'පරිභෝජනය' යනු අලුත් දෙයක් නොවේ. මානව ශිෂ්ටාචාරයේ සෑම කාලයකදීම මිනිස්සු පරිභෝජනය කළහ. එහෙත් 20 වැනි සියවසේ මැදභාගයෙන් පසු මිනිසාගේ පරිභෝජනය ඉන් පෙර නොවූවිරූ දෙයකි. අද වන විට භාණ්ඩ විකුණා ගැනීම සඳහා වෙළෙඳ පොළ විසින් මිනිසෙක් නිර්මාණය කරගනු ලබමින් සිටියි.ධනේෂ්වරවාදයේ එක්තරා යුගයක් වන නව ලිබරල්වාදයේ නැගීම මුළුමනින් පදනම් වී ඇත්තේ පරිභෝජනය මතයි. මානව ශිෂ්ටාචාරයේ මුල් අවදියේදී මිනිස්සු තමන්ගේ පැවැත්ම සඳහා පරිභෝජනය කිරීමට පමණක් සීමා වී සිටියහ. ඔවුහු ඇඳුම් පවා එම යුගයේ පරිභෝජනය නොකළහ.
එහෙත් පසුගිය සියවසේදී සිදු වූ මහා විපරිවර්තනය නම් මිනිසා ඉක්මවා පරිභෝජනය ගමන් කිරීමය. එනම් මිනිසා විසින් පරිභෝජනය පාලනය කරනු ලැබීම වෙනුවට පරිභෝජනය විසින් මිනිසා පාලනය කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස කෙනෙකුගේ ජංගම දුරකථනය තවත් අවුරුද්දක් දෙකක් හෝ පාවිච්චි කිරීමට හැකියාව තිබුණද, එය ඉවතට දමා අලුත් පන්නයේ ජංගම දුරකථනයකට යොමු වෙයි. මිනිසා පාලනය කරන අභූත බලය හෙවත් දෘෂ්ටිය ගොඩනගන්නේ පරිභෝජනවාදී සමාජ ක්‍රමයයි.
අද පරිභෝජනවාදයේ හිනිපෙත්තට නැග ඇති ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය සහ වෙනත් යුරෝපීය ජාතීන් ගත්තද 17, 18, 19 සියවස්වලදී පරිභෝජනය කළේ, තමන්ට අවශ්‍ය වූ දේ පමණි. අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම සහ අරපිරිමැස්ම ඔවුන්ගේ ජීවිතවල ස්වරූපයක් විය.
එහෙත් ණය ලබා ගැනීම දැන් මිනිස් ජීවිතවල ස්වරූපයකි. මිනිසුන් හදාගත් නිවාස පිටුපස ඇත්තේ ණයය. වාහන පිටුපස ඇත්තේ ණයය. පරිභෝජනය කරන බොහෝ දේ පිටුපස ඇත්තේ ණයය. ක්‍රෙඩිට් කාඩ්ය. මුළු ලෝකයේම ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 164,000,000,000,000කි. එය ලෝකය දැනට නිෂ්පාදනය කරන දළ දේශීය නිෂ්පාදිතයට වඩා සියයට 225කි.
දැනට ලෝකයේ දෙවැනි ආර්ථිකය වන සහ ඉදිරියේදී පළමු ආර්ථිකය වේ යැයි සිතන චීනයේ ණය ප්‍රතිශතය සියයට 256කි. මෙම ණය වීම් සිදුව ඇත්තේ පරිභෝජනය උදෙසාය. ඇමෙරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 22කි. පරිභෝජනවාදය ලැබූ විශාලතම දෘෂ්ටිවාදී ජයග්‍රහණය නම් තමන්ට අවනත වන මිනිසෙකු සකස් කර ගැනීමය.
බඩු භාණ්ඩ අධික ලෙස පරිභෝජනය කිරීමෙන් සංතෘෂ්ටියක් ලැබීමේ අදහස (ideology of pleasure) ස්වභාවයෙන්ම මිනිසා සතු වූවක් නොවේ. ධනේෂ්වර ක්රමයේ එක්තරා අවදියකදී නිම වූවකි. රිචර්ඩ් රොබින්ස් වැනි වියතුන් කියා සිටින පරිදි පරිභෝජනයට අවශ්‍ය මිනිසා නිර්මාණය කර ගැනීම සඳහා 20 වැනි සියවසේදී වෙළෙඳ පොළ තුළ බොහෝ වෙනස්කම් සිදු කෙරිණි.
එකක් සුපිරි වෙළෙඳ සැල් ආදිය ඇතිකර තමන්ට භාණ්ඩ තෝරා ගැනීමට අවකාශ සැලසීමය. අනෙක නම් දැන්වීම්කරණයේ සිදු වූ විප්ලවයයි. පරිභෝජනය අධ්‍යාපනය ඇතුළු සෑම සමාජ ආයතනයක් වෙතම එන්නත් කිරීම තවත් උපායමාර්ගයකි. මිනිසුන්ට ණය ලබා ගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීමද එක් වැඩපිළිවෙළකි.