මේ චීනයේ නිවාඩු සමයයි. චීන මහජන සමූහාණ්ඩුව පිහිටු වූ ඔක්තෝබර් 01 වැනිදා සිට දින 07 ක නිවාඩුවක් සෑම වසරකම චීන ජාතිකයන්ට ලැබෙයි. මෙය ඔවුන් හඳුන්වන්නේ 'Golden week’ ලෙසිනි. මේ දින 07 අතීතයේදී බොහෝවිට නගරයේ සේවය කරන පිරිස් සිය ගම්බිම් බලා ගිය කාලය ලෙස සටහන් වුවද වර්තමානය වනවිට මේ දින හත සංචාරයේ යෙදෙන දින 07 ලෙස දැක්වෙයි. මෙවර සාම්ප්‍රදායික සරත් ඍතුවේ අවුරුදු දිනය (Mid-Autumn festival) ඔක්තෝබර් 04 වැනිදාට යෙදී තිබීම නිසා අතිරේක නිවාඩුවක්ද ලැබීමෙන් මෙවර නිවාඩුව දින 08 ක දීර්ඝ එකක් වී ඇතැයි චීන මිත්‍රයෙකු සතුටින් පැවසුවේය.
මෙවර නිවාඩුවේ චීන ජාතිකයන් මිලියන 700 ක් තමන්ගේ රට තුළත්, රටින් පිටතත් සංචාරය කරනු ඇතැයි චීනයේ ප්‍රධානම සංචාරක වෙබ් අඩවිය වන Ctripහි සංචාරක විශේෂඥයෝ අනාවැකි පළකර තිබූහ. එය පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සිට මේ දක්වා සැබෑ වී තිබුණි. මෙවර අවම වශයෙන් චීන ජාතිකයන් මිලියන 650 ක් චීනය පුරා සංචාරය කරනු ඇතැයිද, තවත් මිලියන 6 ක් පමණ විදේශ සංචාරයන්හී යෙදෙනු ඇතැයිද බලාපොරොත්තු පළ විය.
ඒ අනුව බිලියන 1.4ක් වන චීන ජනගහනයෙන් භාගයක් මේ කාලයේදී සංචාරයේ යෙදෙයි. මේ වනවිට එය එසේමවී ඇතැයි පැවසේ. 2016 වසර ගෝල්ඩන් වීක් නිවාඩු සමයේ වැඩිම ආදායමක් ඉපැයූ වසර ලෙස සඳහන් වුවද මේ වසරේ එම ආදායම අවම වශයෙන් සියයට 15 කින් ඉහළ යනු ඇතැයි වාර්තා වේ. එසේ කියන්නේ ඔක්තෝබර් 03 වැනිදා වනවිට මිලියන 227 ක චීන සංචාරකයන් පිරිසක් යුවාන් බිලියන 190 ක් පමණ වියදම් කර තිබූ හෙයිනි. දැනට ගණන් බලා ඇති ආකාරයට මෙම සතියේදී චීන සංචාරකයන් අවම වශයෙන් යුවාන් බිලියන 600 ක් වත් වියදම් කරනු ඇත. එය දැවැන්ත මුදලක් බව නොකිව මනාය.
පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර යා කරන අධිවේගී මාර්ගවල දැඩි වාහන තදබදයක් තිබූ බව චීන මිත්‍රයෝ පවසති. සමහරු ඉරිදා පාන්දර වනතුරු පෝළිමේ සිටි බව කියවෙයි. එහෙත් මේ දීර්ඝ නිවාඩුවෙන් ඇති වූ උද්දාමය නිසා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විඩාවක් නොමැති බව ඔවුන්ගේ කතාබහවලින් හැඟවෙයි. මෙවර නිවාඩුවේදීත් චීනයේ අභ්‍යන්තර සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත වී ඇත්තේ බෙයිජිං, හංග්ජො, ෂැංග්හයි වැනි ජනප්‍රිය නගර වෙයි. පසුගිය ඉරිදා දිනය වනවිට බෙයිජින් හි ටියැන්මියැන් චතුරශ්‍රය, ෆොබිඩන් සිටි වැනි ලෝ ප්‍රකට සංචාරක ස්ථාන ජනයාගෙන් පිරී පැවතුණු බව වාර්තා වෙයි. හංග්ජො හි වෙස්ට් ලේක් ප්‍රදේශයට ඉරිදා දිනයේදී පමණක් සංචාරකයන් තුන් ලක්ෂ අනූදහසක් පැමිණි බව වාර්තා වෙයි.
