ මිස් වර්ල්ඩ් ලෙස කිරුළ පැලඳු මනූෂි චිල්ලර්ද පද්මාවතී චිත්‍රපටය ගැන අදහසක් දක්වා තිබේ. ඇය සඳහන් කරන්නේ, මෙම සමාජය තුළ කාන්තාවන්ට කිසිදු ඉඩක් නොමැති බවට හැඟී යන බවයි. වසර 17කට පසුව ඉන්දියාවට කීර්ති නාමයක් ගෙන දුන් ඇය පවසන්නේ ඉන්දියානු බලවත් කාන්තාවන් අතරේ කෙනෙකු වන දීපිකා පදුකෝන් හට මෙවැනි අප්‍රසාදයක් පළකිරීම කනගාටුවට කරුණක් බවයි. එමෙන්ම ඉන්දියානු හාස්‍ය නළුවෙකු වන කපිල් ශර්මා පවසා ඇත්තේ, දීපිකා පදුකෝන්ට සහ පද්මාවතී චිත්‍රපටයට ඔහු සහාය දක්වන බවයි. එහිදී ඔහු සඳහන් කරනු ලබන්නේ බොලිවුඩ් සිනමාව සඳහා විශාල මෙහෙවරක් කරනු ලැබූ දෙදෙනෙකු වන බන්සාලි සහ දීපිකාට මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම පද්මාවතී සඳහා විරුද්ධ වීමට දේශපාලන පක්ෂ මෙන්ම ආගම්වාදී කණ්ඩායම්ද එකට එක්වෙන බැවින්, සිනමා කර්මාන්තය වෙනුවෙන් මේ සඳහා නැගී සිටීමට සහෝදර නළු නිළියන්ට ආරාධනා කරන බවද ඔහු පවසයි. මෙම පද්මාවතී චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියානු සිනමාවේ දැවැන්තයෙකු වන කමලාසන්ද නැගී සිටියි. ඔහු පවසන්නේ මෙම චිත්‍රපටය සඳහා චෝදනා කරන පිරිස් ඕනෑවට වඩා හැඟීම්බර වී කටයුතු කරන බවයි. මෙම චිත්‍රපටය යම්කිසි කතා පුවතක් බවත්, එය නිර්මාණය කිරීමට ඕනෑම අධ්‍යක්ෂකවරයෙකුට හැකියාව තිබෙන බවත් කමලාසන් පවසයි ලබයි.
‘පද්මාවතී’ චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් යැයි ‘රාජ්පුත් කර්ණී සේනා’ හින්දු ජාතිකවාදීහු දිගින් දිගටම චෝදනා කරනු ලැබුවත්, බොහෝදෙනා පවසන්නේ ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය තුළ එය තවත් එක් නිර්මාණයක් පමණක් බවයි. කෙසේනමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ඉතිහාසඥයන් දරන මතය වෙනස් බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඔවුන් පවසන්නේ මුස්ලිම් පාලක කිලීජි පිළිබඳ ඉතිහාසයේ සඳහන් කර ඇති නමුත්, පද්මාවතී නමැති කෙනෙකු හෝ රැජිනක් පිළිබඳව කිසිදු සටහනක් නොමැති බවයි. ඇය ප්රබන්ධගත කරනු ලැබූ චරිතයක් බවද ඉන්දීය ඉතිහාසඥයන් පවසයි. මේ කාරණාව %‘රාජ්පුත් කර්ණී සේනා’ හින්දු ජාතිකවාදීහු ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය හුදු ප්‍රබන්ධ චරිතයක් නොවන බවයි. ඇය ඉතිහාසයේ සිට පැවත එන අතීතයේ සිටි කෙනෙකු බවද ඔවුහු පවසති.