අපේ ගීත කලාවේ එන ඇතැම් ගීත ඒ ඒ අවධිවලින් මතු වූ පුරාවෘත බඳුයැයි පැවසුවහොත් එහි වරදක් නොවේ. හැටේ දශකයේ බිහි වූ ගීත අතරින් අද දක්වාම අඛණ්ඩ ජනප්‍රියත්වක් ලද ගීත අතර
‘නැළවෙන මවු උකුලේ...
පොඩි දරුවන් දෙතොලේ...
සුරතල් සිඟිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ..’ යන ගීතය කාගේද යන්න විමසන විට ඔබට යම් තරමක වික්ෂිප්ත බවක් මතුවන්නට ඉඩ තිබේ. මන්ද මේ ගීතය නොගයන සංගීත කණ්ඩායමක් හෝ වේගරිද්ම ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් සොයාගත නොහැකි බැවිනි. එවිට මේ ගීතයේ මුල් හිමිකරුවෙකු නැතිද, සිටී නම් මෙසේ මේ ගීතය බොහෝ දෙනා විසින් ගයන්නේ කිසියම් අවසරයක් නොමැතිව ගැයීම සඳහා නිදහස් කර තිබෙන නිසාද? මේ පැනය සඳහා පිළිතුරු සැපයීමට හැකි එකම පුද්ගලයා රේමන්ඩ් ෆොන්සේකායි. හැටේ දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ සංගීත කණ්ඩායමක් වන සමනලයෝ වෙනුවෙන් රේමන්ඩ් ලියා සංගීතවත් කර ගැයූ මේ ගීතය එසේ කාටත් පොදු ගීතයක් වූයේ කෙසේද? මේ රේමන්ඩ් අප හා යෙදුණු පිළිසඳරයි.
‘හැටේ දශකයේ සංගීත කණ්ඩායම් බහුලව තිබුණු යුගයක් නෙවෙයි. මම කතෝලික කෙනෙක් නිසා පැවිදි ජීවිතයට ඇතුළත් වීමේ අරමුණින් සෙමනේරියේ ඉගෙනුම ලබමින් සිටියා. ඒ සමගම මම සංගීතයත් එක්ක බොහෝ ළඟින් කටයුතු කළා. මට ඒ පල්ලියේ පසුබිමත් එක්ක ගායනා කිරීමේ හැකියාවත් දියුණු වෙලයි තිබුණේ. ඉතිං ‘සමනලයෝ’ කියන සංගීත කණ්ඩායම ඇරඹෙන්නේ 1967 සැප්තැම්බර් මස 30 වැනිදා. ඒ කාලේ ගීත තැටි එහෙම බිහිවීමත් හරිම විරලයි. ඇත්තම කිව්වොත් ලංකාවේ නිපදවුණු පළවෙනි ඊ පී තැටිය වුණේ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය ඇතුළත් ‘සමනලයෝ’ සංගීත කණ්ඩායම විසින් නිපද වූ ඊ පී තැටියයි. මෙම ගීතය මම නිර්මාණය කළේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි කාලයේයි. සමනලයෝ කණ්ඩායම, තම කණ්ඩායමේම ගීත දොළහක් නිපදවා තියෙනවා. ඒ දොළහම ජනප්‍රියත්වයට පත්වුණා . ඊට අමතරව තවත් ගීතයක් තිබෙනවා. එය නිර්මාණය කර දුන්නේ ආර්.ඒ චන්ද්‍රෙස්න සංගීත ශිල්පියා විසිනුයි.
?ඉතිං ඔබ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය වේග රිද්ම ගීතයක් ලෙස නිර්මාණය කරන්න නොහිතුවේ ඇයි
ඇත්තෙන්ම කීවොත් එය ඔබ අසා ඇති වේග රිද්ම ‘නැළවෙන මවු උකුලේ’ ගීතයේ හැඩය ගන්නා ගීතයක් නෙවෙයි. එය ඉතාම සෞම්‍යව නිර්මාණය වූ තනුවක් සහිත අලංකාර ගීතයක් වීම නිසා තමයි ඔය අදටත් රිද්මය සහ ටෙම්පෝ වෙනස් කරලා අපේ හැම කෙනෙක්ම පාහේ ගයන්නේ. මේ ගීතය හොඳ ගීතවලට ප්‍රිය කරන හැමෝගෙම සිත් ගත් ගීතයක්. වේදිකාවේ ගයද්දි වුණත් හොඳ ප්‍රතිචාර මේ ගීතයට ලැබී තිබෙනවා. ඒත් ඒක අද වගේ මහ රෑ දොළහට, එකට , ගෙවල්වල නිදා ඉන්න පොඩි අය අවදි කරවන අන්දමේ කෑගසා ගයන ගීතයක් විදිහට නෙවෙයි නිර්මාණය වුණේ. අඬන දරුවෙක් නළවගන්න තරම් සියුම් අලංකාරවත් සෞම්‍ය නාද රටාවන් එක්කයි.
