මේ වනවිට ලංකාවේ ආණ්ඩුවක් නෑ වගේය. පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය ජය ගත්තාත් සමගම ආණ්ඩුව හෙල්ලුනේය, දෙකඩ වන්නට ගියේය, අගමැති පිළිබඳව ගැටලු ආවේය. %පොහොට්ටුවක් කරපු හදියක්^ හන්දියක් හන්දියක් ගානේ කතා උනේ මෙහෙමය. බය නැති අයට බයක් ගෙනාවේය.
මෙහෙම වුණේ ඇයි? පසුගිය කාලසීමාව පුරාම යහපාලන ආණ්ඩුව මිනිස්සුන්ට ඇඟට දැනෙන්නට දෙයක් කළේ නැත. හැමවිටම ප්රජාතන්ත්රවාදය දැන් තියෙනවා කියමින් කෑ ගැසුවා පමණය. මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදය, නිදහස ගැන දැනෙන්නේ ප්රජාතන්ත්රවාදය හෝ නිදහස බැඳ දමා තිබ්බොත් පමණය. ජනතාවට අවැසි තමන්ට සහන මිසක ප්රජාතන්ත්රවාදය නොවේය.
මෙම ප්‍රතිඵලය ආණ්ඩුවට හොඳ රතු එළියකි. දේශපාලන න්‍යායන්ට අනුව විපක්ෂය වගේම බලපෑම් කණ්ඩායම් කියන්නේද රටකට අත්‍යවශ්‍ය වන දේශපාලන සංඝටක බව වර්තමානයේදී හොඳාකාරම ඔප්පු වී හමාරය. අපිට වැරදුණු තැනක් ඇත. ඒ බලයට පැමිණි පසු මේ බලපෑම් කණ්ඩායම්වලට හා විපක්ෂයට සලකන ආකාරයය.
විශේෂයෙන්ම බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් කරන්නේ තමන්ගේ බලය රැක ගැනීම සඳහා පමණක් තම බලය පාවිච්චි කිරීමය. අවනත නොවන විපක්ෂයේ අයවලුන්ව බයෙන් බිරාන්ත කර තැබීමය. රටක ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම පසෙක තබා තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීමට යාමෙන්ද, බලය තහවුරු කර ගැනීමට යාමෙන්ද අපට අහිමි වූ දෑ බොහෝය. කවුරු තරහ වුණත් තිත්ත ඇත්ත මේකය.
මේ දිනවල ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවයත්, ඇමෙරිකානු සී.අයි.ඒ (CIA) ඔත්තු සේවාවන් ගැන කතාව කරළියට පැමිණ ඇත. විශේෂයෙන්ම මේ පවතින ආණ්ඩුව පවත්වාගෙන යෑමට තානාපති අංශ වගේම විදේශ ඔත්තු සේවාවන් මගින් විශාල මෙහෙවරක් සිදු කරන බවට සමාජය තුළින්ම කතිකාවතක් නිර්මාණය වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන තීන්දු ගැනීමේදී වැදගත් භූමිකාවක් ඉන්දියාව සිදු කරන බව නොරහසකි. &ලංකාවේ නායකයන් තෝරන්නේ ඉන්දියාවේ සවුත් බ්ලොක් (South Block) එක*. මේ කතාව කියන්නේ ඉන්දියානු තානාපති අංශ නිලධාරියෙකි. ආණ්ඩුව, විපක්ෂය වගේම බලපෑම් කණ්ඩායම්වලටත් ඉන්දියානු රාජ්‍ය තන්ත්‍රික වගේම ඔත්තු සේවාවල බලපෑම ඉතා ඉහළය. ඕනෑම රටක් අස්ථාවර වූ විට පාලනය පහසුය. මෙය ඉතා සරල න්‍යායක් වුවද ඉන් ඇතිවන අතුරු ප්‍රතිඵල ඉතා විශාලය. ඉතිහාසයේ පටන් අප රට අස්ථාවර වීමට බලපෑ මුඛ්‍යතම සාධකයක් බවට පත්වූයේ අපේ අසමගියයි. හැමදාම හැම ආණ්ඩුවක්ම කළේ පවතින විපක්ෂ හා බලපෑම් කණ්ඩායම් මර්දනය කිරීමය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවශ්‍යය. නමුත් අප රටක් විදිහට අපේ ගමනක් යා යුතුය.
එදා ජේ.ආර් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. එහෙම කළේ ඊළඟ ඡන්දෙදී ජේ.ආර්ගේ ආණ්ඩුව පෙරළයි කියන පරාණ බයටය. ඉන්දියාව යුද්ධයට මුලින් අනුබල දුන්නද පසුව ජේ.ආර්ට කිව්වේ ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසය. ඒ වගේම L.T.T.Eය නිරායුධ කිරීමටද උදව් කරන බවය. නමුත් රට ගැන නොසිතා ජේ.ආර් දේශපාලන විසඳුමක් දුන්නේ නැත. ඒ රට බෙදනවා කියා ප්‍රචාරය කර සිරිමාවෝ බලයට එයි කියන පටු පෞද්ගලික දේශපාලන අරමුණු පෙරදැරි කරගෙනය.
