අප ලෝකයේ ස්වභාවය යැයි විශ්වාස කර ගන්නා බොහෝ දේ ශිෂ්ටාචාරයේ කිසියම් මොහොතක දී මිනිසුන් විසින් නිර්මාණය කර ගන්නා ලද දේය. දිළිඳුකම, කළු සමක් ඇති මිනිසුන්ට වඩා සුදු සමක් ඇති මිනිසුන් දියුණු යැයි ගැනීම, ස්ත්‍රියට වඩා පුරුෂයා ශක්තිමත් සහ බුද්ධිමත් යැයි සැලකීම ආදී බොහෝ දේ ශිෂ්ටාචාරයේ විවිධ අවස්ථාවලදී සිදු වූ නිර්මිතයන්ය.
මෙම නිර්මිතයන් ඉතා ශක්තිමත් ව්‍යූහ ලෙස සමාජය තුළ මුල්බැස ගෙන සිටියි. මෙම ලිපියේදී අවධානය යොමු වෙන්නේ ස්ත්‍රිය සම්බන්ධයෙන් පවතින ආචීර්ණ කල්පික මතය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ස්ත්‍රිය පිරිමියාට ප්රතිපක්ෂව දුර්වල ජීවියෙකු ලෙස සැලකීම සිදුවෙයි. ගැහැනු දරුවාට කෑමබීම ලබා දීමේදී පවා තවමත් ඒ ආකල්ප රජ කරන බව පෙනේ. එහෙත් ශ්‍රී ලංකාව ගතහොත් එහි ආර්ථිකයෙන් සියයට 50කට වැඩි කොටසක් මෙහෙයවනු ලබනුයේ ස්ත්‍රීන් විසිනි. බොහෝ විශ්වවිද්‍යාල ගතහොත් වැඩි වශයෙන් සිටින්නේ උපාධි අපේක්ෂිකාවන්ය.
මනුෂ්‍ය ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම ස්ත්‍රිය දුර්වල යැයි පිළිගෙන නොමැත. පුරුෂයාගේ බලයට එරෙහිව කාන්තාව විසින් බලය මෙහෙයවන ලද සමාජ (Matriarchy) ඉතිහාසයේ බොහෝ තිබී ඇත. මෙම සමාජවලදී දේශපාලන නායකත්වය (Political Leadership), සදාචාර අධිකාරීත්වය (Moral Authority), දේපොළ පිළිබඳ අයිතිය වැනි දේ තීරණය කර ඇත්තේ ගැහැනුන් විසිනි. පිරිමින් විසින් පාලනය කරනු ලබන සමාජවලදී දේශපාලන නායකත්වය මෙන්ම ගැහැනුන් පිළිපැදිය යුතු සදාචාරය තීරණය කෙරෙන්නේද පිරිමින් විසිනි.
ඇතැම් පිරිමින් විසින් පාලනය කරනු ලබන සමාජවල වරින්වර කාන්තාවන් දේශපාලන නායකත්වයේ ඉහළ තනතුරු ලබා ගැනීමට ඉඩ ඇත. එහෙත් එය කිසිදු අවස්ථාවකදී පිරිමි මූලිකත්වය ගෙන ඇති සදාචාර පද්ධතිය, අදහස් පද්ධතිය ආදිය වෙනස් කිරීමට අසමත් වේ. මෙය ආසියාතික සමාජවල නිතර දක්නට ලැබෙන සත්‍යයකි.
බටහිර රටවල පවා මෑතක් වනතෙක් එම අදහස් පද්ධතිය මුල්බැස ගෙන තිබුණේය. උදාහරණයක් ලෙස කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මෙන්ම ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් පිළිබඳ කතාවක් වේ. වරක් ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා පමණක් වූ පොදු කාමරයේ ශිෂ්‍යාවක සිට ඇත. දැඩි විනයවාදියෙකු වූ ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් එනු දැක ඇය ජනේලයෙන් පැන යෑම සඳහා බිත්තිය දිගේ නැග ඇත. අවසානයේදී අයිවර් ජෙනින්ස් විසින් ඇයට දඬුවම් දී තිබුණේ පිරිමින් සඳහා වූ පොදු කාමරයේ සිටීම සම්බන්ධයෙන් නොව කාන්තාවක සතු විය යුතු මෘදු බව සහ දුර්වල ගුණය අහිමි කර ගැනීම සම්බන්ධයෙනි (for overstepping womanly modesty and gentility).
ස්ත්රීන්ගේ සදාචාරය තීරණය කිරීමේ අයිතිය පිරිමියා විසින් අත්පත් කර ගැනීම ස්වභාවයක් නොවන අතර, ඉතිහාසය තුළ නිර්මිත වූවකි. අදටත් ඇතැම් ගෝත්‍රික සමාජවල සදාචාරය නිර්ණය කිරීමේ අයිතිය ස්ත්‍රීන් සතුව පවතින බව මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පූර්ව-ඓතිහාසික යුගයේදී ස්ත්‍රී ආධිපත්‍ය වඩ වඩාත් ශක්තිමත්ව පැවැතී ඇත.
දර්ශන අශෝක කුමාර