සමූහ හිස්ටීරියාව (Mass Hysteria) යනු සමාජ විද්‍යාවේද මනෝවිද්‍යාවේ යෙදෙන පදයකි. මිනිසුන් සමූහයක් වශයෙන් මුළා වීම සමූහ හිස්ටීරියාවක් ලෙස සරලව හඳුනා ගැනීමට පුළුවන. බොහෝ දෙනෙකු තමන්ද සමූහ හිස්ටීරියා බුබුළක් (Mass Hysteria Bubble) තුළ සිටින බව දන්නේ නැත.
රොබර්ට් බර්තොලමියු (Robert Bartholomew) නම් මනෝවිද්‍යඥයා පෙන්වා දෙන පරිදි සමූහ හිස්ටීරියාව තුළ සාමූහික මායාවක් (Collective Delusion) ඔස්සේ මිනිසුන්ගේ පෙළගැසීමක් ඇති වෙයි. උදාහරණයක් ලෙස හඳුනානොගත් අභ්‍යවකාශ යානා (UFO), ලේ උරා බොන ඩ්රැකියුලාවන්, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, අදෘශ්‍යමාන බලවේග වැනි විෂයයක් සම්බන්ධයෙන් පැහැදිලි ලෙස සනාථ කළ නොහැකි සාක්ෂි මත පදනම්ව මිනිස්සු ඒකරාශී වෙති.
ඔවුහු ඒ ඔස්සේ කිසිදු තාර්කික බුද්ධියකට හසු නොවන ව්‍යාජ අදහස් පිළිගනිති. ඒ සඳහා සිය කාලයද ශ්‍රමයද වැය කරති. මෙවැනි සමූහ හිස්ටීරියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ලබ්ධීන් (Cults) බිහිවෙයි. සමූහ හිස්ටීරියාවක් මත බිහි වූ එවැනි ලබ්ධියක් ලෙස ඕම් ෂින්රික්යෝ නම් සංවිධානය පෙන්වා දීමට පුළුවන. මෙහි නායකයා වූයේ ෂෝකෝ අසහාරාය. ඔවුහු ලෝක අවසානයක් පිළිබඳ විශ්වාසයක පසුවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සංවිධානය විසින් ටෝකියෝ නුවර දුම්රියපොළකට ජනසංහාරක විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ඕම් ෂින්රික්යෝ සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13කි.
සංවිධානයේ නායක ෂෝකෝ අසහාරා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පැරණි අනාවැකි අනුව ලෝකයේ අවසානය නියත බව තමන් විශ්වාස කරන බවත්, එය සිය සංවිධානය විසින්ම සිදුකිරීමට තීරණය කළ බවත්ය. මිනිසුන්ගේ නිදහස සීමා කරන ලද සමාජ ක්‍රමයක් තුළ සමූහ හිස්ටීරියාව ඇති වීමේ අවදානම වැඩි බවයි මනෝවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ.
20 වැනි සියවසට පෙර බටහිර ලෝකය තුළ අදෘශ්‍යමාන බලවේග ඇති කාන්තාවන් මරා දැමීමද මෙම හිස්ටීරියා තත්ත්වය පිළිබඳ විමර්ශනයේදී වැදගත් වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ සලෙම් නම් ගම්මානයේ අමුතු හැසිරීම් දැක්වූ ගැහැනු ළමයින් ගණනාවක් භූත ආත්ම සමග ගනුදෙනු කරන බවට තීරණය කරමින් 1690 දශකයේදී මරා දැමීම කදිම නිදසුනකි. එම ගැහැනු දරුවන් තුළ මතු වී තිබුණේ සමූහ හිස්ටීරියා තත්ත්වයක් ලෙස පසුකාලීන මනෝවිද්‍යාඥයෝ අවබෝධ කර ගත්හ.
කිසියම් ජන සමාජයක එක් ජාතියකට වඩා අනෙක් ජාතිය උසස් හෝ පහත් එක් ආගමකට වඩා අනෙක් උසස් හෝ පහත් වශයෙන් සමූහ හිස්ටීරියා තත්ත්වයන් ඇති කිරීමට පුළුවන. ඒ ඔස්සේ මිනීමැරීමටද පුළුවන. හිට්ලර් විසින් යුදෙව්වන්ට එරෙහිව ජර්මනිය තුළ ඇති කළේ එවැනි සමූහ හිස්ටීරියාවකි. හිට්ලර්ට පෙර යුගයේ සිට පැවති මතයක් වූයේ යුදෙව්වන් යක්ෂයා සමග සම්බන්ධතා පවත්වන බවයි. යුදෙව්වන් යනු දූෂිත වූ ලේ ඇති මිනිසුන් කොට්ඨාසයක් යන්න තවත් මතයකි. මධ්‍යතන යුගයේ යුරෝපයේ ඇති වූ සාගතයට හේතු වූයේ යුදෙව්වන් විසින් ළිංවලට වස මිශ්‍ර කිරීම නිසා බව පැතිර තිබූ තවත් මතයකි.
මෙවැනි ඓතිහාසික දූෂමාන තොරතුරුද පදනම් කර ගනිමින් නව සමූහ හිස්ටීරියාවක් ගොඩනැගූ හිට්ලර් මිලියන සංඛ්‍යාවක් යුදෙව්වන් මරා දැමීය. එනයින්, ඕනෑම රටක, ඕනෑම සමාජයක ඕනෑම යුගයකදී මෙවැනි සමූහ හිස්ටීරියාවක් ඇති විය හැකිය.