ජනවාරි 08 සිදු වූ නොසිතූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ අය කල්පනා කරනු ලැබුවේ මෙම උභතෝකෝටිකයෙන් ගොඩයන්නේ කෙසේද කියායි. මන්දයත් ඔවුන් වසර හැත්තෑවක් රට පාලනය කිරීමට සැලසුම් කර තිබූ අතර, ඒ වෙනුවෙන් රටේ හැඩතල, ආයතන පද්ධතිය හා නීතිරීතිද වෙනස් කරගෙන තිබිණි. තම පක්ෂයේ මහලේකම්වරයා විසින්ම එක්සත් ජාතික පක්ෂය හා එකතුව සිදුකරන ලද එම දැවැන්ත ප්‍රහාරයෙන් සිදු වූ පරාජය රාජපක්ෂ පවුලේ මෙන්ම එම පවුල මත යැපෙමින් දේශපාලනයේ හා මුදල් ඉපයීමේ ජාවාරම් සිදු කිරීමේ යෙදී සිටි කණ්ඩායම්වලට උභතෝකෝටිකයක්ම විය. දින සියයේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂගේ හා එම පවුලේ ප්‍රමුඛතාව වූයේ හැකිතාක් ඉක්මනින් ඔවුන් විසින්ම සකස් කරමින් තිබූ වැරදි ක්‍රමවේදයක් නිසාවෙන් ඔවුන් මත පැවරී, පැටළීමට ඉඩ තිබූ දහසකුත් නඩුහබ හා රජයේ පළිගැනීම්වලින් මිදෙන තත්ත්වයකට යොමු වීමයි. ඒ වෙනුවෙන් රාජපක්ෂවරු ඕනෑම වන්දියක් ගෙවීමට එකඟ වී සිටියහ.
මෙවන් තත්ත්වයක් තුළ එම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් අතරමංව සිටි උදය ගම්මන්පිල හා විමල් වීරවංශ විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවතත් දේශපාලන කරළියට පැමිණි මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂවරු පසුව බැසිල් රාජපක්ෂගේ සංවිධාන හා උපායශීලි හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් නව පක්ෂය නොහොත් පොහොට්ටු පක්ෂය ආරම්භ කළහ. එම පක්ෂය හා සම්බන්ධ වී සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ හැකි ඉක්මනින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් රටේ රාජ්‍ය බලය ලබාගනී යැයි කියාය. රටේ සත්‍ය ආර්ථික තත්ත්වය හා දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති රාජපක්ෂවරුන් විසින් නව රජයක් බිහි කිරීම උදෙසා කිසිදු උනන්දුවක් නොදක්වන බව වර්තමාන දේශපාලන විචාරකයන්ගේ මතයයි. ආණ්ඩු පාලනය ලබාගැනීමට වඩා ප්‍රමුඛතාව දියයුතු කාරණා රාශියක් රාජපක්ෂවරු අබියස ගොඩනැගී තිබේ. ඒවායින් ප්‍රධානම ඒවා නම් ඔවුන්ගේ පවුලට විරුද්ධව හා ඔවුන්ගේ කණ්ඩායමට විරුද්ධව බිහි වී ඇති, ගොඩනගා ඇති නඩු හබවලින් ගැලවීමයි. ඔවුන්ගේ කණ්ඩායමට කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ගේ දරුවන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා, මුදල් විශුද්ධිකරණ චෝදනා, අවලාද චෝදනා හා අනෙකුත් සිවිල් නඩු සියල්ලෙන්ම ගැලවීම ඔහුගේ ප්රමුඛතාවේ ඉහළම පවතින කාරණයයි.
ඒ සඳහා නව රජයක් බිහි කිරීම හා රටේ නීතියේ ආධිපත්‍යය සුරතට ගැනීම ඔවුන්ට ගැලවීමට ඇති එක් විකල්පයක් වුවත්, එය ළඟා විය නොහැකි බියකරු අපහසු තීන්දුවක් බව ඒ පිළිබඳ දන්නා ඕනෑම කෙනකු මෙන් දේශපාලන ඔස්තාර් කෙනෙකු වූ මහින්ද රාජපක්ෂටද හොඳින් වැටහේ. එසේම ඒ කෙසේ වුවත් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගොඩනගා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකාකාරයන් ශක්තිමත් කිරීමේ අභිලාෂයක් මහින්ද රාජපක්ෂට තිබිය නොහැක. මන්ද පක්ෂය ඔහුගේ නියපොත්ත යටතට ගෙනැවිත් තිබූ ජනවාරි 08 වැනිදාට පෙර කාලය තුළ වුවද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍යය පවත්වාගත හැකි වූයේ සීමාසහිතවය. එබැවින් අද වැනි දුර්වල අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධිපත්‍ය ඔහුට පවත්වාගත හැක්කේ ඉතාම අඩුවෙන් බවට තක්සේරුවක් ඔහු තුළ තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්දලාට නැවත ඇමතිකම් අරන් දෙමින් ගොඩදැමීමේ අභිලාෂයක් රාජපක්ෂවරුන්ට නොමැත. ඔවුන්ගේ එකම අරමුණ නාමල් රාජපක්ෂ යටතට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග සියල්ල ගොනුකොට දීමයි.
