සිනමාව, ටෙලිනාට්‍ය සේම වේදිකාව තුළද සම්මානනීය රංගන ශිල්පියෙකු ලෙස නම් දරා සිටින ඔහු ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වාය. අද කතාබහ ඔහු සමගය.
?වසර එකහාමාරක පමණ කාලයකට පසුව තමයි ඔබ නැවත ටෙලිනාට්‍ය රංගනයට පැමිණෙන්නේ. එතරම් කලක් නිහඬව හිටියේ ඇයි
රඟපාන්න තරම් ගුණාත්මක ටෙලිනාට්‍යයක් ලැබුණෙ නැති කාලයකුත් තිබුණා. එහෙම යමක් කරන්න පුළුවන් ටෙලිනාට්‍යයක චරිතයක් ලැබෙනතුරු බලාගෙන හිටියා. එහෙම ඉන්නකොට තමයි දෙවෙනි ඉනිම නාට්‍යයට ආරාධනා කරන්නේ. ටෙලිනාට්‍යවල මට රඟපාන්න ලැබෙන්නේ ප්‍රධාන චරිත. නමුත් සමහර අවස්ථාවල ප්‍රධාන නොවන චරිතත් රඟපාන්න ලැබෙනවා. දෙවෙනි ඉනිම නාට්‍යය මම භාරගන්නා විට ප්‍රධාන නොවන චරිතයක් ලෙස තමයි මම එය භාරගත්තේ. එහෙම වුණත් මේ කතා තේමාවත් එක්ක මම හිතුවා මේ නාට්‍යය සඳහා ලොකු දායකත්වයක් කරන්න සිදුවෙයි කියලා. ඒ හිතුවා වගේම නාට්‍යය ජනප්‍රිය වුණා. ලොකු වෙනසක් කළ ටෙලිනාට්‍යයක් බවට එය පත්ව තිබෙනවා. මම මෙගා වර්ගයේ නාට්‍යවල රඟපාන කෙනෙක් නෙමෙයි. දීර්ඝ ටෙලිනාට්‍යවල ඉතාම අඩුවෙන් රඟපාපු කෙනෙක් තමයි මම. මෙගා නාට්‍ය කියලා අපි හඳුන්වන නාට්‍යවලට මම ඒ තරම් කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඒකට හේතුව අපේ රටේ ඒ නාට්‍ය සිදුකරන විදිහයි. කාලය ගතවීමත් එක්ක එහි ගුණාත්මකත්වය අඩුවෙනවා කියල මම විශ්වාස කරනවා. එහෙම වුණත් දෙවෙනි ඉනිම නාට්‍යයේ තවම ගුණාත්මකත්වය අඩුවී නැහැ කියල මම විශ්වාස කරනවා. දීර්ඝ නාට්‍යයක දුර්වලතා සිදුවිය හැකියි. නමුත් නාට්‍යයට ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීම කියන කාරණයේදී මේ නාට්‍යය ඉදිරියෙන් තිබෙනවා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් ගෙන්වන හරසුන් නාට්‍යයක් බලනවාට වඩා ගුණාත්මක බවෙන් අඩු සිංහල ටෙලිනාට්‍යයක් බලන එක හොඳයි කියන දේ මම විශ්වාස කරනවා. විදේශීය හරසුන් නිර්මාණවලට වඩා කුමක් හෝ දෙයක් ප්‍රේක්ෂකයන්ට සිංහල ටෙලිනාට්‍යයක් තුළින් ලබාදෙනවා. ඒ නිසා දෙවෙනි ඉනිම එක්ක මට තාමත් පවතින්න පුළුවන් කියන කාරණාව තියනවා.
