දිනක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හා උන්වහන්සේගේ මව්තුමියට එනම් මරියතුමියට කානාහි සරණ මංගල්‍යයකට ආරාධනා ලැබිණි. එයට සහභාගි වූ උන්වහන්සේ මංගල්‍යයට උදව් කරමින් සිටියේය. මෙහිදී එක් සේවකයෙකු පැමිණ පැවසූයේ මිදි යුෂ අවසන්ව ඇති බවයි. ජේසුස් වහන්සේ එවිට ඔහුට පැවසුවේ භාජනවලට වතුර පුරවන ලෙසයි. අවසානයේ ජේසුස් වහන්සේ එම වතුර මිදියුෂ බවට පත් කළේය. විවාහ මංගලෝත්සවයට අවැසි මිදි යුෂ ලබා දුන්නේය.
මේ ජේසුස් වහන්සේ කළ ප්රාතිහාර්යකි. නමුත් ලංකාවේද මෙවැනි දෙයක් සිදු වී ඇත. ඒ රංග බණ්ඩාර ඇමතිවරයා විසින් වොඩ්කා වතුර බවට පත් කිරීමයි. එය මේ දිනවල දේශපාලන කරළියේ වැඩියෙන්ම කතාබහ කරන මාතෘකා දෙකින් එකකි. ඇත්තෙන්ම ලංකාවේ දේශපාලඥයන්ද ඒ වගේ ප්රාතිහාර්ය කළ හැකි අයය. ඇත්තෙන්ම ලංකාවේ සමහර දේශපාලඥයන් ඉන්නට ඕනෑ පාර්ලිමේන්තුවේ නොව දේව මණ්ඩලයේය. ඔවුන්ගේ ප්රාතිහාර්යයන් කාටත් නොදෙවෙනිය. වොඩ්කා වතුර කිරීමත් එවැනි ක්‍රියාවක්ය.
මේ දිනවල කතාබහට ලක්වෙන අනෙකුත් කාරණාව බැඳුම්කර මුදල් පිළිබඳවය. පාර්ලිමේන්තුවේ ප්රාතිහාර්ය කරන දේශපාලඥයන් බැඳුම්කර ආනුභාවයෙන් ලබාගත් චෙක්පත් ගැන කතාබහ කෙරේ. දේශපාලන කරළිය රත් කරන මෙම බැඳුම්කර කෙරුවාවේ රහස් එළිවෙමින් පවතින්නේ දැන්ය. මේ වන විට දේශපාලන රංග භූමියෙහි කතාවන තොරතුරු අතර එක්තරා සුවිශේෂී චරිතයක් මතුව ආවේය. ඒ මුලතිව් ප්‍ර‘දේශයෙනි. ඒ කර්නල් රත්නප්‍රිය බන්දුය.
මෑත කාලයේ සංහිඳියාව ගැන බොහෝ දෙනා කතා බහ කරති. වැඩියෙන්ම සංහිඳියාව ගැන කැක්කුමක් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවලට හා දේශපාලඥයන්ටය. හැබැයි දේශපාලඥයන් හා රාජ්‍ය නොවන සංවිධාන මගින් සංහිඳියාව වෙනුවෙන් කළ දෙයක් නැත. හැමදාම ඔවුන් කළේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදී කලබල ඇතිකර සංහිඳියාව ගැන කතා කරමින් මුදල් ගරා ගැනීමය.
ලංකාව අතීතයේ පටන් සංහිඳියාවෙන් කටයුතු කළ රටක් බව අමුතුවෙන් කිව යුතු නැත. එදා සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි ද්‍රවිඩ නායකයෝද සිටියහ. බෞද්ධ ආගම වෙනුවෙන් ගත් හැරවුම් ලක්ෂ බඳු වූ තීන්දු තීරණ ගැනීමට ද්‍රවිඩ ජාතිකයෝ එකල කටයුතු කළහ. ඉන් එක් අයෙකු ලෙස සර් පොන්නම්බලම් රාමනාදන් හැඳින්විය හැකිය. ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් නියෝජිතවරයා ලෙස කටයුතු කළ ඒ මහතා %වෙසක් පෝය^ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් කළ යුතු බවට එකල බෞද්ධ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පහතරට සිංහල නියෝජිතයා විරුද්ධ වීම නිසා බෞද්ධයන් වෙනුවෙන් එම සංදේශය ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය. ඒ වගේම සිංහල මුස්ලිම් කෝලහාලයේදී අත්අඩංගුවට පත් බෞද්ධ නායකයන් නිදහස් කර ගැනීමට පෙනී සිටියේද පොන්නම්බලම් රාමනාදන් මහතාය.
මේ ආකාරයටම සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි තවත් නායකයෙකු වන්නේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාය. වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස සැමරීමට කටයුතු සම්පාදනය කළේ 1999දී විදේශ අමාත්‍යවරයාව සිටි ඒ මහතාය. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානය විමුක්ති සංවිධානයක් ලෙස නොව ත්රස්තවාදීන් බවට මතය ගෙන යෑමේ පුරෝගාමී දායකත්වයක් ලබා දුන්නේද ලක්ෂ්මන් කදිරගාමර් මහතාය.
