දේශපාලනික කටයුතුවලට හා මාධ්‍ය ආයතන, බැංකු වැනි සමාගම් ප්‍රවර්ධන කටයුතු සඳහා පාසල් දරුවන් යොදාගන්නා අයුරු නිරන්තරයෙන් දැකගැනීමට පුළුවන. මීට ආසන්තම උදාහරණය ලෙස ලොව දිගම ඔසරිපොට අල්ලාගෙන සිටීමට පාසල් දිනයකදී කුඩා පාසල් දරුවන් යොදා ගැනීම දැක්විය හැකිය.
ළමයි යොදාගෙන සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන් විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් බහුලව සිදුකරනු ලබයි. වැඩිහිටියන් මෙන් නොව ළමයි ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගි වනවාද නැද්ද යන්න පිළිබඳ ඍජු තීන්දු තීරණ ගත නොහැකිය. පාසල්වලින් තම දෙමවුපියන්ගේ බලපෑම්වලට ඔවුහු ප්‍රවර්ධන වැඩසටහන්වල ඉත්තන් බවට පත්වෙති.
විශේෂයෙන්ම මෙරට ප්රමුඛ මාධ්‍ය ආයතන තම ප්‍රවර්ධන කටයුතු සඳහා දරුවන් අමුඅමුවේ භාවිත කරයි. මාධ්‍ය ආයතනයක් තම පාසලට, නගරයට හෝ ගමට එනවා නම් පාසල් ගුරුවරුන් හා දෙමවුපියන් ඔවුන්ව බලහත්කාරයෙන් හෝ එතැනට රැගෙන යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇත. සමහරු තඹ සතයකට වැඩකට නොමැති විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවර්ධන හා විවිධ වැඩසටහන් සඳහා දරුවන් භාවිත කරති.
පැය ගණන් අව්වේ තබයි. කිසිදු විෂයයකට අදාළ නොමැති සම්මන්ත්රණ සඳහා දරුවන්ව සහභාගි කර ගැනීම සිදු වේ. අවසානයේදී ගුරුවරු, විදුහල්පතිවරු හා දෙමවුපියෝ එම වැඩසටහන් අගයමින් මයික්‍ර‘ෆෝනයට අදහස් දක්වති. ඔවුන් පවසනුයේ මාධ්‍ය ආයතනයක් සිදුකරන මෙවැනි වැඩසටහන් විශිෂ්ට බවයි. මෙවැනි එක් සම්මන්ත්‍රණයක් අවසානයේදී විද්‍යුත් මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ගුණ ගැයූ විදුහල්පතිවරයෙකු පැවසුවේ මෙම සම්මන්ත්‍රණයේදී විෂයය නිර්දේශයට අදාළව අංශු මාත්‍රයක් කතා නොකළද, එම මාධ්‍ය ආයතනය තරහා කරගැනීමට බැරි බැවින් තමන් එම සම්මන්ත්‍රණය විශිෂ්ට යැයි පැවසූ බවයි.
පසුගියදා ඔසරිපොට අල්ලාගෙන සිටීම පිළිබඳ කතා කළ මාධ්‍ය ආයතන කෙදිනකවත් තමන්ගේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ළමයින් භාවිත කරමින් ඔවුන් අපහසුතාවට පත්වීම ගැන කෙළ බිඳක් හෝ හෙළුවේ නැත. ප්‍රවර්ධනය හා ප්‍රචාරණය අවශ්‍ය වන අතර, ළමයින් යොදා ගන්නේ නම් එම ළමයින් ඵලදායී (Productive) ලෙස එම ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍යය. රූපවාහිනී පනතෙහි අධ්‍යාපනය සඳහා ළමුන්ට ගුවන් කාලයක් වෙන් කිරීමට නෛතික ප්‍රතිපාදන ලබාදී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද රූපවාහිනියට මේ සඳහා ගෙවීම් කර ඇත. නමුත් අද වනවිට පවතින තරගකාරීත්වය හේතුවෙන් අධ්‍යාපනික වැඩසටහන් නැත්තටම නැතිව හෝ දියාරු වී ගොස් ඇත.