?වසර එකහාමාරක පමණ කාලයකින් පසු ඔබ භාරගන්නේ දෙවෙනි ඉනිම පමණක් නෙවෙයි, මහරජ ගැමුණු නාට්‍යයත් භාර ගන්නවා
ඒ නාට්‍ය දෙකම භාරගැනීමේ හේතුව මං කියන්නම්. මට ක්‍රිකට් කියන එක දැනුණා. මගේ ළමා කාලයේ මම ක්‍රිකට් ක්‍රිඩා කරපු කෙනෙක්. %දෙවෙනි ඉනිමේ^ කතාව මුලින්ම එහි අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මට කියන විට මට කැමැත්තක් ඇති වුණා. අපේ රටේ ක්‍රිකට් ගැන තාමත් මම ලොකු උනන්දුවකින්, අවධානයකින් ඉන්නවා. මට ක්‍රිකට් ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න බැරි වීම ජීවිතේ දෛවෝපගත සිදුවීමක් කියලයි හිතන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මට ලොකු හැඟීමක් තියෙනවා. ක්‍රිකට් පිළිබඳ මට තිබූ අත්දැකීම් මගේ චරිතය ජනතාව අතරට ගෙනයන්න බොහෝ ප්‍රයෝජනවත් වුණා. මහරජ ගැමුණු කියන නාට්‍යයටත් ඒ අතරතුර මට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම මම සරත් ධර්මසිරි රචකයාට ඉතාම කැමතියි. ඔහු ලියූ කටු ඉඹුල නාට්‍යයේ මං රංගනයේ යෙදුණ සුගත බණ්ඩා කියන චරිතය ඉතාම ආස කරපු චරිතයක්. ඒ චරිතය නිසා මාව සම්මානයට පවා පාත්‍ර වුණා. ඒ ටෙලිනාට්‍යය රචනය තුළ මා දුටු දෙයක් තමයි සරත් ධර්මසිරි මහතාගේ රචනයේදී චරිතයක තිබෙන ගති ස්වභාවයන් ඉතා විශිෂ්ට ලෙස රචනා කිරීම. ඔහු මට %මහරජ ගැමුණු^ වැනි ටෙලිනාට්‍යයක චරිතයක් රඟපාන්න ආරාධනා කළාම මම එය භාරගත්තා. එහි පිටපත සම්පූර්ණයෙන් දැනගෙනත් නොවෙයි එය භාරගත්තේ. සරත් ධර්මසිරි කියන නිර්මාණකරුවා ගැන තිබෙන විශ්වාසය මත මම එයට රංගනයෙන් දායක වීම භාරගත්තේ. ලංකාවේ ඓතිහාසික කතා නරඹන්න වෙනම ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. ඔවුන්ට එවැනි නිර්මාණවල ලොකු පිපාසයක් තිබෙනවා. නමුත් අවාසනාවකට පෞද්ගලික නාළිකා කිහිපයකට හැරුණුකොට එවැනි නිර්මාණ හදන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා යන වියදම සාමාන්‍ය ටෙලිනාට්‍යයකට වඩා වැඩියි. කෙසේ වුණත් මේ නාට්‍ය දෙකම හොඳ තෝරාගැනීමක් ලෙස මම හිතනවා.
?රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවාට අමතරව ඔබ අධ්‍යක්ෂණයත් හදාරලා තිබෙනවා. එහෙම හදාරලත් ටෙලිනාට්‍ය දෙකක් කරලා ඔබ අධ්යක්ෂණයට සමුදෙනවා. එහෙම වෙන්නේ ඇයි
ඉන්දියාවෙන් ඉගෙන ගෙන ඇවිත් මම ටෙලි ෆිල්ම් දෙකක් තමයි නිර්මාණය කළේ. අමුත්තෙක් ඇවිත් කියන නිර්මාණය සඳහා 1998 සම්මාන ලබා ගන්නවා. ඉන්පසු මම උත්සාහ කළේ චිත්‍රපට නිර්මාණය කරන්න. චිත්‍රපටයක් නිර්මාණය කරන්න ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මගේ තිර පිටපතක් මිලදී ගත්තා. නමුත් නිෂ්පාදනය කරන්න වුණේ නැහැ. ඒ ව්‍යාපෘතිය චිත්‍රපට සංස්ථාවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා. ඒ එක්කම චිත්‍රපටයක් හදන බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගියා. නමුත් මම දිගින් දිගටම සිනමා අධ්‍යක්ෂණය සිදුකළා. පසුව සිනමාව ගැන උගන්නන මට්ටමට යොමු වුණත් සිනමා අධ්යක්ෂණයට ප්‍රවිෂ්ට වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නිෂ්පාදකවරුන් සොයාගෙන ගියත්, ඔවුන් අපේක්ෂා කරන්නේ වාණිජමය හුදු හාස්‍ය පමණක් තිබෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. නමුත් හොඳ සිනමා කෘතියක් නිර්මාණය කරන්න නිෂ්පාදකවරුන් සොයාගැනීම ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. මං