සරණාගතයන් යනු අවතැන් වීම නිසා කිසියම් ජාතික රාජ්‍යයක දේශ සීමාවකින් පිටතට පැමිණීමට සිදු වූ පිරිසකි. තමන්ගේ මුල් ගම්බිම් කරා ආරක්ෂිතව ආපසු යෑමේ හැකියාවක් නොමැති වීම හේතුව නිසා ඔවුහු සරණාගත තත්ත්වයේ පසුවෙති. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් හෝ වෙනත් බලාධිකාරිෙයක් මගින් ඔවුනට සරණාගත තත්ත්වය ලබාදෙන තුරු ඔවුන් රැකවරණ පතන්නන් පිරිසක් (asylum seekers) ලෙස සලකනු ලැබේ.
මේ වන විට ලෝකයේ සරණාගතයන් ලක්ෂ 213කට වැඩි පිරිසක් වෙතැයි නිල වශයෙන් ගණන් බලා තිබේ. සරණාගතයන් යනු අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ට (Internally Displaced Persons) වෙනස් වෙති. අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් ජාතික රාජ්‍යයක දේශ සීමාවලින් පිටතට ගොස් නැත. මේ නිසා අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ වේ.
සරණාගතයන් වශයෙන් පලා යෑමට හේතු ගණනාවක් තිබේ. කිසියම් සමාජ කණ්ඩායමකට හෝ දේශපාලන මතවාදයකට අයත් වීම ඉන් එකකි. කිසියම් ජනවර්ගයක, ආගමක, දේශපාලන චින්තාවක කොටස්කරුවන් වීම නිසා සිදුවන බලපෑම්වලින් මිදීමට පුද්ගලයෝ සරණාගතභාවය සොයති. මෙම සරණාගතයෝ මානසික වශයෙන් කම්පනයට හෝ භීතියට පත්ව සිටිති. නැත්නම් හිංසනයට පත්ව සිටිති. ලිංගික බලහත්කාරකම්වලට ලක්ව සිටිති. විශේෂයෙන් කුඩා දරුවෝද කාන්තාවෝද අහිතකර විපාකයන්ගෙන් බැට කති.
ලෝකයේ විවිධ අවස්ථාවලදී සිදු වූ ජන සමූහයන්ගේ පලා යෑම් නිසා මේ වන විට ලොව කිසිදු රාජ්‍යයකට අයිති නැති (stateless person) මිනිසුන් ලක්ෂ 16ක පමණ පිරිසක් සිටිති. මේ නිසා ඔවුනට රාජ්‍යයකින් හිමි විය යුතු රැකවරණය හෝ වරප්‍රසාද ලැබෙන්නේ නැත.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සරණාගතයන් සම්බන්ධයෙන් අනුදැකිය යුතු ප්‍රතිපත්ති මාලාවක් පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් පළමුවැන්න නම් සරණාගතයන්ට ජීවිතය සම්බන්ධයෙන් ඇති අයිතිය ආරක්ෂා කිරීමයි. කිසිදු කෲර හෝ අවසත්කාරයකට හෝ දඬුවමකට (cruel or degrading treatment or punishment) එවැනි සරණාගතයෙකුට ලක්වීමේ ඉඩක් නැත. කිසිදු අවස්ථාවකදී රාජ්‍යයකට හෝ වෙනත් සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ වුවමනාවක් මත ඔවුන්ව අභිමත පරිදි රඳවා තබා ගැනීමේ හැකියාවක් නොමැත. ඔවුනට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් ලබා ගැනීමේ අයිතියක් ඇත. සුදුසු වාසස්ථානයක් ලැබීමේ අයිතියක් ඇත. එසේම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා සරණාගතයන් වෙත අයිතියක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ පිළිගැනීමයි.
එනයින්, ආරක්ෂාවක් සඳහා යොමු වීමේ (access to protection) අයිතිය සරණාගතයන් වෙත සුරක්ෂණය විය යුතුය. මක්නිසාද යත්, සරණාගතයන් වන්නේද මනුෂ්‍යයන්ම නිසාය. උසස් වූද, ශිෂ්ට සම්පන්න වූද සමාජයක සරණාගතයෙකුට බලහත්කාරය යෙදවීම, හිංසා පීඩා කිරීම ආදිය නොකළ යුතු දේ ලෙස සලකනු ලැබේ. බොහෝවිට මිනිසුන් විසින් සරණාගතයන්ට එරෙහි වන්නේ අතිථි භීතිකාව (xenophobia) වැනි මානසික තත්ත්වයක් හේතුවෙනි.
දර්ශන අශෝක කුමාර