අනාගතය සුබවාදී කර ගැනීමට උත්සහ දරන ඔබට විභාගවලට මුහුණ දීමට නිතැතින්ම සිදුවන්නේ ජීවිතයේ බොහෝ කඩඉම් ජය ගැනීම සඳහා Paper Qualificationsවල අවශ්‍යතාව මතුවන බැවිණි.
පාසල් ශිෂයෙකු හෝ විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස පූර්ණකාලීන අධ්‍යාපනයේ යෙදෙන අයෙකුට නම් ඉගෙනීම් කටයුතු හා විභාග කටයුතුවලට තමන්ගේ කාල කළමනාකරණය කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. නමුත් රැකියාවක නිරතවන අතරතුර අධ්‍යාපනය ලබන අයෙකුට රැකියාවේ යෙදෙන අතරතුර විභාග කටයුතු සඳහා තමන්ගේ කාලය කළමනාකරණය කර ගැනීම එතරම් පහසුවෙන් සිදුකරගැනීමට නොහැකිවනු ඇත.
මේ නිසාම පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ විධායක අධ්යක්ෂ හා නිර්මාතෘ / බාහිර කථිකාචාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය සමග අප විසින් අදහස් විමසා බලනු ලැබුවේ රැකියාවට බාධා නොවන අයුරෙන් විභාගයකට මුහුණ දීමට අවැසි වටපිටාව සාදාගන්නේ කෙසේද යන්න පිළිබඳවය.
පළමුවෙන්ම අපි විභාගය යනු කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරගත යුතුයි. එය ජීවන තීර්ථකයක් නැත්නම් ජීවිතයේ යම්කිසි අඩිතාලමක් දමා ගැනීම සඳහා හෝ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම සඳහා අප විසින් මුහුණ දෙනු ලබන්නක්. එසේනම් විභාගයක් දෙස අප බැලිය යුත්තේ සාමාන්‍ය ජීවිතයේ අනෙක් කරුණු දෙස බලනවාට වඩා ඉහළ අවධානයක් යොමු කරමින්. විභාගයක් සඳහා අවශ්‍ය වටිනාකමක් අපි ලබාදෙනවා නම් එයට අපි කල්තියා සූදානම් විය යුතුයි. මේ පෙර සූදානම සැලැස්මක් ඇතිව සිදුවිය යුත්තක්. තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු නිසා විභාගයකට ඇති පෙර සූදානම අහිමි කරගැනීම කිසිවිටෙකත් සිදු නොවිය යුත්තක්.
එම විභාගයට සාර්ථකව මුහුණ දෙන්නට නම් කල්තියා තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කැප විය යුතුයි. විභාගයට මානසිකත්වය සාදා ගැනීමට අපට අවවාද උපදෙස් හා මාර්ගෝපදේශනය ආදිය වෙනත් අයගෙන් ලැබෙන්නට පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම රැඳෙනුයේ තමා කියන පුද්ගලයා වටායි. එසේනම් තමා සුබවාදී ලෙස විභාගය තමන්ගේ ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් ලෙස හඳුනා නොගතහොත් අනාගතයේ යම් දිනක පසුතැවෙන්නට සිදුවන්නේත් ඔබටමයි.
විභාග සඳහා සූදානමට පන්ති යෑම අවශ්‍යමද?
ඉගෙන ගැනීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ඕනෑම ක්‍රමයකින් ඉගෙනීම සඳහා කැපවීම් එයින් එක් ක්‍රම වේදයක්. ධනාත්මක චින්තනය කියන දෙය මෙහිදී අත්‍යාවශ්‍ය වෙනවා. මට බැහැ අනේ මට පුළුවන්ද ? කියන සෘණාත්මක ආකල්පවලින් බැහැර වෙනවා නම් කළ නොහැකි කිසිවක් නැහැ. එසේනම් මනස සකස් කරගැනීම හා සංයමයට පත්කිරීම තුළින් තමයි අපට මේ හැම දෙයකටම ඉලක්ක ගතවිය හැකි වන්නේ. ඒ නිසා විභාගයක් යනු පාසල් සිසුවෙකුට කඩඉමක් බවට පත්වෙනවා. වෘත්තිකයෙකුට විභාගය කඩඉමක් වගේම එය තමන්ගේ රැකියාවේ මීළඟ ශ්‍රේණිය සඳහා උසස්වීමක් වෙනුවෙන් හෝ ජීවිතයේ තවත් ආන්දෝලත්මක තීරණයක් පවා විය හැකියි.
