ජනගීතය, ජනශ්රැතිය, සංස්කෘතිය, අපේකම, අපේ දේවල් සංරක්ෂණය කරමින් අනාගත පරපුරට එය දායාද කිරීමේ මෙහෙවරක යෙදී සිටින රන්වල බළකායේ ‘ගම අවුලඤ්ඤං’ ප්‍රසංග මාලාවේ තවත් සුවිශේෂී කඩඉමකට පැමිණ තිබෙයි. එනම් එම ප්‍රසංග මාලාවේ 999 වන ප්‍රසංගය අද (30දා) සවස 6.30ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමයි. ඒ ගැන කතා කිරීමට රන්වල බළකායේ නියමු සහන් රන්වලයන් අප සමග මෙලෙස එක්විය.
999 වැනි ප්‍රසංගය පිළිබඳව මුලින්ම පැවසුවොත්
අද (30දා) සවස 6.30ට ආනන්ද විද්‍යාලයේදී මෙය පැවැත්වෙනවා. ඒ වගේම හෙට (31දා) සවස 6ට නිදහස් චතුරශ්‍රයේදී ‘ගයමු’ නමින් නොමිලේ සන්දර්ශනයක් පැවැත්වෙනවා. ගාල්ල වයි එම්.සී. ශාලාව, කොළඹ අපේ ගම, ගම්පහ නිවහන යන ස්ථානවලත්, අපි අලුතින් කුරුණෑගල වයි.එම්.බී. හිදීත් රන්වල පදනමේ ශාඛාවක් ආරම්භ කරනවා. ඒ හරහාත් අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ‘ඒ ප්ලස්’ ළමා රූපවාහිනී සේවයේ හා ලක් එෆ්.එම් ගුවන් විදුලි සේවයේ ඉරිදා රාත්‍රී 9.00ට
‘ආයුබෝවේවා’ නමින් අපේ ගීත දර්ශකයක් විකාශය වනවා. ඒ තුළිනුත් අපේ නිර්මාණ රසවිඳින්න හැකියාව ලැබෙනවා.
ගම අවුලඤ්ඤං ප්‍රසංග මාලාවේ 999 වැනි ප්‍රසංගයේ ඇති සුවිශේෂත්වය ගැන අපි මුලින්ම කතා කරමු
සාමාන්‍යයෙන් සන්දර්ශනයක් පවත්වන්නේ සංවිධායකවරුන්ගේ ආරාධනාවකට හෝ මම හෝ අපේ කණ්ඩායම කියූ විටයි.
නමුත් මෙවර මේ ප්‍රාසාංගික ජන ගී සන්දර්ශනය පවත්වන්නේ මේ ක්‍රම දෙකටම නෙමෙයි. අපේ කණ්ඩායම තුළ සිටි පැරණි ශිල්පීන්ගේ ඉල්ලීමකට අනුවයි. එයට එළඹුණු විශේෂ අවස්ථාව තමයි මේ. ගම අවුලඤ්ඤං ප්‍රසංගයට සම්බන්ධ වූ පැරණි ශිල්පීන්ගේ දායකත්වයෙන් තමයි 999 ප්‍රසංගය පවත්වන්න සූදානම් වෙන්නේ.
මේ ප්‍රසංගයේ අන්තර්ගතය කෙබඳුද
මේ 999 වැනි ප්‍රසංගය සඳහා බොහෝ පැරණි අංගයන් අප ඇතුළත් කර තිබෙනවා. ගම අවුලඤ්ඤං කියන 999 වැනි විශේෂ කඩඉම් දර්ශනය සමන්විත වෙන්නේ පැරණි අංග වලින්. මීට කලින් මගේ තාත්තගේ (ලයනල් රන්වල) කාලයේදී ගම අවුලඤ්ඤං ප්‍රසංග මාලාව බලල තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මතකය අලුත් වෙන ප්‍රසංගයක් බවට මෙය පත්වෙයි කියලා මට කියන්න පුළුවන්.
