ජන හා සංඛ්‍යා‘ලේඛන දෙපාර්තමේන්තුව මගින් 2017 ආර්ථික දත්තයන් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබිණි. පසුගිය වර 4.5ක්ව තිබූ ආර්ථික වර්ධන වේගය 3.1ට බැස තිබිණි. ආර්ථිකය මෙච්චර වැටීමට හේතුව කුමක්ද? ආර්ථික වර්ධන වේගයට බලපාන කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශ 03කි. කෘෂිකර්මාන්ත වර්ධන අගය බෙහෙවින් පහළ ගොස් තිබේ. සේවා අංශය 3.2ක්, කාර්මික අංශය 3.9ක් වන අතර, කෘෂිකර්මාන්තය -0.8ක් බව වාර්තාවල සඳහන් වේ.
කෘෂිකර්මාන්තය බොහෝ විට ගමට සම්බන්ධිත දෙයක් බව නොරහසකි. මන්දයත් කෘෂිකාර්මික ක්ෂේත්රය නියෝජනය කරන්නේ නාගරික ප්‍රජාව නොව ග්‍රාමීය ප්රජාවයි. "ගමේ අදායම තමයි මේ අඩුවෙන්නෙ". "ගම සංවර්ධනය කරගන්න මේ කාලයේ බැරිවෙලා තියෙනවා*. &මේ පාර ඡන්දය හෝදලා ගියෙත් ගමට වැඩක් කරගන්න බැරි වුණ නිසා". මේ ජනතාව කියන කතාවය.
අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, බදුල්ල වාගේ කෘෂිකර්මාන්තයෙන් මුල් තැනට පැමිණි දිස්ත්‍රික්කවලින් ආණ්ඩුව දරුණු පරාජයක් ලැබුවේ ගමට සලකගන්න බැරි වුණ නිසාවෙනි. ඇත්තටම පොහොර ප්රශ්නය උග්‍ර වී ආවේය. ගොවියාට පොහොර ටික දෙන්න බැරිව අන්තිමේදී ගොවීන් පාරට බැස්සේය. පංච මහා බලවේගයන්ගෙන් (එනම් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු) එකක් වුණු ගොවීන්ට නොසලකා හැරීමෙන් ගොවීන් සද්ද නැතිව ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළේය. ඇත්තටම පොහොර ටික දෙන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ ගොවීන් අන්තිම කාලයේ කතා කළේ එහෙමය. ඒ වගේම ගමේ ආණ්ඩුව පත්කරන මැතිවරණය පැවැත් වූයේ පෙබරවාරි 10දාය. නමුත් තවමත් ගමේ ආණ්ඩු ටික පිහිටුවා ගන්නට බැරිවී ඇත. ඒ වෙන මොනවත් නිසා නොවේය. සියලු පක්ෂවල ඇති බල අරගලය නිසාවෙනි.
පළාත් පාලන ආයතන පිහිටුවනු ලැබුවේ මධ්‍යම ආණ්ඩුවෙනුත්, පළාත් සභාවෙනුත් වියුක්ත කර ගමේ ජනතාවට සෘජුවම සේවය කිරීමටය. නමුත් සෘජුවම ගමේ ජනතාවට වැඩ කරන්නට පිහිට වූ මේ ආයතනවල සභිකයන් පත්කර ගැනීම සඳහා පවත්වන්නට තිබූ මැතිවරණය පැවැත් වූයේ අවුරුදු එකහමාරකටත් එහා ගිහින්ය. ඒ ආණ්ඩුවේ බලය රැක ගැනීමටය.
පළාත් පාලන ආයතන විසිරුවා හැර මැතිවරණය කල් දැමීම තුළ අනර්ථය සිදු වූයේ රටේ ජනතාවටය. කුණු ටික ඇදගැනීම, සැලසුමක් අනුමත කරගැනීම, පාරේ විදුලි බුබුළක් දමා ගැනීම වගේ සරල වැඩත් සංකීර්ණ විය. බලය රැක ගන්නට, දේශපාලන ස්ථාවරය හදා ගන්නට ගොස් අන්තිමට ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලන් පරිප්පු කෑවේය. අප සේවා හා කාර්මික අංශවලින් ඉදිරියට යා යුතුය. නමුත් ආර්ථිකයේ මූලික පදනම වන්නේ ගමයි. මේ ළඟදී කුමාර් ගුණරත්නම් කළ කතාවක් අහන්නට ලැබිණි.
තවම නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන ටිකවත් ආණ්ඩුවට පිහිටුවා ගන්න බැරිවෙලා. මෙතන තියෙන්නේ දේශපාලන සූදුවක්.ඕන දේශපාලඥයෙකු සූදු කෙළියාට කම් නැත. නමුත් ජනතාව ඔට්ටුවට අල්ලා දේශපාලන සූදු කෙළිනවා නම් කළ යුත්තේ ආණ්ඩුවද, විපක්ෂයද කියා නොබලා මැතිවරණවලදී ඔවුන්ව දේශපාලනයෙන් අතුගා දැමීමය. ඒ නිසා බල තණ්හාවට නොගොස් මොකා එක්ක හරි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවාගෙන ගමට, ජනතාවට වැඩක් කළ යුතුය.
