කෙළින් යන්න පුරුදු වූ අයට ආපසු හැරිල්ලට බොහොම අමාරුය. කෙළින් යන්නට යන කෙනා ආපසු හැරිලා නොබැලුවොත් පසු පසින් හඹා එන අය නිසා අමාරුවේ වැටෙන්නට පුළුවන්ය. අපි කිසිම පැත්තකට හැරෙන්නේ නැහැ කිව්වත් ඒ අයට වැඩිදුර නොගොස් හැරෙන්නට සිද්ධ වෙනවාය. එහෙම හැරෙන අය එදත් අදත් ඉන්නවාය.
අද රටේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ වාසි පැත්තට හැරිල්ලටය. කලක් වම් පැත්තට හැරිලා ගිය අයට වැඩි කල් නොගොස් දකුණු පැත්තට හැරිල්ලට සිද්ධ වෙනවාය. එහෙම හැරුණේ නැති නම් ඒ අයට පැවැත්මක් නැත්තේය. අපේ දේශපාලුවන්ට නම් ඕනෑම පැත්තකට හැරිලා ගමන් කරන්නට ලැජ්ජාවක් නැත්තේය. බොහෝ අය හැරෙන්නේ වාසි පැත්තටය. අවාසි පැත්තෙන් වාසි පැත්තට හැරිලා තම මඩිය තරකර ගන්නට බොහෝ අය දස්සය.
දිගටම ගමන් යන සෙබළුන්ට 'ආපසු හැරේන්' යයි විධානය කළ විට එක්වරම ආපසු හැරෙන්න සිදුවෙනවාය. %වමට හැරේන්^ කිව්වාම වමට හැරෙනවාය. සමහර පාරවල ගමන් කරන වාහනවලට වමට හෝ දකුණට හැරෙන්නට තහනම් කියලා බෝඩ් ගහලා තියෙනවාය. කෙළින් යන වාහනවලට හැරෙන්නට ඕනෑ වූ විට හැරෙන පැත්තට සිග්නල් දමන්න ඕනෑය. එහෙම හැරෙන්නට පෙර සිග්නල් දමන්නේ පසුපස යන වාහනවලට තමන් හැරෙන බව දැනුම් දීමටය. එහෙම නැතුව ඕනෑ ඕනෑ විදිහට හැරෙන්නට ගියොත් අනතුරු සිදුවන්න පුළුවන්ය. කවුරු කොච්චර කෙළින් යනවා යැයි කිව්වත් ඒ අයට පාරේ ගමන් කරන විට වංගුවලින් හැරෙන්නට වෙනවාය.
වැඩ කරලා අමාරු වූ විට විඩා හැරිල්ලට බොහෝ දෙනා පුරුදු වී සිටිනවාය. එහෙම විඩා හැරිල්ලෙන් කරන්නේ වැඩ කිරිල්ලට අව‘ශ්‍ය ශක්තිය ලබා ගැනිල්ලය.
වැඩ අත්හැරිල්ල කරන්නේ අවුරුදු චාරිත්‍ර අනුගමනය කරන විටය. වැඩ අත්හැරලා ආපහු නැකතට වැඩ අල්ලනවාය. කිසිම නැකතකට නොවුණත් අයිතිවාසිකම් දිනාගන්නට වැඩ අත්හරින අය ඉන්නවාය. එහෙම වැඩ අත්හැරිල්ල කරන්නේ වෘත්තීය සමිතිකාරයන්ය. ඒ වාගේ වැඩ අත්හැරිල්ලට කියන්නේ වර්ජනය කරනවා කියලාය. වැඩ අත්හැරිල්ල කළ යුත්තේ සාකච්ඡා කර විසඳුම් ලබාගන්නට බැරි වූ පසුව වුවද අද අපේ සමහර වෘත්තීය සමිති පුරුදු වෙලා ඉන්නේ කිසිම දැනුම් දීමක් නැතුව එකවරම වැඩ අත්හැරිල්ලටය.
බොහෝ අය දස්ස කනපිට හැරිල්ලටය. හොඳට කරගෙන යන දේවල් කනපිට හැරිල්ලට උත්සාහ කරන ඊර්ෂ්‍යාකාරයන් ඉන්නවාය. හැබැයි නරකට යන දෙයක් හොඳපිට හැරිල්ලට උත්සාහ කරන අය අඩුය. ඔරුව මුණින් අතට හැරුණුවිට එහෙම හැරිච්ච පැත්ත හොඳ යයි තම්බි නානා කිව්වාය.
