තෙමිල්ලට අප කවුරුත් අකමැති වුණත් තෙමිල්ලෙන් බේරෙන්න බැරිය. කොහොමහරි තෙමෙන්න සිද්ධ වෙනවාය. පුංචි කාලේ අප කවුරුත් කළේ නිදා සිටින ඇඳ තෙමිල්ලය. කුඩා දරුවන් ඇඳ විතරක් නොව අඳින ඇඳුම්ද තෙමා ගන්නවාය. දරුවන් පමණක් නොව වැඩුණු අයද ඇඳ තෙමා ගන්නවාය. එහෙම නින්දේදී ඇඳ තෙමා ගන්නේ විවිධ රෝග නිසා යැයි කියනවාය. කුඩා කල ඇඳ තෙමාගත් අය මහලු වියේදීද ඇඳ තෙමා ගන්නේ අබල දුබල වී නැගිටින්නට බැරිවුණු විටය.
බිය වූ විටද ඇඳ සිටින ඇඳුම් තෙමා ගන්නා අය සිටිනවාය. අද වරදක් නොකළත් පොලිස් කූඩුවේ ලගින්නට සිද්ධ වෙන බොහෝ දෙනාට ඇඳුම් තෙමා ගන්නට සිද්ධ වෙන්නේ පොලිස් නිලධාරීන්ගෙන් ගුටි කන්නට සිද්ධවෙන කොටය.
වැස්සට තෙමිල්ලෙන් රෝග වැලඳෙන්නට පුළුවන්ය. වායුගෝලයේ ඇති විෂබීජ වැස්ස සමග එකතු වී පොළොවට වැටෙන නිසා වැස්සට තෙමුණාම රෝග හැදෙනවාය. තෙමිල්ල නිසා ඇතිවන රෝගයක් වන්නේ සෙම්ප්රතිශ්යාවය. ඒත් අද නම් වැස්සට තෙමිලා හැදෙන්නේ ඉන්ෆ්ලුවෙන්සාවය. දැඩි ඉඩෝරයට පසු වසින වැස්සෙන් තෙමෙන්න හොඳ නැත්තේ එයින් ලෙඩ බෝ වීම වැඩිවන හින්දාය. ඒත් සමහරු නම් ඉඩෝරයක් අවසන් කරමින් වසින වැස්සට තෙමෙන්නේ සතුටටය. දැඩි උණුසුම දරාගන්න බැරිව සමහරුන් නිතර ඇඟ තෙමා ගන්නවාය.
නිදිමත අඩුකර ගැනීමටද මුහුණ තෙමා ගන්නවාය. විභාගය ළං වන විට නිදිමත නැතිවෙන්න මුහුණ තෙමාගෙන පාඩම් කරන සිසුන්ට විභාග ෆේල් වුණාම ඇස් කඳුළෙන් තෙමා ගන්නට සිද්ධ වෙනවාය. අනුන්ගේ අනුකම්පාව දිනාගන්නටද කඳුළෙන් ඇස් තෙමා ගන්නා අය ඕනෑ පදම් ඉන්නවාය. හිතට කනගාටුවක් ඇති වූ විට එය පිටතට පෙනේන්නේ ඇස් කඳුළෙන් තෙමිල්ලෙන්ය. දුකට පමණක් නොව සතුටටද කඳුළෙන් ඇස් තෙමෙනවාය. එහෙම තෙමෙන කඳුළුවලට කියන්නේ සතුටු කඳුළු කියලාය.
තෙමෙන්නට නරකම වැස්ස මුරුගසං වරුසාවය. ලෝක විනාශයේදී එක දිගට දවස් හතක් ඇදහැළෙන මේ වැස්සට තෙමුණු අය විනාශ වෙනවා යයි %අනාගත වංශ^ දේශනාවේ සඳහන්ව තිබෙනවාය. මේ වැස්සට තෙමුණු කෙනාට අනෙකා සතෙක් වගේ පෙනීම හින්දා එකිනෙකා කපා කොටාගෙන විනාශ වෙනවාය. ඒ නිසා ඒ වැස්සෙන් නොතෙමී ඉන්නට උත්සාහ කිරීම හොඳය.
