මානව ශිෂ්ටාචාරය විසින් ගොඩනගන ලද වඩාත් නවෝත්පාදක සහ සංකීර්ණම ප්රපංචය වන්නේ නගර යැයි එක් විචාරකයෙකු සඳහන් කර ඇත. නගර යනු ආර්ථික මර්මස්ථාන වෙයි. සෑම ශිෂ්ටාචාරයක්ම ගත් විට වැඩිම පුහුණුවක් ලැබූ ශ්‍රම බළකාය සිටින්නේ නගරවලයි. ජාතික ධනයෙන් වැඩිම කොටස ගොඩගැසී ඇත්තේද නගර තුළයි.
නගරයක් යනු වනාන්තරයක් මෙන් ඉබේ නිර්මාණය වන දෙයක් නොවේ. එය මිනිසාගේ නිර්මාණයකි. නගරවැසියන්ට ආරක්ෂාවද සතුටද ලැබෙන පරිදි නගරයක් නිර්මාණය විය යුතු යැයි ඇරිස්ටෝටල් වරක් සඳහන් කළේ එබැවිනි. නගරයක් සැලසුම් කිරීම තාක්ෂණික කරුණක් මෙන්ම දේශපාලනික කරුණක්ද වෙයි.
බටහිර ලෝකයේ ඇතැම් නගර මෙලෙස ඉතා සැලසුම්සහගත ලෙස ගොඩනැගෙයි. වියනා එවැනි නගරයකට පරමාදර්ශයකි. කාර්ල් ක්‍රෝස් නම් විද්වතා වරක් පවසන්නේ බොහෝ නගරවල මාර්ගවල අතුරා ඇත්තේ තාරය, එහෙත් වියනාවේ අතුරා ඇත්තේ සංස්කෘතියයි කියායි. වියනාහි සෑමදෙයක්ම පිරිසුදුය. පිළිවෙළය. මනරම්ය. සංගීතය ජීවිතය විඳින මිනිසුන්ගෙන් පිරී ඇත.
නගරයක් නිර්මාණය කිරීමේදී වෙනස් වන අවශ්‍යතා තේරුම් ගැනීම බොහෝ රටවල නගර සැලසුම්කරුවන්ද, දේශපාලඥයන්ද අතින් සිදුවන්නකි. උදාහරණයක් ලෙස ශීඝ්‍රයෙන් මධ්‍යම පන්තියක් නිර්මාණය වීම ශ්‍රී ලංකාව වැනි රටක සිදුවන්නකි. එය කල් තබා හඳුනාගැනීම සැලසුම්කරුවන් සිදුකළ යුත්තකි.
පෝලන්තය වැනි රටවල් නගර තුළ වාහන තදබදය පාලනය කිරීම සඳහා මහාමාර්ග සහ වාහන ගාල් කිරීමේ ස්ථාන නිසි පරිදි සැලසුම් කිරීම පමණක් නොව ඒ සඳහා ජංගම දුරකථන ඇප් ආදී නවීනතම තාක්ෂණය භාවිත කරයි. පරිගණක කෘත්‍රිම බුද්ධිය භාවිත කරන වාහන ගාල් කිරීමේ ක්‍රම (intelligent parking systems) මෑතකදී හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන වන කොළඹ අවට ප්‍රදේශවල වාහන ගාල් කිරීමට නොහැකිකමින් ඇති වන්නේ විශාල ආර්ථික සහ සාමාජීය අවුල්කාරී තත්ත්වයකි. මෙය නූතන ගැටලුවක් වන අතර, එය දිනෙන් දින වර්ධනය වීම වැළැක්විය නොහැකිය. නූතනත්වය සමගින් අලුතින් ඇතිවන තත්ත්වයන් හඳුනා ගැනීම සහ ඒවාට නවෝත්පාදක පිළිතුරු ලබාදීම දියුණුවේ ලකුණකි. මෙනයින්, නගර සැලසුම් යනු කලාවකි.
මීට සියවසකට පමණ ඉහතදී නගර ආශ්‍රිතව ජීවත් වූයේ ලෝකයේ ජනගහනයෙන් සියයට 10ක් පමණි. මේ වන විට ලෝක ජනගහනයෙන් සියයට 50ක් පමණ නගර ආශ්‍රිතව ජීවත් වෙයි. 2030 වසර වන විට එය සියයට 60 දක්වා ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. ආර්ථික ගෝලීයකරණයේ නවතම ස්වරූපය අනුව නගර යනු දිනෙන් දින පුළුල් වන ප්රපංචයකි. නගර සැලසුම් මෙසපොතේනියාවේද, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේද, ඊජිප්තුවේද තිබූ බව සත්‍යයකි. එහෙත් ඒ කිසිවකට වඩා වෙනස් වූ බොහෝ වර්ධනයන් නූතන නගර ඇසුරේ ඇත.
දර්ශන අශෝක කුමාර