වැඩක්පොළක් නොකර සිටින කුසීතයන් අත් දිග හරින්නේ හිරි වැටිල්ල නවත්වා ගන්නටය. දුර්වලයා ඉදිරියේ වීරකම් පෙන්වන්නට අත දිග හැරිල්ල නම් නිහීන ක්‍රියාවක්ය. තැන නොතැන නොබලා වේගයෙන් අත දිග හැරිය විට අසල සිටින අයට පහර වැදිල්ලට ඉඩ තිබෙනවාය. තමන්ගෙන් කන්ඩ කටක් දෙන්න බැරි අය අනුන්ගේ මඟුල් ගෙවල්වලදී අත දිග හැරලා බෙදන්නට දස්සය. අත දිග හැරිල්ල වගේම අතහැරිල්ල නරකට සිටිනවාය. කෙනෙකුගෙන් දිගටම වාසි අරන් පස්සෙන් පහු අතහැරලා දමන අවස්ථාවන්ද එමටය. එහෙම අතහැරිල්ලෙන් සිදුවෙන වේදනාව දරා ගන්නට බැරිව ගඟේ මුහුදේ පනින අයද ඉන්නවාය.
පොත දැමිල්ල වගේම පොත දිග හැරිල්ලෙන්ද අනුන් රවටන්නට පුළුවන්ය. සමහරක් සෙනඟ පිරි බස් රථවල යනවිට පත්තර, පොත් දිග හැරගෙන යන්නේ තමන් මහ උගතුන් බව පෙන්වන්නටය.
අකුලා දැමිල්ලට වඩා දිග හැරිල්ල නම් හොඳය. පැදුරු වැඩි කලක් අකුළලා තිබුණු විට දිග හැරිල්ලට අමාරුය. කුඩ වැඩිපුර දිග හැරෙන්නේ වර්ෂා කාලයටය. බලු වලිගය හත් අවුරුද්දක් උණ පුරුකේ දාලා තිබුණත් දිග හැරිල්ලට බැරි යැයි කියනවාය. සමහරු කේන්ති ගියාම කියන්නේ මම උඹේ තෝම්බුව මුල ඉඳලම දිග හරිනවා කියලාය. අනුන්ගේ වගතුග දිග හැරිල්ලට කියන්නේ ඕපාදූප කතාවෙනවා කියලාය.
අතපය දිග හැරලා නිදා ගැනිල්ල ශරීර සෞඛ්‍යයට හොඳය. ඒත් අතපය දිග හැරලා සුවසේ සැතපෙන්න බැරි බව ගැමුණු කුමාරයා සිය මවට කීවේය. එසේ අතපය දිග හැරිල්ලට බැරි වුණේ දකුණු පසින් ගොළු මුහුදත්, උතුරු පැත්තෙන් හැඩි දෙමළුන්ද සිටින නිසාය. මුහුද ගොඩ ගැලිල්ලෙන් බේරෙන්නට දේවී කුමරිය මූදේ පාකර හැරිල්ලට පිය රජුට සිදු වූයේය.
ඉර පායන පැත්තට හැරිලා සදිසා නමස්කාර කළ සිඟාලක තරුණයාට හැරිය යුතු නියම පැති මොනවාදැයි බුදුන්වහන්සේ දේශනා කළේය. අද නම් කොයි පැත්තට හැරිලා වැන්දත් තමන්ට වාසියක් ලැබෙන පැත්තට හැරිල්ල හොඳ යැයි බොහෝ අය සිතනවාය. ඉර හැරිල්ලට පසු ආහාර වළඳන්නට හාමුදුරුවරුනට කැප නැත්තේය.
මොනවා දිග හැරියත් පොකැට්ටුව නම් නිතර නිතර දිග හැරිල්ල ඇඟට ගුණ නැත්තේය. මේ දිනවල බඩු මිලේ හැටියට පොකැට්ටුව දිග හැරිල්ල ඉතාම කල්පනාකාරීව කළ යුතුය. සල්ලි බාගෙ තියෙන අයට නම් අත දිග හැරලා වියදම් කරන්න අපහසු නැත්තේය.
සමහරුන්ට වැඩිය පුරුදු මගහැරිල්ලටය. අපේ දේශපාලුවන් ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ නිතරම ඡන්දදාසලා මගහැරිල්ලට පුරුදු වෙලා සිටිනවාය. මගහැරිල්ල වාගේම කපා හැරිල්ලද නරකය. රැකියා ලැයිස්තුවලින් තමන්ට එරෙහි අයගේ නම් කපා හැරිල්ලට අපේ දේශපාලුවන් හරි ප්‍රසිද්ධය.