'ලිංගික දූෂණය' යනු කිසියම් අයෙකුට එරෙහිව ඔහුගේ හෝ ඇයගේ කැමැත්තකින් තොරව සිදුවන ලිංගික අඩත්තේට්ටමකි (sexual assault). මෙවැනි දූෂණයක් විවිධාකාරවලින් සිදුවිය හැකිය. ශාරීරික බලය භාවිත කරමින්, අවි ආයුධ හෝ වෙනත් මෙවලම් භාවිත කරමින් හෝ තමන් සතු නිලතල ආදිය භාවිත කරමින් එය සිදුවිය හැකිය. මෙහිදී ලිංගික කාර්යයට ලක්වන්නා විසින් දෙනු ලබන වලංගු කැමැත්ත (valid consent) වැදගත් කරුණකි. මන්දබුද්ධික තත්ත්වයක් දක්වන පුද්ගලයෙකු හෝ ළමයෙකු විසින් ලබාදෙනු ලබන කැමැත්ත වලංගු කැමැත්තක් වශයෙන් හඳුනා නොගැනේ.
ඉංග්‍රීසියෙහි 'Rape' යනුවෙන් යෙදෙන යෙදුමට සිංහලෙහි යෙදෙන 'දූෂණය' යන්න නිවැරදි පරිවර්තනයක් වශයෙන් සැලකීමට නොහැකිය. දූෂණයක් තුළින් අපවිත්රත්වයක් පිළිබඳ අදහසක් නිර්මාණය වන අතර, දූෂණයට ලක්වූ තැනැත්තා කිළිටි වූ කෙනෙකු වශයෙන් සමාජ අපවාදයට ලක්වීමක් ඒ තුළින් සිදුවෙයි. එම යෙදුම තුළින් අපයෝජනයට ලක්වූ පුද්ගලයෙකු නැවත වරක් අපයෝජනයට ලක්වෙයි. පළමුව අපයෝජකයාගෙන්ද, දෙවැනුව 'දූෂණය' වැනි යෙදුමක් භාවිත කරන මාධ්‍ය සහ වෙනත් සමාජ ආයතන මගින්ද අපයෝජනයට ලක්වෙයි.
ඉංග්‍රීසියේ යෙදෙන 'Rape' යන යෙදුම ගැනෙන්නේ ලතින් භාෂාවෙහි 'Rapere' යන වදනිනි. මෙහි අර්ථය වන්නේ යමක් බලහත්කාරයෙන් පැහැර ගැනීම (to snatch) යන්නයි. රෝමානු නීතිය යටතේ කාන්තාවක බලයෙන් පැහැර ගැනීම සඳහා යොදා ගැණුනේද මීට සමාන අර්ථයක් ඇති වදනක් වන 'Raptus' යන්නයි. නමුත්, එහි ලිංගික බලහත්කාරකමක් පිළිබඳ අදහසක් නොතිබිණි. නමුත්, මධ්‍යකාලීන ඉංග්‍රීසියෙහි ලිංගික හිංසනයද 'Rape' යන වදනින් අර්ථවත් විය. කෙසේ වෙතත්, මේ වදනින් ලිංගික වශයෙන් හිංසනයට හෝ අපයෝජනයට ලක්වූ පුද්ගලයා අපවිත්රත්වයට හෝ කෙළෙසීමට ලක්වූ පුද්ගලයෙකු බවට වර්ග නොකෙරේ. භාෂාව භාවිත කිරීම ඉතා වැදගත් කරුණක් වන්නේ භාෂාව තුළ බොහෝ සූක්ෂම දේශපාලනික (micro-politics) අදහස් සංගෘහිතව ඇති බැවිනි.
විවිධ සමාජයන්හි ලිංගික අඩත්තේට්ටම් පවතින්නේද විවිධ මට්ටම්වලිනි. අසර්බයිජානය වැනි රටක එය ලක්ෂයකට 0.2ක් පමණ වන අතර, බොට්ස්වානා වැනි රටක 92.9කි. වාර්තා වන ලිංගික බලහත්කාරයන්ට අමතරව වාර්තා නොවන ඒවා බොහෝය. ඇතැම් සිද්ධීන් වාර්තා වන්නේ එවැනි බලහත්කාරකම් සිදුවී බොහෝ කාලයක් ගත වීමෙන් පසුවය. වරක් ඉන්දියාවේ කාන්තා සහ ළමා සංවර්ධන අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකදී පෙනී ගියේ එරට ළමයින්ගෙන් සියයට 53ක් පමණ විවිධ ලිංගික අපයෝජනයන්ට (sexual abuse) ලක්වන බවයි.
ලිංගික අඩත්තේට්ටම් වැඩි වශයෙන් ලොව පුරා සිදු කරනු ලබන්නේ පිරිමින් විසිනි. ඊට අමතරව බන්ධනාගාර ආදියේ ගැහැනුන් විසින් ගැහැනුන් ලිංගික අඩත්තේට්ටම්වලට සහ අපයෝජනයට ලක්කිරීම සිදුවන බව අධ්‍යයනයන් මගින් හෙළිවී තිබේ. යුද්ධ පවතින අවස්ථාවලදී ලිංගික බලහත්කාරකම් සිදුවීමේ ශීඝ්‍රතාව බොහෝ ඉහළය. මෙවැනි ලිංගික බලහත්කාරකම්වලට ලක්වූ පුද්ගලයන්ට කෙටිකාලීනව සහ දිගුකාලීනව භෞතික සහ මානසික බලපෑම් ඇති වේ.
දර්ශන අශෝක කුමාර