අභ්‍යන්තර සංචාරකයන්ගේ ප්‍රමාණය එසේ වැඩි වෙද්දී මිලියන 6කට වැඩි චීන සංචාරකයන් පිරිසක් ලෝකය පුරා සංචාරය කරන්නට පටන් ගෙන ඇත. මෙවර නිවාඩුවේ චීන සංචාරකයන්ගේ වැඩි අවධානය තායිලන්තය, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යොමු වී තිබෙන බව වාර්තා වෙයි. පසුගිය වසරේ මෙම නිවාඩු සමයේදී චීන සංචාරකයන් වැඩිම පිරිසක් දකුණු කොරියාවේ සංචාරය කළද මෙවර දකුණු කොරියාව ඉවතට විසි වී ඇත්තේ චීනය සහ දකුණු කොරියාව අතර මේ වසරේ මුලදී ඇති වූ සුළු නොහොඳ නෝක්කාඩු නිසා බව පැවසෙයි. යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීම සඳහා කාලවේලා ඇතිව අවසර ගැනීමේ කටයුතු කිරීමට අවශ්‍ය හෙයින් සැප්තැම්බර් මැද භාගය වන විට එම අවස්ථාව ගිලිහුණු බොහෝ සංචාරකයන් සිංගප්පූරුව, වියට්නාමය සහ මැලේසියාව වැනි රටවලට යොමු වී තිබේ.
මේ අනුව මෙවර ගෝල්ඩන් වීක් නිවාඩුවේ වැඩිම චීන සංචාරකයන් පිරිසක් දිනාගත් රටවල් ලෙස තායිලන්තය, ජපානය, ඇමෙරිකාව, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, වියට්නාමය, ඉතාලිය, රුසියාව සහ මැලේසියාව අනුපිළිවෙළින් සඳහන් වෙයි. එසේම මෙවර නවසීලන්තයට යෑමටද බොහෝ චීන ජාතිකයෝ උනන්දු වූ බව වාර්තා වෙයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නැගෙනහිර යුරෝපයේ සංචාරය කිරීමට මෙවර දැක් වූ උනන්දුව පෙර වසරවලට වඩා සියයට සියයකටත් වඩා වැඩි වීමක් බව වාර්තා වෙයි.
චීන ජනතාව මේ ආකාරයෙන් සිය දීර්ඝ නිවාඩුව ගත කරද්දී ලෝකයේ සංචාරක පාරාදීසයක් ලෙස හඳුන්වන
ශ්‍රී ලංකාව මේ සංචාරකයන් දිනාගැනීමට ගත් උත්සාහයන් කවරේදැයි සොයා බැලීම වටී. චීනය සහ ශ්‍රී ලංකාව අතර, මේ තරම් දැඩි මිත්‍රත්වයක් තිබියදී මෙවැනි දීර්ඝ නිවාඩුවකදී චීන සංචාරකයන් දිනා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම වසර ආරම්භයේදී කළ යුතුව තිබේ.
මේ වන විටත් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ චීනයෙන් බව කියූවත් ඔවුන් සත්‍ය වශයෙන්ම සංචාරය කරන්නට පමණක්ම පැමිණෙන්නෝ නොවෙති. මේ නිසා වර්තමානයේ ලෝකයේ ධනවත් සංචාරකයන් පිරිසක් බවට පත්ව සිටින චීන සංචාරකයන් මෙවැනි දීර්ඝ නිවාඩු හිදී සංචාරය සඳහාම ගෙන්වා ගැනීමට අප ලබන වසරේදී හෝ උත්සාහ කළයුතු බව ලියා තැබිය යුතුය.
එන්.කේ.එස් හෙට්ටිආරච්චි