හිස කැක්කුම වැඩි වූ විට ඕඩිකොලොන්වලින් හිස තෙමනවාය. දොස්තර මහතා කියන්නේ දරුවන්ට උණ වැඩි වූ විට අයිස් වතුරෙන් තෙමා උණ අඩු කරගත යුතු බවය. සමහර බටහිර රටවල අයිස් වැටෙන විට අයිස්වලින් ඇඟ තෙමිල්ල ක්රීඩාවක් බවට පත්වෙලා තියෙනවාය. ඇඳුම් ඇඳගෙන සිටින අය වැස්සට තෙමුණු විට ඇඳුම්ද තෙමෙනවාය. දුප්පතාගේ ඇඳුම් තෙමුණු විට ඇඳුම් මාරු කරන්නට බැරි වන්නේ වෙනත් ඇඳුමක් නැති හින්දාය. ඇඳුම් නොතෙමා නාන්නට ඕනෑ කරන අයට නම් නාන කාමරවල නාන්න පුළුවන්ය. ඒත් නාන කාමර නැතුව එළියේ නාන අයට සිද්ධ වෙන්නේ ඇඳුම් තෙමාගෙන නාන්නටය. මොන මොනවා නොතෙමා නෑවත් ඔළුව තෙමා ගන්නේ නැතුව නාන්න ක්රමයක් නැත්තේය.
වැස්සට තෙමෙන්නට මිනිසුන් වගේම සතුන්ද කැමැති නැත්තේය. එහෙම තෙමිල්ල වළක්වා ගන්න කුරුල්ලන් කූඩු හදනවාය. අනිත් සතුන්ටද නෙතෙමී ඉන්න ක්රම තියෙනවාය. ඒත් සමහර සතුන් නම් තෙමෙන්න හරිම කැමැතිය. මී හරකා එහෙම තෙමෙන්නට කැමැති සතෙක්ය. ඒ හින්දා ඌ වතුරේ ඉඳගෙන තෙමෙනවාය. තෙමෙන්න අකැමැති වුණත් වඳුරාට නම් සිද්ධ වෙන්නේ හැම වැස්සකටම තෙමෙන්නටය. එයට හේතුව උන්ට ගෙවල් හදන්න මතක් වෙන්නේ වැස්සට තෙමුණාට පසුව වීමය. උන් &තෝ මිටියයි මට මිටියයි - හට බට කොළ අට මිටියයි* කියලා වැස්සෙන් නොතෙමී ඉන්න ගෙවල් හදන්න කතා වෙනවාය. වැස්සේ තෙමෙනකොට එහෙම කතා වුණත් වැස්ස පෑවුවාට පස්සේ ඒ සියල්ල අමතක වෙන හින්දා වඳුරන්ට සිද්ධ වෙන්නේ හැමදාම තෙමෙමින් ඉන්නටය. ඒත් කොච්චර වැහිවලට තෙමුණත් වඳුරන්ට මිනිසුන්ට වාගේ වැස්සෙන් තෙමිලා ලෙඩ හැදෙන්නේ නැත්තේය.
මුහුදු රළ පාගන්නට ගිය විට නම් අනිවාර්යයෙන්ම රළ පාරට තෙමා ගන්න සිද්ධ වෙනවාය. රළ පහර වැඩි උසින් ආවොත් කකුල් පමණක් නොව මුළු ඇඟම තෙමා ගන්න වෙනවාය. එහෙම තෙමිලා විතරක් නැතුව සමහර අය මුහුදට ගසාගෙන ගිය අවස්ථාවන්ද තිබෙනවාය. පහුගිය සුනාමියට මිනිස්සු තෙමිලා විතරක් බේරුණේ නැත්තේය. මිනිස්සු පමණක් නොව ගෙවල් දොරවල්ද මුහුදට ගසාගෙන ගියේ තෙමිල්ලේ සැරකමටය.