?එතකොට කවුද මේ ගීතයට වේග රිද්මය ඔබ්බවා මෙය බයිලා ගණයට එක් කළේ
කලක් මම විදේශගතව සිටියා. ඒ කාලයේ වුණ දෙයක් තමයි මේ. ඔබ කීවා හරි. මේ ගීතය සමහරු හිතන්නේ බයිලා ගීතයක් කියලා. හරි පුදුමයක් ඒක. මේ මෑතකදී එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ජනප්‍රිය නිළියක් බයිලා ගීතයක් ගයන්න කීවම ගැයුවේ ‘නැළවෙන මවු උකුලේ’ ගීතය. සමහර ගීත එවැනි වෙනස්කම් කළාම තිබුණට වඩා තවත් සුන්දර වෙනවා. තවත් සමහර ඒවා මුළු ගීතයම මරණවා. එක්කෝ ඒ ගීතය එපා කරවනවා. ‘නැළවෙන මවු උකුලේ’ ගීතයට මොනවද වෙන්නේ හොයන්න මම ලංකාවේ නොහිටි කාලයේ මේ විදිහට ගීතයේ තනුව වේගරිද්ම වී ඉබේ බයිලා ගීතයක් සේ මිනිසුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ ගීතය බොහෝ දෙනෙක් ගයනවා පමණක් නෙවෙයි සංයුක්ත තැටි ආදී මුදල්මය කාරණා නැතිනම් සංදර්ශන ආදියටත් යොදා ගන්නවා.
?එය බුද්ධිමය දේපළක් ලෙස ඔබගේ අවසරය හෝ මුදල් ගෙවා ලබාගන්නා ලද අනුමැතියක් සහිතවද ගැයෙන්නේ
නැහැ. මම කිසිවෙකුට ඒ ගීතයේ අයිතිය විකුණා නැහැ. නමුත් ඔවුන් ගයනවා. අර කියූ විදිහට ඒවායින් මුදල් උපයනවා. නමුත් එයින් මට ගෙවීමක් කර නැහැ. මේ ගීතය හිතූ හිතූ ලෙස භාවිත කරන්නන් දැනසිටිය යුතුයි මට කතාකර ඒ අවසරය ගීතයේ වටිනාකමට සරිලන මිලක් ගෙවා ලබාගන්න. නමුත් මෙතෙක් කවුරුවත් එහෙම කර නැහැ. මමත් මේ පස්සෙ පැන්නුවේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම යම් ආකාරයකින් ගීතය ගැයීම සම්බන්ධ මට ඇති අයිතිය ක්‍රියාත්මක කළා නම් මා ලංකාවේ නොහිටි කාලයේ මේ ගීතය නොගැයී තිබීම හේතුවෙන් එය ඉබේම මුල්ලකට තල්ලු වී විනාශ වී යන්නට ඉඩ තිබුණා. නමුත් කවුරු හෝ එසේ ඒ ගීත ගයනවා කියන්නේ නැවත නැවත ඒ ගීත ඇසෙන්නට සැලැස්වී රසිකත්වයක් අඛණ්ඩව ඒ ගීත එක්ක රැඳී තියෙන එකයි. එහෙම හිතලා මම එයට විරුද්ධත්වයක් පළ කළේ නැහැ. මේ ගීතය මමත් තරුණම අවධියේ ගැයූවක්. එයින් පසුව යුග කීපයක් වෙනස් වුණා. නමුත් අදටත් පොඩි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ ගීතය දන්නවා, අඳුනනවා, අසා තිබෙනවා. නිර්මාණයක් සමාජගත වෙන්න ඕන එහෙම හැම කෙනෙක්ටම මතක හිටින විදියටයි කියලයි මම හිතන්නේ. ඉතිං මම මේ ගැන නීතිමය වශයෙන් මුකුත් නොකර එය නොසලකා හිටියා. නමුත් දැන් මම ලංකාවෙ ඉන්නවනේ. ඒ නිසා මට හිතුණා මගේ ඒ ගීත නැවත අලුතින් ගයන්න. ඒ සඳහා මට ප්‍රවීණ වාදක දෙපළක් උදව් කළා. ඔවුන් ඉතාම දක්ෂයෝ. ඒ වජිර රත්නායක සහ මහින්ද බණ්ඩාර. පරණ ගීත අතරට ටොරෙන්ටෝ නගරය ගැන සහ නයගරා ඇල්ල ගැනත් අලුත් ගීත දෙකක් කළා.