එසේම විදේශගත රැකියාවක් සඳහා මාවත විවෘත කරගැනීමක් ආදී අරමුණු රැසක් මේ විභාගය තුළ ගැබ්වී තිබිය හැකියි. ඇතැම් වෙලාවට පොතපත පරිශීලනයෙන් පමණක් අපිට මේ විභාගයන් සඳහා අවශ්‍ය දැනුම ලබාගත හැකියි. ඒ නිසා විභාගයකදී වැඩි කාලයක් පොතපත සමග කාලය ගතකිරීම ඉතාම වැදගත් වෙනවා. පන්ති යෑමම අවශ්‍ය නොවන නමුත් එම විභාගයන් සඳහාම පවත්වන පන්තියකට සහභාගිවීම මගින් විශේෂ වරප්‍රසාද හිමිකරගන්නට හැකියාවක් පවතිනවා.
විශේෂයෙන් අපට විවිධ තරාතිරම්වල සිටින විවිධ අධ්‍යාපනික පසුබ්ම්වල සිටින කණ්ඩායමක් මේ පන්තිවලදී මුණගැසෙනවා. පොතපතේ දැනුම නිසි පරිදි අපි ලබා ගත්තාද යන්න මනින්නට පුළුවන් තැනක් තමයි කණ්ඩායමක් ලෙස පන්තියකදී කටයුතු කිරීම දැක්විය හැක්කේ. පොතපතින් සොයා නොගත් කරුණු අනෙකාට ඇහුම්කන් දීම තුළින් හෝ පන්ති පවත්වන විද්වත් දේශක මණ්ඩල දේශනවලින් ලබාගත හැකියි.
නමුත් අපට විභාගයකට මුහුණ දෙන්න පන්ති යන්න අවශ්‍යම නැහැ වගේම පන්ති යන අයත් පන්තියේ දැනුම පමණක්ම විභාගය ගොඩ දමා ගැනීමට ප්‍රමාණවත් බවට සලකා කටයුතු නොකළ යුතුයි. පන්තියට යන නිසා විභාගය සමත්වීම නොව ස්වකැපවීම හා ස්වෝත්සහය නිසා විභාගය සමත්වන බව අප වටහාගත යුතුයි. පුළුවන් තරම් පොතපත පරිශීලනය කිරීම මගින් මෙන්ම විද්වත් සාකච්ඡා කණ්ඩායම් මගින් තමන්ගේ දැනුම ඉහළ දමාගත හැකියි.
මේ නිසා සම කණ්ඩායම් සමග දැනුම සාකච්ජා කිරීම ඉතාම හොඳ ප්‍රවණතාවක් ලෙසයි මම දකින්නේ. එසේම තමන්ට වඩා ඉහළ දැනුමක් ඇති පුද්ගලයෙකු සමග කථිකාවක් පැවැත්වීම වඩාත් සුදුසුයි.
එසේම නිවසේ සිටියදී වුණත් තාක්ෂණය හරහා දැනුම සොයා යෑම අපට සිදුකළ හැකියි. අන්තර්ජාලය භාවිත කර දැනුම සොයන විට පිළිගත් වෙබ් අඩවි හා පිළිගත් මූලාශ්‍ර භාවිත කළ යුතුයි. තමන් අධ්‍යාපනය ලබන ක්ෂේත්රයට අදාළ දැනුම රැස් නොකරගෙන කවදාවත් විභාගයක් ජයගන්නට ලැබෙන්නේ නැහැ.
රැකියාවක නිරතවන අතරතුර විභාගයට සූදානම් වෙනවාද?
රැකියාව නිරත වන අයෙකු හෝ ශිෂ්‍යයෙකු ලෙස හෝ විභාගයකට මුහුණදෙන අයෙකු සමබරව තමන්ගේ කටයුතු සිදු කර නොගනීනම් අනිවාර්යෙන් විභාගයක් ළංවන විට ආතතියට පත්වෙනවා. මේ ආතතිය නැති කරගන්නනම් පළමු පියවරේ සිට විභාගය යන්න කම්පනයක් බවට පත්කර නොගත යුතුයි. විභාගය යනු ජීවිතයේ එක්තරා සන්ධිස්ථානයක් ලෙස වටහාගෙන ඒ සඳහා පෙර සූදානමකින් කටයුතු කිරීම තුළින් ඉතාම සැහැල්ලුවෙන් විභාගයකට මුහුණදිය හැකියි.