ඒ සඳහා කිසිදු ඉඩකඩක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිටින, මෛත්‍රීපාල සිරිසේන සිටින, විජිත් විජිතමුණි සොයිසා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් නොලැබෙන බව මහින්ද රාජපක්ෂට හොඳින්ම තේරුම් ගොස් තිබේ. එම නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකිතාක් දුර්වල කිරීම රාජපක්ෂවරුන්ගේ ඒකායන අරමුණයි.
2020 දී මේ රට බාරගැනීමට කිසිදු අපේක්ෂාවක් රාජපක්ෂවරුන්ට නැත. මන්ද නාමල් රාජපක්ෂ ඒ කාලය වනවිටත් යෞවනයෙකු වන අතර, අනිකුත් රාජපක්ෂවරුන්ට නීත්‍යනුකූල පසුබිමක විවෘත දේශපාලනයේ යෙදීමට රට තුළ අවස්ථාවක් නොමැත. මන්ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදීමේ සීමාකම් ඇති කොට තිබේ. මහින්ද රාජපක්ෂටද නැවතත් රට පාලනය කිරීම සඳහා විශාල බාධක තිබේ. ඒවා වයස සම්බන්ධයෙන්, සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම රටේ නීතියෙන් තම පවුලට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්ද අදාළ වේ. මේ තත්ත්වය අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රමුඛතම අරමුණ වන්නේ 2025 දී එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේග සියල්ල එකතු කොට 2025 දී ඔවුන්ගේම ආණ්ඩුවක් ගොඩනැගීමයි. එම ආණ්ඩුවේ ප්‍රධානියා කරවීමට බොහෝ විට ඉඩ ඇත්තේ නාමල් රාජපක්ෂ. එය මහින්ද රාජපක්ෂ විසින් ගොඩනගන ලද වසර 70 ක් රට පාලනය කිරීමේ සැලැස්මේම කොටසක් වන අතර, වෙනසකට ඇත්තේ එම සැලැස්ම වසර දහයක් ඔවුන්ට අහිමි වීමයි. නමුත් රාජපක්ෂවරුන් අපේක්ෂා කරන පරිදි නාමල් රාජපක්ෂට 2025 දී රටේ පාලනය බාරගැනීමට ඉඩකඩක් එක්සත් ජාතික පක්ෂයෙන් ලබා දේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද දක්ෂ, තරුණ දුරදක්නා නායකයන් රාශියක් මේ වනවිට එම පක්ෂය තුළ ගොඩනැඟි තිබේ.
මේ අනුව පොහොට්ටුවට උදව්පදව් කරන පාක්ෂිකයන් තේරුම් ගතයුතු දෙය නම්, 2025 වනතුරු නැවත රාජපක්ෂවරුන් ඉන්නා ආණ්ඩුවක් හැදීමට කිසිදු ඉඩකඩක් හෝ බලාපොරොත්තුවක් ඔවුන් තුළ නොමැති බවයි.
2025 න් පසුව හෝ නාමල් රාජපක්ෂ ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට හැකිවනුයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි හා තුන්වැනි පෙළ අසාර්ථක වුවහොත්ය. දැන් තිබෙන තත්ත්වය අනුව එම පක්ෂයේ පළමු පෙළට වඩා දෙවැනි සහ තුන්වෙනි පෙළ සාර්ථකය. ඒ අනුව යූ.ඇන්.පී. විරෝධී බලවේගවලට තමන්ගේ ආණ්ඩුවක් ගොඩනැගීමට අඩුම තරමින් දශක දෙකක්වත් බලා සිටීමට සිදුවනු ඇතැයි මාගේ තක්සේරුවයි.