ආදරය සුන්දරය. උත්තරීතරය, බොහෝ මිනිසුන් ආදරය ගැන විශ්වාසය කරන්නේ එලෙසය. අඩු තරමින් ආදරය කරනා මිනිසුන් හා ගැහැනුන් එහෙම විශ්වාස කිරීමට කැමතිය. එහෙත් ඕනෑම ‘උත්තම ආලයක’ අධමත්වයක්ද පවතී යැයි කිසිවෙකු කියන්නේ නම් ඔබ එක්වරම එය පිළිගැනීමට අකමැති වනු ඇත. එහෙත් සත්‍යය නම් ඕනෑම උත්තම ආලයක වුවද අඳුරු අහුමුලු බොහෝ ඇති බවය. උත්තම ආලයක එවන් අඳුරු අහුමුලු ගැන අපට කියනා කතාවකි. ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායිගේ A Great Love ‘උත්තම ආලයක කතාවක්’ ලෙසින් එය සංහල පරිවර්තනය කළේ චූලානන්ද සමරනායකය.
මෙහි කතුවරිය ගැන වචන කිහිපයක් සඳහන් කරන්නේ නම් සෝවියට් විප්ලවයේ ක්‍රියාශීලී සාමාජිකාවක වූ ඇය විජලවයෙන් අනතුරුව බිහි වූ සෝවියට් ආණ්ඩුවේ නෝර්වේ තානාපති ධුරයද දැරීය. ඒ වගේම ඇය ලෙනින්ගේ සමීපතම මිතුරියකද වූවාය. විප්ලවවාදිනියක ලෙස රහසිගත දේශපාලනයක නිරත වන ඇය තමාගේ එම අත්දැකීම් අළලා රචිත ‘උත්තම ආලයක කතාවක්’ තුළින් අපට හෙළි කරන එක් මහඟු සත්‍යයක් තිබේ. එනම් ඒකාධිපතියෙකු, ධනවාදියෙකු, සමාජවාදියෙකු යන මේ කොයි කවුරුත් ආලයේදී අධම බවය. සැබැවින්ම උත්තම ආලයකදී වුවද මිනිසුන් අධමය. මුළු මහත් සමාජයක යහපත වෙනුවෙන් මේ ජීවිතයම වුව කැපකර සිටිනා මිනිසුන් පවා ආලයේදී ආත්මාර්ථකාමීය, ඊර්ෂ්යාපරවශය.
ඇය නතාෂාය. ඔහු ශෙන්ජාය. දෙදෙනාම අරගලයේ ක්‍රියාකාරී භූමිකාවන්ට පණ පෙවූවන්ය. ඔවුන්ගේ ආලය දලුලන්නේද මේ දේශපාලන සබඳතාවේ පදනම මතමය. සංවිධානය තුළ ඔහු සිටියේ ඇයට ඉහළිනි. මේ නිසාම ඔහුගේ ආදරය ඇයගේ දේශපාලන වගකීම්වලටද යම් බලපෑමක් කරමින් තිබිණි. ආදරයේදී ඔවුන් සමාන පංගුකාරයන් වනු වෙනුවට ඔහු ඇයගෙන් සියල්ල ඉල්වීය. තනිකරම ආත්මාර්ථකාමී ඔහුගේ ආදරය, මේ නිසා ඇයට රිදවූ වාර අනන්තය.
තමා වෙනුවෙන් ඇගෙන් සියල්ල බලාපොරොත්තු වූ ඔහු තමන්ගේ පවුල් ජීවිතය මෙන්ම දේශපාලනයේ තමාගේ තැනද ඇතුළු සියල්ල රැකගන්නට වගබලා ගනී. කෙටියෙන්ම පවසන්නේ නම් ඇය යනු ඔහුගේ ජීවිතය තුළ දියව යන හිම කැටියක් වීම ඔහුගේ ආශාව විය. උත්තම ආලයක කතාවක් හරහා කොලොන්තායි අපට කියන්නේ එම ආදරයේ මිහිරේ සහ වේදනාවන්ගේ මතකයන් පිළිබඳවය. ඉතින් ආදරයක වේදනාබර මතක සමගින් ඇය උත්තම ආලයක කතාවක් අවසන් කරන්නේ මෙලෙස පවසමිනි.
“ඇය යළිත් තම සුපුරුදු වැඩකටයුතු කරා පැමිණ සිටියාය. කලකට පෙර බොහෝ කලකට පෙර ඉතා උතුම් ආශ්චර්යමත් මනස්කාන්ත ආලයක් තිබිණි. එහෙත් දැන් එය මිය ගොසිනි. සිය පුරුෂමය ගතිලක්ෂණ නිසා ඇය නිවැරදිව වටහා ගැනීමට තමන් තුළ වූ අසමත්භාවය හේතුවෙන් ශෙන්ජා විසින් ඇති කරන ලද නිමක් නැති පුංචි පුංචි තුවාල දැන් ඇගේ හදවතින් පලා ගොසිනි”.
ප්‍රියන්ත ලියනගේ