ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතිය ඉතා තීරණාත්මක වේ. එයට බලපෑ විශේෂම හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමයි. එය ඉදිරිපත් කිරීමට මූලික වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනවාරි අට වැනි දා ආණ්ඩු පෙරළියට පාදක වූ දින සියයේ වැඩසටහන මගින් යෝජනා කර තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පදනම් කර ගෙන ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙම විසි වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබේ. නමුත් මාගේ පවතින එක තක්සේරුවක් නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පදනම් කොට ඉදිරිපත් කරන ලද මෙම විසි වැනි සංශෝධනය මගින් ඔවුන් විසින් රට අස්ථාවර කිරීමේ උපක්රමික යෝජනා ද ඉදිරිපත් කොට ඇති බවයි. විශේෂයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති විසි වැනි සංශෝධනය මගින් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයන් අමතක කොට තිබේ. එසේම වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කොට ගත් විශේෂ යෝජනා කිහිපයක්ද විසි වැනි සංශෝධනයට අන්තර්ගත වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නැතිව එය දිනාගැනීමේ විශාල බාධාවක් පවතින බව මාගේ තක්සේරුවයි. ජනවාරි 08 වෙනිදා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තවදුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත. නමුත් එම සද්කාර්යය ඉටුකිරීමේදී දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් විශේෂ කොට ගනිමින් යෝජනා ඉදිරිපත් කිරීම එතරම් ගෝචර නොවන බව මාගේ අදහසයි. එවැනි අවිද්‍යාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් සිදුවිය හැකි බරපතළ වරද වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්බුද ඇති වීමයි. එමනිසා දේශපාලන පක්ෂවල උවමනා එපාකම් ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම අවිද්‍යාත්මක යෝජනා වන අතර, එමගින් දීර්ඝකාලීනව රටට විශාල හානියක් සිදුවනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම සිදු කරන ලද දේශපාලන ක්‍රියාවලීන් නිසාවෙන් රටට තිබූ බොහෝ අවස්ථා අහිමි වූ බව මාගේ අදහසයි. විශේෂයෙන් විසි වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම තනි රටක් හැටියට නොව රටේ සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව සිදුකළ යුතු වුවද, ඔවුන් ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් නොකොට තනි මතයට ඔවුන් විසින් මෙම සංශෝධන ඉදිරිපත් කොට තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය කුමක්ද යන්න කීමට තවමත් කල් වැඩිය. නමුත් රාජ්‍යයක ජනාධිපති නොමැති අවස්ථාවක වැඩ බැලීම සඳහා කථානායකවරයා යෝජනා කර සිටීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ පැහැදිලි වේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දිනාගැනීමට හැකියාවක් ඇත්දැයි සැකසහිතය.
අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවශ්‍ය කළ පරිදි තැටිය රත් වී තිබූ අවස්ථාව නොදැනීමේ ආදීනව රට මුහුණදෙමින් තිබේ. එමනිසා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලටම මේ අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අවාසිදායක වන බවට මත පළවෙමින් තිබේ. එමනිසා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ දේශපාලන අනාගතයට වඩාත් හොඳ බව එම පක්ෂ අභ්‍යන්තරයේ විශ්වාසයයි. එමනිසා එම පක්ෂය රටේ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා ජනාධිපතිවරණයකට මුහුණදීමට සූදානම් වේ. විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු විසින්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු ඇතැයි මාගේ විශ්වාසයයි. විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිටිනුයේ එය අහෝසි කළ යුතුය යන තත්ත්වයේ නමුත්, එය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වීමේදී රට තුළ වෙනත් විශාල ප්‍රශ්න හා අර්බුද ඇතිවන්නේ නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සහයෝගය ලබාදීමට උනන්දු නොවනු ඇත.
ඒ අතරම කිවයුතු අනිත් විශේෂිත කාරණය වන්නේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇති විශාලතම බාධාව වන ජනමාධ්‍යවල අවිද්‍යාත්මක හැසිරීමයි. විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍ය හා සාම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍ය රටේ දේශපාලනය සම්බන්ධයෙන් හැසිරෙනුයේ ඉතා අවිද්‍යාත්මක හා මුග්ධ ආකාරයටය. එමගින් රටට හා රටේ ආර්ථික, දේශපාලන, සමාජීය ප්‍රතිසංස්කරණවලට සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකිය. විශේෂයෙන් පසුගිය දිනවල රටේ විද්‍යුත් මාධ්‍යවල දිගින් දිගටම තීරණාත්මක ලෙස ප්‍රචාරය කරමින් තිබෙන දේශපාලන කාරණා තුළින් රටටත්, දේශපාලඥයන්ටත් කිසිදු ප්‍රයෝජනයක් නොවන අතර, එමගින් දේශපාලන ක්ෂේත්රය පිළිබඳ රටේ ජනතාව අතර ඇති විශ්වාසය බිඳවැටෙනු ඇත. රටක දේශපාලන කණ්ඩායම් අතර විශ්වාසය ජනතාව තුළින් බිඳ වැටුණු විට සිදුවනුයේ කාටවත්, කිසිවෙකුටත් පිහිට විය නොහැකි විශාල අර්බුදයකි. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ රටක් අරාජික වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය.
අවසාන වශයෙන් කිවයුත්තේ අද රට මුහුණදී තිබෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් රටේ සියලුම දේශපාලන පක්ෂද, මෙම සියලුම දේශපාලන නායකයන්ද, සිවිල් සංවිධානද එම සංවිධානයේ ක්රියාකාරීත්වයද, ජනතාවද, රාජ්‍ය නිලධාරීන්ද කැපවීමෙන් උනන්දුවෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් මෙහිදී ආණ්ඩුව විසින් තමන්ට ලැබුණු ජනවරමට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර, එම ජනවරමට පිටුපෑම අනාගතයේදී බරපතළ දේශපාලන ප්‍රතිඵලවලට මුහුණදීමට හේතුවක් වනු ඇත. එය සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කිරීම සියලුම දේශපාලන පක්ෂවල වගකීමකි.