මේ සෙල්ලම් එක්ක පැමිණි අලුත්ම දේශපාලන සෙල්ලම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනෙන්නට යන විශ්වාසභංග යෝජනාවය. රනිල් වික්‍රමසිංහ පිළිබඳ අප කුඩා කාලයේ අසා තිබුණේ නළුවෙක් නොව මොළයක් කියාය. ඒ කතාව ඇත්තය. එදා රනිල් පට්ට මොළයකි. තරුණ සේවා සභාව ඇතිකළේය, ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දීමට පුරෝගාමියෙකු විය. ඒ වගේම ජාත්‍යන්තරව පිළිගන්නා හොඳ ලිබරල් නායකයෙකුද විය. නමුත් රනිල්ගේ මොළය අලයක් කළේ ඔහු වටේ සිටි වන්දිභට්ටයන් බව කිව යුතුමය. රනිල් යනු වැඩක් කරන්නට හැකි නායකයෙකි.
මේ ළඟදී සාගල රත්නායක මෙසේ කීවේය. "අපි වැඩ විශාල ප්‍රමාණයක් කර තිබෙනවා. නමුත් ජනතාව අතරට මේවා ගියේ නෑ." රනිල් වටේ හොඳ සන්නිවේදකයන් සිටී. නමුත් ඔවුන් පසුගිය කාලේම කළේ රනිල්ගේ වැඩ ගැන කතා කරනවාට වඩා රනිල් සමග තරහ සහ ඔවුන්ට දිරවන්නේ නැති පුද්ගලයන්ට පත්තරවල හා වෙබ්අඩවිවල මඩ පුවත් පළකිරීම පමණය. අන්තිමේදී මඩ ගහ ගහ සිටි මේ සන්නිවේදන බළකායට රනිල්ව මාකට් කරන්නට, ඔසවා තබන්නට බැරි විය. තවමත් රනිල් යනු එක්සත් ජාතික පක්ෂයේ වැඩක් කළ හැකි නායකයෙකි.
රාජිතලා, කරූලා, රංජිත් මද්දුම බණ්ඩාරලා, සජිත්ලා වගේ ජ්‍යේෂ්ඨයන් එකතු කරගෙන ගමනක් යා යුතුය. ඒ වගේම පක්ෂයේ කලකිරී සිටින තරුණ මන්ත්‍රීවරු එකතු කරගෙන අලුත් ගමනක් යා යුතුය. සන්නිවේදන බළකායට මඩ තලි තලි අන අන ඉන්නවාට වඩා රනිල් වගේම ආණ්ඩුව කරපු දේවල් ප්‍රචාරය කරන්නට උගැන්වීමද කළ යුතුම දෙයකි. අවසානයේ මඩ අන අන හිටියොත් වෙන්නේ රනිල්ට වාගේම යූ.එන්.පී. එකටත් තවත් තරහකාරයන් හදා ගන්නටය. මන්දයත් බලය කියන දේ හැමදාම එකම තැනක කේන්ද්‍ර වන්නේ නැත. එය විතැන් වෙන්නේ හිතන්නටවත් බැරි වෙලාවල්වලටය.
මේ මොනදේ වුණත්. මොන බල අරගල ආවත්. ගමට, ජනතාවට සේවය කරන ආර්ථිකයක් හදා ගත්තේ නැත්නම් පීඩාවට පත්වෙන්නේ අපේ රටේ අපේම ජනතාවය. සල්ලි හම්බකරන දේශපාලඥයන්ට මේවායේ ගාණක් නැති වෙන්නට පුළුවන. හැබැයි ජනතාවගේ මුදල් හොරාගෙන යටිමඩි ගහන තක්කඩි දේශපාලඥයන්ට ජනතාව වශයෙන් කිවයුත්තේ හම්බකරන එක නවත්වන්න බෑ. අපියි උඹලව පත්කරලා යවන්නේ ඒ හින්දා වැඩ කරපියවු" යනුවෙන්ය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම කඩිනම් කිරීම කළයුතුය. නැති නම් ආර්ථිකයේ පදනම ඇති ගම කඩා වැටී ආර්ථිකය තව තවත් කඩා වැටෙනු ඇත. දේශපාලන සූදු නවත්වා රටට, ජනතාවට වැඩක් කර, ආර්ථිකය ගොඩ දැමීම සිදුනොකරන්නේ නම් අපට රටක් ඉතිරි වන්නේ නැත. අවසානයේ තවත් අප්‍රිකානු රටක් මෙන් ජීවත් වන්නට අපිට සිදුවන්නටද පුළුවන.
විප්ලවයක් ඇති වන්නේ දුප්පත්කම නිසා නොව ධනවත්කම දුප්පත්කම ළඟින් පැහැදිලිවම පෙනෙන්නට ඇති නිසාය ඇත්ත මේකය. ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම ජාතික අවශ්‍යතාවකි. පළාත් පාලන ආයතනවලට දේශපාලනික කෝණවලින් නොබලා, ප්‍රතිපාදන ලබාදී ජනතාවට අපහසුවක් නොවන ලෙස කටයුතු කිරීමද කාලෝචිතය.
නිපුන් ඒකනායක