එදා සිටම සංහිඳියාව ලංකාව ඇතුළේ තිබුණේය. ඉංග්‍රීසීන් විසින් විකෘති කළ පාලන තන්ත්රය මෙන්ම අවස්ථාවාදී දේශපාලඥයන් හා ප්රභාකරන් වැනි ත්රස්තවාදීන් හා සන්නද්ධ කණ්ඩායම්වලට අනුබලය දුන් විකෘති දේශපාලඥයන් නිසා මෙරටේ සංහිඳියාවට පහර වැදී තිබිණි.
නමුත් ලංකාවේ මිනිසුන් අතර සිංහලද, දෙමළද කියා වෙනසක් නැති බවට හොඳම නිදර්ශනය වූයේ කර්නල් රත්නප්‍රිය බන්ධුය. උතුරේ දේශපාලඥයන් උතුරේ දෙමළ ජනතාවට සිංහල හමුදාව පෙන්වාදී තිබුණේ යක්ෂයන් පිරිසක් ලෙසිනි. නමුත් මේ වන විට උතුරේ මිනිසුන් තුළින් ඒ මතය ක්‍රමයෙන් ගිලිහි යමින් තිබේ. ඔවුන් සංහිඳියාවට ලෑස්තිය. කර්නල් රත්නප්‍රිය බන්ධු 2012දී පුනරුත්ථාපන වැඩසටහන් ආරම්භ කළේය. එහිදී දෙමළ වැසියන් හා පුනරුත්ථාපනය කළ අය සිවිල් ආරක්ෂක බළකායට පවා බඳවා ගත්තේය. වෘත්තීය පුහුණුව ලබා දුන්නේය. අවියට හුරු කර තිබූ දෑත් ගොවිතැනට හා වෙනත් වෘත්තීන්ට හුරු කරවූවේය. ඒ වගේම උතුරේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ඔහු කටයුතු කළේය. නමුත් ඔහුට ස්ථාන මාරුවක් ලැබී එම ජනතාවගෙන් සමුගෙන යන විට උතුරේ ජනතාව සංවේගයට පත් වූ අයුරු ඔබ දකින්නට ඇත. &අපි සර් නැතිව කොහොමද ඉන්නේ, යන්න එපා සර්* &අපි ජනාධිපතිතුමාට කියනවා සර්ව මාරු කරන්න එපා කියලා*. මෙවැනි වදන් හමුදා නිලධාරියෙකු වෙනුවෙන් උතුරේ ජනතාව කියයි කියා ඔබ විශ්වාස නොකරන්නට පුළුවන. නමුත් වෛරී මානසිකත්වයෙන් මිදී සංහිඳියාවේ සැබෑ අරුත කියා දෙන්නට කර්නල් රත්නප්‍රිය බන්ධුට හැකි විය. ඒ වෙන මොනවා නිසාවත් නොව ඔහු ජනතාවට ආදරය කිරීමත්, ඔවුන්ට නායකත්වය සැපයීමත් නිසාය. මේ වගේම මෑත කාලයේදී සිංහල ජාතිකයන් ආදරයෙන් වැලඳගත් ද්‍රවිඩ පුද්ගලයෙකු වේ නම් ඒ වෙන කවුරුවත් නොව මානික්කවාසගර් ඉලන්චෙලියන්ය. ඔහු ආරක්ෂා කළ සිංහල පොලිස් නිලධාරීයා ඝාතනය වූ පසු ඔහු හදවතින්ම හැඬූ කඳුළින් තම සංවේගය පිට කරද්දී, ඒ වගේම පක්ෂග්රාහී නොවී දුන් නඩු තීන්දු හේතුවෙන් මානික්කවාසගර් ඉලන්චේලියන්ව සිංහල ජනතාව ආදරයෙන් වැලඳ ගත්තේය. ඇත්තම කාරණය නම් මිනිස්සු සංහිඳියාවට කැමතිය. සංහිඳියාව ඇති කළ හැක්කේ ජනතාවට ඇති ආදරය තුළින් සහ ඊට අවශ්‍ය නායකත්වය තුළින් පමණි. හැබැයි අද ඉන්නේ වවාගෙන කන දේශපාලන හිඟන්නන් මිස නායකයන් නොවේ. ජනතාවට ආදරය කරන නායකත්වය දිය හැකි නායකයන් අද නැත. ඛේදවාචකය ඇත්තේ එතැනය. ප්රාතිහාර්ය පෑ යුත්තේ වොඩ්කා වතුර කිරීමෙන් නොව ජනතා හදවත් සුවපත් කිරීමෙන් බව දේශපාලඥයන්ට මෙහිදී මතක් කර දිය යුතුය.
නිපුන් ඒකනායක