හිතන්නේ මට පමණක් නෙවෙයි මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ. මට පෙර පරම්පරාවල අයට වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට පවා මේ ප්රශ්නය තියෙන්න ඇති කියලා මම හිතනවා. හොඳ සිනමා කෘතියකට දායකත්වයක් දෙන්න ලංකාවේ එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. එහෙම නැති වුණාම රාජ්‍ය මට්ටමෙන් හෝ එවැනි වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. චිත්‍රපටවලට යම්කිසි මුදලක් ලබාදෙන තත්ත්වයක් ඇතිව තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස තිස්ස අබේසේකර මහතා පත්වූ කාලයේ පැවති ව්‍යාපෘතියකින් පමණයි. ඉන්පසු කිසිම රජයකට එවැනි ව්‍යාපෘතියක් කරන්න ඕනකමක් තිබුණේ නැහැ. සංස්ථාවට පත්වූ කිසිදු සභාපති කෙනෙකුට එවැනි අදහසක් තිබුණේ නැහැ. ලෝකේ හැම රටකම හොඳ සිනමා කෘති නිර්මාණය කරන්න රාජ්‍ය මට්ටමෙන් වැඩපිළිවෙළවල් හෝ පෞද්ගලික නිෂ්පාදන ආයතන තිබෙනවා. ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ.
?සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍යන්වල රංගන ශිල්පියෙක් ලෙස කාලයක් ඔබ කටයුතු කරනවා. මේ තුළ ඔබේ දැක්ම කෙබඳු ද
අපිට ලැබෙන දේ කරමින් ඉන්න එක පමණයි තියෙන්නේ. අපිට ඉන් එහාට ලෝක මට්ටමට යන්න පුළුවන් පර්යේෂණාත්මක වැඩවලට යන්න විදිහක් නැහැ. අපි ඒ ගැන කොතරම් අධ්‍යයනය කළත් ඵලක් වෙන්නේ නැහැ. අපේක්ෂා භංගත්වයට පත්වීම පමණයි සිද්ධ වෙන්නේ. ලංකාවේ නිර්මාණ කිරීම සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් තමයි තිබෙන්නේ. එක්කෙනෙක්, දෙන්නෙක් මේ රැල්ලෙන් එළියට ඇවිත් තමන්ගේ පෞද්ගලික හැකියාවෙන් නිෂ්පාදකවරු සොයාගෙන නිර්මාණ කරනවා. මම විශ්වාස කරන්නේ ඔවුන්ගේ සිනමා අධ්‍යයනයට වඩා වෙළෙඳ ප්‍රචාරණය ඉහළ මට්ටමක තිබෙනවා කියලා. ඔවුන් වුණත් එහෙම නිෂ්පාදකවරු සොයාගත්තත් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණම බහුතරයක් සිනමාව ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්න පර්යේෂණ කරනවා කියල මට පෙනෙන්නේ නැහැ. රඟපෑම වැනි ක්ෂේත්රයක් ගත්තොත් අනෙකුත් රටවල පවතින තත්ත්වයන්ට අපිට ළඟාවෙන්න බැහැ. ජාත්‍යන්තර තලයට රඟපෑමක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අපේ ශිල්පීන් අධ්‍යයනය කරනවා කියල මම හිතන්නේ නැහැ. රඟපෑම් ක්ෂේත්රය ඉතාම දරුණු ලෙස අර්බුදයට ලක්වෙලා. රඟපෑමේදී නළු නිළියන් මෙහෙය වීම දන්නෙ නැත්නම් අධ්‍යක්ෂකවරුන් කොතරම් චිත්‍රපට නිර්මාණ කළත් ඵලක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අධිරංගනයන්, භාවාතිෂය රඟපෑම් වැනි දේවල් චිත්‍රපටයට ඇතුළත් නොකිරීමට සිනමා අධ්‍යක්ෂකවරු දැන සිටිය යුතුයි. රංගනය ගැන අවබෝධයක් තිබෙන අධ්‍යක්ෂකවරුන් ලංකාවේ බිහිවෙනවද කියලා බරපතළ ගැටලුවක් තිබෙනවා. අනාගතයේදීත් එක් අධ්‍යක්ෂකවරයෙක්, දෙදෙනෙක් හැරුණුකොට අනෙක් අය කොතරම් චිත්‍රපට කළත් ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මෙවන් තත්ත්වයක් තුළ රංගනය ගැන කතා කළොත් වෘත්තියක් කරලා පැත්තකට වෙලා ඉන්න තත්ත්වයක් තමයි තිබෙන්නේ. මම ඉගෙන ගත් මගේ අත්දැකීම් ක්‍රියාත්මක කරන්න බෑ. අපිට හමුවෙන බොහෝ අධ්‍යක්ෂකවරු එවැනි දැනුමකින් සමන්විත වූ අය නෙමෙයි. ටෙලිනාට්‍යයක් කරලා එහෙම නැත්තම් මිතුරන් හරහා පත්වූ අධ්‍යක්ෂකවරුන් තමයි අද වැඩිදෙනෙක් ඉන්නේ.