බැංකු මගින්ද තම ප්‍රවර්ධන කටයුතු සඳහා ළමයින් විශාල ලෙස යොදා ගනු ලැබේ.
පාසල් තුළ ඉතිරි කිරීම සඳහා විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. බැංකු නිලධාරීන් පාසලට පැමිණෙන දවසට ප්‍රථම එය දරුවන්ට දැනුම් දෙනු ලබන්නේ ගුරුවරුන් විසිනි. මුදල් තැන්්පත් කරන දරුවන්ට විවිධ තෑගිභෝග ලබාදීමට මෙම බැංකු මැලිවන්නේ නැත. නමුත් මුදල් තැන්පත් කිරීමට නොහැකි දරුවන්ට තෑගි නොමැත. මෙය ඉතා සරල කතන්දරයක් ලෙස පෙනුණද, ළමා මනසට මෙය අහිතකර ලෙස බලපෑ හැකිය. ඇතැම් දරුවන්ගේ දෙමවුපියන්ට ඉතිරි කිරීම සඳහා මුදල් ලබාදීමට නොහැකි වන්නට පුළුවන. එවැනි දෙමවුපියන්ගේ දරුවන් තෑගි ලබාගත් දරුවන්ගේ තෑගි දැක කනස්සල්ලටත්, දුකටත් පත්වනු ඇත. මන්ද දරුවන් තෑගිභෝග ලබා ගැනීමට කැමැති නිසාය.
අවසානයේ දරුවන්ගේ සිත් තුළට 'හැම දේටම සල්ලි ඕන' යන කාරණය ස්ථාපනය වීමට පුළුවන. සල්ලි නොව මනුස්සකම දරුවන්ගේ සිත් තුළට ලබාදිය යුතුය. ප්‍රවර්ධනය හා ප්‍රචාරණය බැංකුවලින් කළ යුතු බව සැබෑය. ඉතිරි කිරීම යනු ඉතාම යහපත් කාරණයකි. නමුත් අඩුම තරමින් තැම්පත් කිරීමට මුදල් රැගෙනවිත් නොමැති කුඩා ළමුන් වෙනුවෙන් පුංචි ටොෆියක් වූවත් ලබාදීමට හැකි නම් එය ඉතාමත්ම වටිනේය.
කිරිපිටි සමාගම් මෙන්ම විවිධ සමාගම්ද දරුවන් ප්‍රවර්ධන හා ප්‍රචාරණය සඳහා යොදා ගනියි. දියුණු රටවල කිරිපිටි දැන්වීම් සඳහා කුඩා දරුවන් භාවිත නොකරයි. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මවුකිරි ලබාදීම පසුගිය කාලය පුරා ප්‍රවර්ධනය කරමින් සිටියි. තවත් විවිධ සමාගම්ද පාසල්වලට මූල්‍ය අනුග්‍රහය ලබාදෙමින් දරුවන් ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගනියි. නමුත් මේ පිළිබඳ දෙවරක් හිතන්නට කාලය එළැඹ ඇත. දරුවන් යනු සමාගම්, මාධ්‍ය ආයතනවලට, බැංකුවලට ප්‍රචාරණය සඳහා හොඳ මාර්කටිං අයිටම් එකකි. දරුවන් වඩා ගනිමින් දේශපාලඥයන්ද කරන්නේ ඔවුන්ගේ ප්රතිරූප නංවා ගැනීමය.
සිදුකළ යුත්තේ පාසල් කාලය තුළදී ළමයින් ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගි කරවීම තහනම් කරවමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් චක්‍ර‘ලේඛයක් නිකුත් කිරීමය. තවද ප්‍රවර්ධන කටයුතු සඳහා දරුවන් භාවිත කරන්නේ නම් එම වැඩසටහන්වල ප්‍රමිතිය දරුවන්ට කොතෙක් ඵලදායී වන්නේද යන්න සොයාබලා පමණක් අනුමැතිය දීමය. අනෙක් කරුණ නම් අධ්‍යාපන අමාත්‍යාංශයට මාධ්‍ය නාළිකාවන්ගේ ගුවන් කාලය වෙන් කරවාගෙන හෝ ඊට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් ඵලදායී අධ්‍යාපනික වැඩසටහන් නැවත ආරම්භ කිරීමය.