අන්තිම මොහොත වන තුරු නොසිට පෙර සූදානමකින් කටයුතු කිරීම තුළින් අනවශ්‍ය ප්‍රශ්න, ගැටලු, විභාගවලට ඇති අනියත බියෙන් තොරව කටයුතු කිරීමට හැකිවේවි. රැකියාවක් කරන අයෙකු බොහෝ විට විභාගවලට මුහුණ දෙන්නේ උසස් වීමක් බලාපොරොත්තුවෙන්. එසේ නැත්නම් ජීවිතයේ මීළඟ පියවර දක්වා ඉදිරියට යෑමට විය හැකියි. ඒ නිසා ඔවුන් විභාගය යනු අත්‍යවශ්‍යයෙන් මුහුණදිය යුත්තක් ලෙස වටහාගත යුතුයි.
විභාගයකට මුහුණ දෙන අයෙකුට අනිවාර්යයෙන් මානසික විවේකය අවශ්‍යයි. ඒ නිසා අන්තිම දිනය වනතුරු නොසිට පෙර සිටම සැලැස්මක් ඇතිකරගෙන කැපවීමක් ඇතිව දෛනිකව කාලයක් පාඩම් වැඩ සඳහා වෙන්කර ගන්න. අවම තරමේ විභාගයට දින තුනක්වත් තිබියදී මානසික සුවයෙන් තමන්ගේ ආගම දහමට අනුව වැඩකටයුතු සිදුකරන්නේ නම් විභාගයකට පහසුවෙන් මුහුණදෙන්නට තමන්ට හැකිවේවි.
රැකියාවක නිරතවන අයෙකුට හිමි නිවාඩු සේවක අයිතිවාසිකමක්. බොහෝවිට තමන්ගේ හරවත් සහ තීරණාත්මක අවස්ථාවකදී භාවිත කිරීමට මෙම නිවාඩු දින ගණන සේවායෝජකයා විසින් සේවකයාට ලබාදී තිබෙනවා. එසේ නම් මේ නිවාඩු දින ගණන යහපත් ලෙස කළමනාකරණය කරගන්නට සේවකයාට හැකිවිය යුතුයි.
අවුරුද්දක් ආරම්භයේදීම තමන්ගේ නිවාඩු දින ගණන අනවශ්‍ය ලෙස භාවිතයට ගෙන තිබෙනවා නම් අවුරුද්ද අවසානයේ හිතපු නැති විදිහට නිවාඩු අවශ්‍යතා මතු වන්නට පුළුවන්. හොඳ සේවකයෙක් කෙදිනකවත් No Pay නිවාඩු ලබාගන්නේ නැහැ. නොවැළැක්විය හැකි හේතුවක් නිසා නිවාඩු ගන්නට සිදුවුණොත් හැර පළමු කාර්තුවේ නිවාඩු නොගෙන සිටීමට හොඳ සේවකයෙකුට හැකිවිය යුතුයි.
මෙලෙස ඉතිරි කරගන්නා ඔබේ නිවාඩු දින ගණන අධ්‍යාපනික කාර්යන් සඳහා මෙන්ම විභාග සඳහා භාවිතයට ගත හැකියි. එසේම විභාග සඳහා පාඩම් කිරීමට ලබාගන්නා නිවාඩුව එම කටයුතු සඳහා මිස වෙනත් දේ සඳහා වැය නොකළ යුතුයි. රැකියාවක නිරතවන සේවකයෙක් කාලය කළමනාකරණය හා වේලාවට වැඩ කිරීමට හුරුවීම ඔවුන්ගේ වගකීමක් ලෙස වටහාගත යුතුයි. ඒ අනුව තමන්ගේ වැඩ කටයුතු කලට, වේලාවට නිම කර පාඩම් වැඩ සඳහා කාලය කළමනාකරණය කරගත යුතුයි.
නදීශානි පතිරණ