?මෙවන් වටපිටාවක් තුළ නිර්මාණකරුවෙක් ලෙස ඔබේ ප්රකාශනයන් සමාජගත කරන්නේ කොහොමද
නිර්මාණකරුවෙක් ලෙස ඉදිරියට එන්න හැකියාවක් නැහැ. මේ වන විට නළුවෙක් ලෙස පවතිනවා පමණයි. පාලිත සිල්වා කියන නිර්මාණකරුවා 2000 වසරේ පමණ සිට නැහැ. ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයෙන් ඉගෙන ගෙන ඇවිත් අමුත්තෙක් ඇවිත් කියන නිර්මාණයත්, %ත්‍රස්තවාදියාගේ ඝාතනය^ කියන ටෙලි චිත්‍රපටයත් කළා. ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ණය මුදලක් අරගෙන මල්වර අඩවිය නමින් සිනමා කෘතියක් කරන්න උත්සාහ කළා. ජාත්‍යන්තර වශයෙන් මුදල් අරන් ඉංග්‍රීසි චිත්‍රපටයක් හදන්න, ඉංග්‍රීසි තිර පිටපතක් ලියා යොමු කළා. නමුත් එයත් සිදුවුණේ නැහැ. ඊට අමතරව චිත්‍රපටයක් සඳහා තවත් තිර රචනයක් රචනා කළා. සියල්ලම බිඳවැටීම් පමණයි. නිර්මාණාත්මකව නිර්මාණකරුවෙකුට බිහිවෙන්න තිබෙන වටපිටාව ඉතාම දරුණු ලෙස ඇද වැටී තිබෙනවා.
?අද වන විට සමහර ප්‍රවීණයන් මේ ක්ෂේත්රයෙන් ඉවත් වෙනවා. සිටින අය ලැබෙන දෙයක් කරලා ඉවත්වෙලා බලන් ඉන්නවා. මීට වඩා යමක් කරන්න නොහැකිද
අපිට කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ සමාජය කොහෙටද තල්ලුවෙලා යන්නේ කියල මම දන්නෙ නැහැ. එයට කාටවත් චෝදනා කරන්නත් බැහැ. මේ රටේ සිස්ටම්වල බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ටෙලිනාට්‍ය කලාව අාරක්ෂා වෙලා නැහැ. සිනමාවේ නිසි ක්‍රමවේදයක් නැහැ. ලංකාවේ සිනමා පාසලක් නැහැ. නාට්‍ය පාසලක් නැහැ. ඒ හැමදේම විශ්වවිද්‍යාලවලට පමණක් භාර දීලා. ලංකාවේ කලාව පමණක් නෙමෙයි හැම පද්ධතියක්ම අවුල් වෙලා. මේක චෝදනාවක් නෙමෙයි. මේ ක්‍රමවේද තුළ බරපතළ ප්‍රශ්න තිබෙනවා. එක්කෙනෙක්, දෙන්නෙක් මේ ක්‍රමවේදය තුළින් එළියට ගියත් හෙට දවසේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා, ධර්මසේන පතිරාජලා, තිස්ස අබේසේකර වැනි අය බිහිවෙයිද කියල කියන්න අමාරුයි.