'මං දැන් මේ පාසලට පැමිණෙන කොට අපේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍යාවන් මාව පිළිගත්තා. මට බුලත් අතක් දීලා ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට වැන්දා. මම කිව්වා වඳින්න එපා කියලා. මොකද අපි බලය ඉදිරියේ දණ ගහන්නෙ නැති තරුණ පරපුරක් ඇති කරන්න ඕනි'
මේ පසුගියදා මංගලගෙන් ඇසුණු සුපිරි කතාවකි. කතාව සම්පූර්ණ ඇත්තය. හැබැයි මෙහි පොඩි කොස්සක් ඇත. අපි බලය ඉස්සරහා නැවෙන්නට වුවමනා නැත. හැබැයි බෞද්ධ දර්ශනයේ පවසා ඇත්තේ පිදිය යුත්තන් පිදිය යුතු බවය. ඒ වගේම වැඩිහිටියන්ට ගරු කිරීම අපි කුඩා කාලයේ සිට සිදුකරන දෙයක්ය. මංගල මෙහිදී තවත් දෙයක් කීවේය. 'අම්මා, තාත්තා, ගුරුවරුන්, ආගමික ශාස්තෘන් වහන්සේලාට වගේම ආගමික නායකයන්ට වඳින්න. අපිට වඳින්න එපා. මොකද අපි මොනවා කරනවද කියලා කවුද දන්නේ' මෙහි වැදගත්ම තැන එතැනය.'මොනවද කරන්නෙ ඒක තමයි දන්නෙ නැත්තෙ' මේ මිනිස්සු කියන කතාය.
ලංකාව කියන්නේ සංස්කෘතික රටකි. සංස්කෘතියෙන් පැමිණෙන දේවල් බලහත්කාරයෙන් වෙනස් කරන්න බැරිය. මංගලට එදා ළමයි ඇවිත් වැන්දේ මංගල දේශපාලඥයෙක් නිසා නොවේය ඔහුගේ වැඩිහිටිකමටය. ඔන්න ප්‍රින්සිපල් මංගලට වැන්දා නම් වැඩේ චාටර්ය. ඇරිස්ටෝටල් පවසන්නේ මිනිසාට ජීවත්වීමට ආහාර, ලිංගිකත්වය හා බලය අවශ්‍ය බවයි. මේ දේශපාලනික තියරිය මංගල අමතක කර ඇත.
පිදිය යුතු පුදන්නට හැකි දේශපාලඥයෝ අතීතයේ සිටියේය. අදත් ඇත. ඩී.එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානයක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස, සී.ඩබ්.ඩබ්. කන්නංගර, ආතර් වීදියෙස්, ජේ.ආර්. ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, මහින්ද රාජපක්ෂ, ගාමිණී දිසානායක ඒ වගේම මංගල සමරවීර ද වඳින්නට සුදුසු දේශපාලඥයන් බව අමතක කළ නොහැකිය.
මෙතැනට සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා පැමිණියත් ළමයි වඳින්නේ නැතිද? එතුමාට වැඳීම අකැපද? පිදිය යුත්තා පිදිය යුතුය. මේ සංස්කෘතික හර පද්ධති නිකං පැමිණි ඒවා නොවෙන බව මතක් කර දිය යුතුය. වැඳීමෙන් අදහස් කළේ වැඩිහිටියන් කෙරෙහි ඇති ගෞරවය ආරක්ෂා කිරීමත් මාන්නය කුඩා කල සිටම දුරු කිරීමත්ය. එබැවින් බලයට වඳින්න එපා යැයි කීම හරි වුවද, පුද්ගලයාට වඳින්න එපා යැයි කීම අනුමත කළ නොහැකිය. ඩී.එස්. ලංකාව සංවර්ධනය කළේය. ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී රට සුපෝෂණය කරන්නට යත්න දැරුවේය. සර් ජෝන් කොතලාවල යුක්තියට වැඩ කළ අයෙකු විය. ඔහුගේ දඩබ්බර වැඩ තිබුණත් යුක්තිගරුක මිනිසෙක් විය. තමාව 'පට්ට ගොනෙකුට' ඇන්ද කාටුන් ශිල්පියෙකු වූ පී.එස්. ප්‍රනාන්දු මහතාව ගෙදරට ගෙන්වා ඔහුට කෑම බීම දී ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදීමට තරම් කොතලාවල මහතා නිහතමානී විය.
කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනය අපට ලබා දුන්නේය. කොස් මාමා වූ ආතර් වී දියෙස් රටට වැඩක් කළ දේශපාලඥයෙකි. ඔවුහු වැඳීමට සුදුසුය. මහින්ද රාජපක්ෂ රට බේරා ගත්තේය, ජේ.ආර්. දරුවන්ට පාසල් පෙළ පොත් ලබා දුන්නේය, මංගල රටට දැනෙන වැඩක් කළේය. (එකල) ප්‍රේමදාස දුප්පතාගේ හිතවතා විය. ගාමිණී මහවැලිය පටන් ගත්තේය. ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්වය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදුන්නේය. ඩඩ්ලි නීතිගරුක නායකයෙක් විය. වරක් ඔහු මෝටර් රථය පදවාගෙන යන විට පොලීසිය නතර කළේය. මෝටර් රථය තුළ ඉන්නේ ඩඩ්ලි බව දැනගත් පොලිස් නිලධාරියා ඩඩ්ලිට යන්න කීවේය. හැබැයි ඩඩ්ලි පොලිස් නිලධාරියාට කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය. අපි ඕනෑම කෙනෙකුට වඳින්නේ ඔහුගේ හොඳ ගුණාංගයන්ටය. කවුරුන් අතේද ඕනෑ තරම් වැරදි ඇත. හැබැයි පිඳිය හැකි ගුණාංගද ඇත. මංගල කීවේ ගුරුවරුන්ට වඳින්න දේශපාලඥයාට වඳින්න එපා කියාය. හැබැයි ගුරුවරයා ඡන්ද ඉල්ලලා දේශපාලඥයෙකු වුවහොත් ඔහුටත් වඳින්නට බැරිය.
අපේ සංස්කෘතිය සමග බද්ධ වූ මේ සංස්කෘතිකමය හර පද්ධතීන් වෙනස් නොකොට කළ යුත්තේ දේශපාලඥයන්ගේ විනය හැදීමය. මංගලම පිළිගන්නේ දේශපාලඥයන්ට බලයට වඳින්න ඕනේ නෑ කියාය. එනම් වඳින්නට සුදුසු නෑ කියාය. රැඩිකල් විදිහට හිතන මංගලලා කරන්නට ඕනේ එහෙනම් ළමයින්ට වඳින්න එපා කරවන එක නෙවේය. ඒ ළමුන්ට වඳින්නට හැකි පරිදි දේශපාලඥයන් හැඩගැස්වීමය. මුලින්ම ශාඛා සමිතියේ සිටින නොසන්ඩාලයන් පලවා දැමිය යුතුය. ඒ වගේම තමන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ එවැනි අය ඇතොත් එළවා දැමිය යුතුය. පක්ෂය ශුද්ධ කළ යුතුය. පට්ට හොරුන්, කට්ට හොරු, දූෂකයෝ එළිදරව් කිරීම කළ යුතුය. මංගල හොරෙක් දූෂිතයෙක් නොවේය. ඔහු තමන් කවුද කියන එක පිළිගන්න තරම් හයිය පිටකොන්දක් තියෙන දේශපාලඥයෙකි. ඒ නිසා මංගලලා කළ යුත්තේ බලයට වඳින්න එපා කිය කියා ළමයින්ට කියා දෙනවාට වඩා දූෂිතයන්, පට්ට හොරුන් එළවා දැමීමට සටන අතට අරගෙන දේශපාලනයට වන්දනීය තත්ත්වයක් ඇති කිරීමට පෙරමුණ ගෙන කටයුතු කිරීමය.
'ඔබේ කැඩුණු සපත්තුව සාදා ගැනීමට ඔබ සොයන්නේ දක්ෂතම සපත්තු සාදන්නාය. අසනීප වන විට ඔබ සොයන්නේ දක්ෂතම වෛද්‍යවරයාය. එහෙත් සියලු කලාවන් අතරින් උසස්ම පාලන කලාව වන දේශපාලන කලාව සඳහා ඔබ තෝරා ගත්තේ අදක්ෂ කපටි රැලකි' මෙහෙම කිව්වේ ප්ලේටෝය. එබැවින් කළ යුත්තේ දේශපාලනයට අදක්ෂ කපටියන් පත් නොකර ගැනීමටත්, මේ දේශපාලනය ගැන නිසි දැනුමක් දරුවන්ට ලබාදී ඉදිරියේදීවත් පිදිය හැකි මිනිසුන් දේශපාලන කරළියට ගෙන ඒමත්ය.
නිපුන් ඒකනායක