එයින් වූ හානිය අදටත් අපේ රටට බලපාන්නේ කෙසේදැයි ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නැත. එදා L.T.T.Eය හා ජනවාර්ගික අර්බුදය නිමා කරන්නට ඉන්දියාව සිරිමාවෝ සහ ජේ.ආර් එකතු කරන්නට උත්සාහ කළේය. එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වූ ජේ.එන් ඩික්සිත් සිරිමාවෝ මුණගැසී කීවේ ඉන්දු - ලංකා ගිවිසුමට සහය දෙන ලෙසය. &මගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙද්දී කොහොමද මම සහාය දෙන්නෙ. මගේ පාක්ෂිකයන්ට කියන්නෙ මොනවාද? මට ප්‍රජා අයිතිය දෙන්න එතකොට බලමු* සිරිමාවෝ ඩික්සිත්ට කීවේ එලෙසය.
ඩික්සිත් මේ පණිවිඩය ජේ.ආර්ට දුන්නද ජේ. ආර්. මෙයට අදිමදි කළේය. මේ නිසා මැතිනිගේ සහාය නැතිවිය. නමුත් ඉන්දියාව අනෙකුත් වාමාංශික පක්ෂ එකතු කර ගත්තේය. විජය, රාජිත, ඔසී ප්රමුඛ මහජන පක්ෂය වගේම වාමාංශික පක්ෂ ඉන්දු ලංකා ගිවිසුමට සහාය පළ කළේය. නමුත් එදා තිබූ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට විරුද්ධ වීම නිසා ඉන්දියාවත්, ජේආර් වගේම ඉන්දු - ලංකා ගිවිසුමත් රටේ විරෝධතාවට ලක් විය. මෙයින් වූයේ නැවත රට අස්ථාවර වීමය.
1987-88 කාලපරිච්ඡේදයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ දැඩි සාවද්‍ය ප්‍රචාර ගෙන ගියේය. නමුත් ප්‍රේමදාස විපක්ෂයද එකතු කරගෙන මේ බොරු ප්‍රචාර සුද්ද කර ගන්නට සමත්විය. ලලිත් - ගාමිණීලා දෝෂාභියෝගය ගෙනාවට පසුව ප්‍රේමදාස විපක්ෂයට පහර දෙන්නට පටන් ගත්තේය. නමුත් ප්‍රේමදාසට වැරදුණේද එතැනය. ප්‍රේමදාසගේ වැටීම ආරම්භ වූයේද එතැනින්ය.
චන්ද්‍රිකාගේ පාලන කාලයේදීද කළේ විපක්ෂයට තැළීමය. මහින්ද රාජපක්ෂ කළේද එයමය. එදා විපක්ෂයට පහර දුන්නේය. එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩුවේය. අවසාන ප්‍රතිඵලය වූයේ රට යුද්ධයෙන් මුදාගත් නායකයාට 2015දී ගෙදර යන්නට වීමය. ඒ විපක්ෂයට පහරදීමේ පලවිපාකය.
ඕනෑම ආණ්ඩුවක් කළ යුත්තේ විපක්ෂයට පහර ගසමින් කෑ ගසමින්, බය කරමින් කාලය කා දමනවාට වඩා රටට දැනෙන වැඩක් කිරීමය. ඉන්දියාවේ දේශපාලනයත් මේ වගේ නැත. ඉන්දියාවේ ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නඩු පටලවන්නේ නැත. ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන විපක්ෂ මන්ත්‍රීවරු කූඩුවේ දමන්න සටකපට දේශපාලන තුරුම්පු ගහන්නේද නැත. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අයත් තමන්ට දූෂණ හෝ වංචා චෝදනා ඇති නම් ඒවා හොයන්නට ඉඩ දෙයි. ආසන්තම උදාහරණය කොංග්රස් පක්ෂයේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංය. ඔහු තමන්ට එල්ලවන චෝදනාවලට තම නිර්දෝෂිභාවය පෙන්වීම සඳහා කළේ ස්වාධීන පරීක්ෂණයකට ඉඩ දීමය. මේවා අපේ රටට හොඳ පාඩම්ය.
ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී - රනිල් ඇතුළු හැමදෙනාම කළේ විපක්ෂයට තළ තළා හිටපු එකය. දැන්වත් කළ යුත්තේ පරණ පාඩම් පොත් පෙරළා බලා බලය රැක ගන්නට කරන දේශපාලන ගේම් ගහන්නේ නැතිව හරියට රට කරගෙන යෑමය. ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමය. රෝ හා සී.අයි.ඒ කරන්නේද තම රටේ ප්‍රතිපත්ති රාමුව සකස් කර ඒවා ඉදිරියට ගෙන යාමට දේශපාලඥයන්ට අවශ්‍ය පරිසරය සැකසීමය. අප කළ යුත්තේ අපටම අනන්‍ය රටට ඔබින ප්‍රතිපත්තියක් සකසා ගෙන රටක් විදියට ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඉදිරියට යෑමය.
නිපුන් ඒකනායක