පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එක්වීමට අවස්ථාව ලැබීම මාගේ දේශපාලන දිවියට තවත් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් විය. ඒ වෙනුවෙන් මට අවස්ථාව ලබාදුන් කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසිය පැවැත්වීමේ ප්‍රධානතම අරමුණක් වූයේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සැසිය පිළිබඳව සාකච්ඡා කිරීමයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය තේරුම් ගැනීම මෙම සැසිය තුළදී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින තරුණ විරැකියාව, ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් දූපත් ආරක්ෂා කර ගැනීම, පරිසරය ආරක්ෂා කර ගැනීම, සංවර්ධනය හා තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම යන මාතෘකා ඔස්සේ සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූ අතර, ඒ සෑම සාකච්ඡාවක් හරහාම ගැටලු සඳහා ලබගත හැකි විසඳුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි.
විශ්වාසභංගය
පවතින දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් විශ්වාශභංග යෝජනාවක් ගෙන එන බවට සඳහන් කළත් කිසිවෙක් ඒ සඳහා පෙරමුණ ගන්නා බවක් පෙනෙන්නනට නොතිබේ. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට එකාබද්ධ විපක්ෂයේ අපි පෙරමුණ ගන්නෙමු.
ජනතා ප්‍රශ්න විසඳීමට අපොහොසත් වීම හරහා රජය හා අග්‍රාමාත්‍යවරයා කෙරෙහි ජනතා විශ්වාසය අහිමි වී තිබීම යන මූලික කරුණ යටතේ මෙම විශ්වාසභංගය සකස් කිරීමට කටයුතු කෙරිණි. මෙම සටහන ලියන අවස්ථාව වන විටත් එම විශ්වාසභංග යෝජනාවේ කටයුතු සිදුවෙමින් පැවතිණ. එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ කටයුතු අද (06දා) වන විට ආරම්භ කිරීමට නියමිතව ඇති අතරම, එය අද දිනයේදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.
මෙය එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය හේතුවෙන් ගෙන එන විශ්වාසභංගයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමට වඩා මේ වන විට රටේ ජනතාවට විසඳා ගත යුතු ප්‍රශ්න රාශියක් තිබේ. එම ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් වෙයි. පක්ෂ නායකත්වයේ ගැටලුව එක්සත් ජාතික පක්ෂය විසින් විසඳා ගනු ඇත.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛව ගෙන එන විශ්වාසභංගය වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරමි. යම් පුද්ගලයෙක් මෙම විශ්වාසභංග යෝජනාවට සහය නොදක්වනවා නම් ඔහු ජනතා වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොවනු ඇත.
කැබිනට් සංශෝධනය
ජනතාව ඉල්ලූ වෙනසට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ කැබිනට් සංශෝධනයයි. කැබිනට් සංශෝධනය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් විය. මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අප පසුගිය සතියේ මෙම තීරු ලිපිය හරහා පැහැදිලි කළෙමු. අප දිගටම සඳහන් කළේ එම කැබිනට් සංශෝධනය කිසිඳු ආකාරයක විද්‍යාත්මක පදනමකින් තොරව සිදුව ඇති බවයි.
ඒ බව ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පිළිගනු ලැබුවේය. කැබිනට් සංශෝධනය සිදුකිරීම හරහා ආණ්ඩුව මූලික වශයෙන්ම බලාපොරොත්තු වූයේ රට ස්ථාවර කිරීමයි. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තවමත් ඇති වී නොමැත. රුපියල අවප්‍රමාණය වීම, කොටස් වෙළෙඳපොළේ පසුබෑම, ආයෝජන නොපැමිණීම, ලැබෙන ආයෝජනත් රටින් ඉවත්වීම යනාදී දෑ අඛණ්ඩව සිදුවෙමින් පවතී.