999 ගම අවුලඤ්ඤං ප්‍රසංගයට එකතු වන ශිල්පීන් ගැන කතා කළොත්
තාත්තගේ කාලේ මේ කණ්ඩායම තුළ හිටපු ශිල්පීන් රැසක් මෙයට දායක වෙනවා. ඒ වෙද්දි කණ්ඩායමට ඇඳුමක්, නිශ්චිත නමක්, ප්‍රසංගයක ගලා යාමක් කියන දේවල් පටන් ගන්නත් කලින් හිටපු ශිල්පීන් තමයි මෙවර ප්‍රසංගයට දායක වෙන්නේ. තාත්තා නැතිවෙන්න කලින් හිටපු අය, නැතිවෙන කාලයේදී හිටපු ශිල්පීන් වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් හතළිස් දෙනෙකු පමණ මේ සන්දර්ශනයේ සිටිනවා. ඒ අය මේ වන විට ප්‍රසංගයට පුරුදු පුහුණු වෙනවා. අප මාධ්‍ය තුළින් හඳුනාගත් කිහිපදෙනෙකුත් ඒ අතර ඉන්නවා. ‘අපි නොදන්න ලයිව්’ කළ පොඩි මල්ලි, සුදේව හෙට්ටිආරච්චි, චතුර විජේරත්න (ටාසන් බාප්පා), අධ්‍යාපන අමාත්‍යාංශයේ කපිල මැද්දේගොඩ, සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන්, වසන්තා මධුරංගනී වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් මේ වැඩකටයුත්තේ ඉන්නවා.
999 ගම අවුලඤ්ඤං ප්‍රසංගයට දායක වන පැරණි ශිල්පීන් සමග එක්ව මේ කටයුත්ත කොළඹින් පිටට ගෙන යන්න බලාපොරොත්තු වෙනවද
මේ ප්‍රසංගය දිගටම කරන්න බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍යයෙන් නම් කණ්ඩායමකින් කෙනෙක් අයින් වුණා කියන්නේ ඔහු හෝ ඇය එක්ක එතරම් ගනුදෙනුවක් ඉන්පසු සිදුවෙන්නේ නැහැ කියන එක. නමුත් අපි එහෙම නෙමෙයි. තාත්තා ඉන්න කාලෙදිම පවුලක් වගේ ඉන්න පරිසරය හදල තිබුණා. ඒ නිසා මේ අය වේදිකාවට ආවෙ නැතත්, අපිත් එක්ක නිරන්තර සම්බන්ධතාව තිබුණා. වසරකට සැරයක් අපේ තාත්තගේ (ලයනල් රන්වලගේ) ජන්ම දිනයදා අපි ‘රන් සලකුණ’ කියන සන්දර්ශනයක් පවත්වනවා. මේ වන විට අපි සන්දර්ශන හයක් අඛණ්ඩව පවත්වනු ලැබුවා. ඒ සන්දර්ශන හයේදීම පැරණි ශිල්පීන් එහි එක් අංගයකට හෝ අංග දෙකකට දායක කර ගත්තා. එවන් අවස්ථාවකදී තමයි අපිම තනිව සන්දර්ශනයක් කරමු කියන අදහස ඔවුන්ට ඇති වෙන්නේ. ගම අවුලඤ්ඤං 999 වැනි දර්ශන වාරය පමණක් පැරණි ශිල්පීන් දායක වැනි සන්දර්ශනයක් බවට පත්වෙනවා.