විශාඛා සිටු දේවිය නම් සූසැට අභරණ පැලඳගෙන දුවන්නේ නැතුව අනෝරා වැස්සට තෙමුණාය. ඇය පැවසුවේ තමා නොදුවා වැස්සට තෙමුණේ දුවලා වැටී අතපය බිඳ ගන්නට සිදුවන වින්නැහියෙන් බේරීම සඳහා බවය. ඒත් විශාඛාවට වගේ නොදුවා තෙමා ගන්නට අද තරුණියන් නම් අකමැතිය. තෙමුණත් නැතත් හිමින් ගමනක් නැති ඒ ගොල්ල කරන්නේ කඩි කුලප්පුව හැදුණා වගේ දුවන එකය. පාර තෙමුණු විට ලිස්සනවාය. මිනිසුන් විතරක් නොව වාහනද ලිස්සා ගොස් මාරක අනතුරු වෙනවාය. මඩ වගුරේ ඊගහේ වේගයෙන් යන නොසන්ඩාල රියදුරන් නිසා මගීන්ට සිදුව ඇත්තේ වැහි වතුරෙන් නොව මඩ වතුරෙන් තෙමෙන්නටය. තරුණියන් කුඩ පාවිච්චි කරන්නේ වැස්සෙන් නොතෙමී ඉන්නටය. ඒත් සමහර අය සායම සේදෙනවා යැයි කුඩේ දිග නොහැර වැස්සට තෙමි තෙමී යනවාය.
තෙමිච්ච කුකුළා වගේ ඉන්නවා යැයි කියන්නේ සද්දයක් බද්දයක් නැතුව ඉන්න එකටය. ඒත් සද්දෙ දාන අයට වැඩිය තෙමිච්ච කුකුළන් වගේ ඉන්න අයගෙන් පරෙස්සම් වෙන්න වෙනවාය.
මල් තෙමනවාට කියන්නේ දොහොන් කරනවා කියලාය. සමහර කොල්ලන් කෙල්ලන් තෙමි තෙමී මල් කඩනවා දැකගන්න පුළුවන්ය. ඒ වෙලාවට ඒ ගොල්ලන්ට තෙමිල්ල ගාණක් නැත්තේය. ඉස්සර බණට වඩින හාමුදුරුවන්ගේ කකුල් තෙමන්නේ කකුල් පිරිසුදු කිරීමටය. ඒත් අදටද කාරයෙන් බහින හාමුදුරුවන්ගේ සෙරෙප්පු ගැල වූ කකුල් තෙමන්නේ ගෞරව කිරීමක් වශයෙන්ය.
යාගහෝම කරන බමුණන් වතුරෙන් නොව කිරිවලින් තෙමෙනවාය. ඔවුන් එහෙම තෙමා ගන්නේ පිරිසුදු වන්නටය. &කිරි දියෙහි දෙවියත්, අඟුරු සුදු වන කලෙක් නම් නැත්* යැයි ගුත්තිල පණ්ඩිතයන් මූසිලයා ගැන කීවේ කිරිවලින් තෙමලා විතරක් නොව සෝදලාද අඟුරු සුදු කරන්නට බැරිය කියන එකය.
අලින්ට මද කිපුණු විට සිද්ධ වෙන්නේ කම්මුල් තෙමිල්ලය. එසේ කම්මුල් තෙමිලා වියරු වැටුණු ඇතුන් මෙල්ල කරන්නට අමාරුය. ඒත් ඡන්දෙන් දිනපු අලි හතර වරම් ගහන්නේ ඇත්තටම කම්මුල් තෙමිලා වගේය.