ආර්ථිකය කඩා වැටෙද්දීත්, සංවර්ධනය එක තැන පල්වෙද්දීත් දෙපැත්තේ නායකයන් දෙපළත්, ඇමතිවරුනුත් තමන් ආරක්ෂා වීම සඳහා කටයුතු කරමින් සිටියි. රත්නපුරයේදී සන්ධානයේ 96 එනවා නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බව පැවසූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට මාසයක කාලයක් ආණ්ඩුවේ රැදී සිටින ලෙස පවසා ඇත. මේ සියල්ලකින්ම පෙන්වන්නේ ආණ්ඩුව තවදුරටත් තමන්ව ආරක්ෂා වීම සඳහා මුක්කු ගසමින් සිටින බවයි. නමුත් එයින් රටට සිදුවන ධනාත්මක ලකුණක් නොවේ. මේ සියල්ලන්ගේම රට ස්ථාවර කිරීමට මුලින්ම දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් අවශ්‍ය අතර, ඒ සඳහා මහ මැතිවරණයක් අවශ්‍යම වෙයි.
අර්බුද
මේ වන විට රට නැවතත් අරාජික තත්ත්වයකට පත්ව ඇත. දියතලාවේ බස් තුළ බෝම්බ පිපිරෙයි. තඹුත්තේගම ජනතාව ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වෙයි. අම්පාරේ හා මහනුවර ජාතිවාදී ගැටුම්ය. නමුත් මේ සියල්ලක්ම සිදුවෙද්දී ආණ්ඩුව නිහඬව සිටියි. පසුගිය කාලයේදී රතුපස්වල ජනතාව විරෝධය දක්වන විටදී, බේරුවල මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන විටදීත් ඒවා සියල්ලම කරන්නේ මහින්ද රාජපක්ෂය. ඒවාට වග කිවයුත්තේද මහින්ද රාජපක්ෂය. නමුත් වර්තමානයේදී තඹුත්තේගම ජනතාව ජලය ඉල්ලා විරෝධතාවල නියැළෙද්දී, ඔවුන්ට එළව එළවා පහරදෙන විට, අම්පාර හා මහනුවර ගැටලු ඇතිවන විට ඒවාට මේ ආණ්ඩුව වගකීම බාර ගන්නේ නැත. කමිටු පත්කරමින් කල් මරමින් සිටියි. නමුත් මෙවැනි දෙයක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සිදුවූවා නම් ඇතිවන තත්ත්වයන් ගැන ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. ඒ සියල්ලක්ම ඔවුන් ජනතා මනසට ව්‍යාජ ලෙස ඇතුළත් කළේය. කෙසේ වෙතත් ජනතාව දැන් ඒවාට මුළා වන්නේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය පසුගිය පළාත් පාලන මැතිවරණයයි. සෑම තැනකම වෙඩි පත්තු වේ. කියමනට කියනවා මෙන් චිකාගෝ නුවර එළිපිට මහජනතාව වෙඩි තබා ඝාතනය කරයි. මේ සියල්ලකින්ම පෙනෙන්නේ රටේ සාමකාමී වාතාවරණය බිඳ වැටී ඇති බවයි.
වර්තමානයේ නීතිය හා සාමය භාරව කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සති දෙකකට ඔහු එම අමාත්‍ය ධුරය භාරගත් බවට පැවසෙයි. කෙසේ වෙතත් එම පත්වීමෙන් පසුව රටේ සෑම තැනකම ගැටුම් සිදුවෙමින් තිබේ. මහින්ද රාජපක්ෂට චෝදනා කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂාව භාරව සිටියදීත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය භාරව සිටියදීත් මේ සියල්ල ගැන නිශ්ශබ්ද වීම ගැටලුවකි.
රනිල් වික්‍රමසිංහ පොලිස් ඇමති වීමෙන් මහින්ද රාජපක්ෂ ආරක්ෂිතද?
රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය පැවරීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ආණ්ඩුව විසින් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වනු ඇති බවයි. මෙවැනි කතා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාර්ශ්ව ප්‍රකාශ කරන්නේද, එසේත් නොමැතිනම් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පාර්ශ්ව පවසන්නේදැයි නොදනී. නමුත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් කුමන අමාත්‍ය ධුර දැරුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කරන පළිගැනීම් නිමා නොවේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති සියලු චෝදනා අසත්‍ය හා අභූත බවට දැන් දැන් නිරාකරණය වෙමින් හිටපු ජනපතිවරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ලන්ම දේශපාලනික වශයෙන් ආශ්‍රය කළද එයින් අයුතු ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරයි. එසේ අවශ්‍ය නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමට කටයුතු කිරීම විනා මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් කිසි විටක පළිගෙන නොමැත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!