මේ වන විට ප්‍රසංග 998ක් පවත්වා තිබෙනවා. ඒ ප්‍රසංග මාලාව දෙස හැරී බලද්දී ඔබේ අදහස කෙබඳුද
ගම අවුලඤ්ඤං ප්‍රසංගය කරද්දි දෙවැනි දර්ශනයක් කරනවා, තුන්වැනි දර්ශනයක් කරනවා කියන අදහස අපි තුළ තිබුණේ නැහැ. අපි එක ප්‍රසංගයක් කළාම දෙවැනි ප්‍රසංගයට ආරාධනා ලැබුණා. මෙතරම් දර්ශන වාර ප්‍රමාණයක් කරන්න ඕන කියලා අපි සැලසුම් කරල කළ වැඩක් නෙමෙයි. මෙය සමාජය විසින් නිරායාසයෙන් ගෙනාවා කිව්වොත් එය තමයි නිවැරදි. ඔවුන් කරමතින් තියාගෙන ආපු සන්දර්ශනයක් තමයි ගම අවුලඤ්ඤං කියන්නේ. මේ ප්‍රසංගය ඉස්සරහට ගේන්න ඕන කියලා අපිට අභියෝගයක් තිබුණෙත් නැහැ. පවත්වන සන්දර්ශනය හොඳින් කරන්න තමයි අපි කල්පනා කළේ. හැම සන්දර්ශනයක්ම නිම කළ පසු අපි කතා කරන දෙයක් තියෙනවා. ඒ එම සන්දර්ශනයේදී අපි අතින් සිදුවූ අඩුපාඩු මොකක්ද කියන කාරණය. ඊළඟ සංදර්ශනයේදී එම අඩුපාඩු නොවන්න වග බලා ගන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඒ ගැන අවධානය යොමු කරනවා. අපි කළ අනෙකුත් සන්දර්ශන දර්ශනවාර දහසක් වේදිකාගත කරයි කියලා මම හිතන්නේ නැහැ. ගම අවුලඤ්ඤං තමයි අපේ අඛණ්ඩ සන්දර්ශනය. අනෙකුත් සංදර්ශන එක්ක බැලුවාම මෙහි තාත්තගේ ගීත තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ. එය අඛණ්ඩව පවත්වාගෙන යන අතරේ අපි වෙනත් සන්දර්ශනත් කරනවා. එහෙම කරමින් තමයි මේ වැඩකටයුත්ත අපි ඉදිරියට ගෙන යන්නේ. ඒ වගේම ගොඩක් දෙනෙක් කියන්නේ අපි මෙච්චර රටට කරලා අපිට මොනවද ලැබුණේ කියලා. නමුත් මම නම් හිතන්නේ මම මේ රටට කළාට වඩා වැඩි දෙයක් මට මේ රටෙන් ලැබුණා කියලයි. මම ඒ ගැන තෘප්තිමත්. මම කරන දේ බොහෝ දෙනෙක් ඇගයුමට ලක් කරනවා. එහි යම් යම් දේවල් ගැන ආදරණීය විවේචනත් ලැබෙනවා. ඒවත් සතුටින් භාරගන්නවා. අපිට තිබෙන අභියෝගය මේ නූතන ප්රවාහයන් එක්ක ගලාගෙන යද්දි අපි විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් අපිට මහන්සි වෙන්න සිදුව තිබෙනවා. එය තමයි එකම අභියෝගය. එයට වඩාත් තෘප්තිමත්ව අපිට මුහුණ දෙන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ කටයුත්තට මම පොඩ්ඩක්වත් කම්මැලි නෑ. ඒ නිසාම මේ කටයුත්ත කිසියම් සාර්ථක ගමන් මගක යනවා කියන දේ ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට සම්මාන ලැබිලා තිබෙනවා. 2011 වසරේ ලෝකයේ හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායමට හිමි සම්මානය අපිට හිමි වුණා. ලංකාවට තමයි ලැබුණේ. ඒ ගෞරවය ආරක්ෂා වන පරිදි මේ කණ්ඩායම ඉදිරියට ගෙන යාම තමයි මගේ වගකීම ලෙස සලකන්නේ.
මේ කටයුත්තට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැත්තෙන් හෝ මිට අදාළ පාර්ශ්වයන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය අනුෂා ගෝකුල මහත්මිය මෙවැනි වැඩකටයුතු කරන සියලුදෙනාටම සහයෝගය ලබාදෙනවා. ‘ගයමු’ ප්‍රසංගය අපි පවත්වන්නෙත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග එකතුවෙලා. ඊට අමතරව දේශපාලනයෙන් නම් මේ දේවල්වලට සහයෝගයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඒ අයට අදාළ නැති වැඩ තමයි අපි කරන්නේ.
වැඩි විස්තර - 0779467484