?ඔබේ ජනප්‍රිය ගීත නැවත වතාවක් අපි මතක් කර දුන්ණොත්
‘සුදු වැලි පාර දිගේ’ , ‘කඳුගැට පසුකර’, ‘ඕලු නෙළුම් මානෙල්’, ‘මෑතක සිට ඔබ මා ගැන’, ‘සෝබන සැන්දෑවේ’, ‘නැටුම් ගුරුවරී’, ‘බිනර මලී ඔබ හැඩයිනේ’ ගීත ජනප්‍රියයි.
?නමුත් මේ සමහර ගීත ඔබ ‘සියැක් ‘ කණ්ඩායමේදී ගැයූ ඒවා නේද
ඔව්. අපේ කණ්ඩායමේ සාමාජිකයෝ විදෙස්ගත වුණාම මම ‘සමනලයෝ’ අතහැර ‘සියැක්’ කණ්ඩායමට එකතු වෙනවා. ඒ කීබෝර්ඩ් වාදකයා ලෙස. මෙහිදී මට ප්‍රවීණ වාදකයෙකු මුණගැසෙනවා. ඒ තමයි පැට්රිරික් දෙණිපිටිය මහත්තයා. ඔහුගෙන් මටත් ගුරුහරුකම් ලැබුණා. ඒ දවස්වල අපි මාසෙකට සංදර්ශන විස්සක් විසිපහක් විතර ප්ලේ කරනවා. ‘සියැක්’ කණ්ඩායම ඉතාම ජනප්‍රිය වුණා. මේ අතර මම ක්ලැරන්ස්ව හඳුනා ගන්නවා. ක්ලැරන්ස්ගේ පටිගත කිරීම් බොහෝමයකම මම කීබෝඩ් වාදනය කරලා තියෙනවා. ඔහු සුපර් ගෝල්ඩන් චයිම්ස් පටන් ගනිද්දි මට එයට එක්වෙන්නට ඇරයුම් කළත්, ‘සියැක්’ කණ්ඩායමේ වාදකයෙක් විදිහට මම එය දාලා ගියේ නැහැ.
?ඉතිං මේ තොරතුරු අස්සේ අර ‘නැටුම් ගුරුවරී’ ගැන කතා නොකළොත් ලොකු අඩුවක්
ආ ඔව්. ‘නැටුම් ගුරුවරී’ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ගීතයත් මම නැවත අලුතින් ගයා රසිකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.
?මම ඇහුවේ ගීතයට පාදක වුණ සැබෑ නැටුම් ගුරුවරිය ගැනයි
මගේ බිරිය මට හමුවෙන්නේ කලාව තුළින්මයි. ඇය නැටුම් ගුරුවරියක්. සංගීතය විෂය ඉගෙන ගන්න ආ මොහොතක මට ඇය හමුවෙලා දැන හැඳින ගන්නවා. ඇය භරත නාට්‍යම් ශිල්පිනියක්. ගුරුවරියක්. ඇය හා ඇසුරු කරද්දී ඇය ගැන තමයි මේ ගීතය ලියවෙන්නේ. අද ඒ නැටුම් ගුරුවරී මගේ ජීවිතේ සෙවණැල්ල. ඇයටත් මටත් අපේ ජීවන ගමනේදී දූවරුන් දෙදෙනෙකුත්, පුතෙකුත් ඉන්නවා. ඔවුන්ටත් කලා හැකියාවන් පිහිටා තිබෙනවා.
?ඔබ ඔබේ බොහෝමයක් ගීතවල ගීත රචකයායි. මේ ගීතවලට වස්තු බීජ වුණ අදහස් එකල ගුවන් විදුලිය තුළින් අනුමත කරගන්න පුළුවන් වුණාද
ඒක හරිම අසීරුකාරියක්. මොන ගීතයක් වුණත් පළමුව පදමාලාව අනුමත වෙන්න ඕන. දෙවනුව ගීතය පටිගත වීමට සුදුසු තනුවක් සහිතයි කියලා අනුමත වෙන්න ඕන. ඒක තනිකරම නිර්මාණයකට පදනම් වෙන යුද්ධයක්. ලේසියෙන් ගීතයක් අනුමත කරගන්න බෑ. මම ලියූ ගීතයක පැරකුම් රජු ගැන කඩුවට කඩුව ගටා බලයෙන් බලය නසා කියන යෙදුම තිබුණා කියල එය ගුවන් විදුලියෙන් තහනම් කළා. ඉස්සර ගුවන් විදුලියේ යනවා කණ්ඩායම් ගී අඩපැය කියලා. මම ඒකට කොයිතරම් කැමතිද කිව්වොත් ඒ වෙලාවට ගෙදරින් එළියට නම් යන්නෙ නෑ. නමුත් අද එහෙම තෝරා බේරගෙන අහන්න දෙයක් නැහැ. අද අපි අහන්නේ අපට ඕන ගීතත් නෙවෙයි. චැනල්වලින් අපට බලෙන් අස්සවන ගීත. කැමති වුණත් නැතත් අපි ඉතිං ඒවා අහන්න ඕන.