ලංකාවේ සමාජය තුළ හැදුණු, වැඩුණු සෑම කෙනෙකුටම අරගල, ඝාතන, රණ්ඩු හා වෙනස්කම් නිසා ඒ මත පදනම්ව නරකට සැලකීමේ අත්දැකීම් තිබේ. නමුත් එසේ නොවන බොහෝ සමාජ තිබෙන අතර, එම සමාජවල හැදෙන, වැඩෙන පිරිස් තොරතුරු හෝ ප්රවෘත්ති ලෙසවත් එවැනි කාරණා පිළිබඳ උනන්දුවක් නොදක්වති. ලෝකය එතරම් නරක තැනකැයි එවැනි සමාජවල අයට තේරුම් ගැනීමට අපහසු වේ. මේ සඳහා හොඳම උදාහරණය නවසීලන්ත සමාජයයි. මට මගේ ජීවිතයේ මාගේ දරුවා සමග එවැනි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පසුගිය සතිය තුළ මුහුණ දීමට සිදු විය. නුවර ප්‍රදේශයේ සිදු වූ ජාතිවාදී, අමානුෂික, අශීලාචාර කලබලය ඔහුගේ ජීවිතය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තිබූ ආදරය, එහි වෙසෙන මිනිසුන් ගැන ඔහුගේ තිබූ ප්‍රේමය සුණුවිසුණු කරන්නට සමත් විය.
අප යුද්ධයට මුහුණ දෙන යුගයේදී කුඩා දරුවෙකු වූ ඔහු දැන් නව යොවුන් වියේ අයෙකි. දේශපාලනය, සමාජය, කලාව, සහිත්‍ය, හා ප්‍රේමය පිළිබඳ ඔහුට ඔහුගේම අදහස් තිබේ. අප නවසීලන්තයේ වාසය කළද, නිවස තුළ ශ්‍රී ලංකාවේ කටයුතුවලට හා තොරතුරුවලට වැඩි ඉඩක් වෙන් වී ඇති නිසාම මගේ දරුවාටද ලංකාවේ පසුගිය දිනවල සිදුවෙමින් පැවැති තත්ත්වය පිළිබඳ අසන්නට ලැබුණු බැවින් ඉන් පසු අපටත් වඩා එම ගැටුමේ දිග පළල ඔහු විසින් සොයා ගන්නා ලද අතර, ලංකාවේ ජන සමාජය පිළිබඳ විශාල පිළිකුලක් ඔහු තුළ ඇති වී තිබේ. ඔහුගේ මතය වන්නේ ලංකාවේ බහුතරයට බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. මන්ද කිසිදු විටක සුළුතරයකට සමාජයක් අර්බුදයකට තල්ලු කළ නොහැකි අතර, බහුතරයේ යම් අවබෝධයකින් හා සහයෝගයකින් පමණක් මෙවැනි කුරිරු සමාජ ක්රියාකාරීත්වයක් පාලනය කළ නොහැකි තත්ත්වයකට වර්ධනය වීමට හැකියාවක් ලැබෙනු යැයි ඔහු සිතයි. මහත්වරුනි, ඒ තමන්ගේ ආච්චිලා, සීයලා, මාමලා, නැන්දලා ලංකාවේ ජීවත් වන ශීලාචාර සමාජයක යොවුන් තරුණයෙක් ලංකාවේ මෙම අර්බුදය දකින හා ඊට දක්වන ප්රතිචාරයයි. එසේ නොවන වැසියන් අප ගැන සිතනුයේ අප ලෝකයේ දියුණුම ශ්‍රේෂ්ඨ ජාතිය ලෙසද? ඔවුන් අපට සලකනු ලබන ආකාරය මැදපෙරදිග හෝ සිරියාවේ ත්රස්තවාදීන්ට වෙනස් නොවෙනු ඇත. අප දැනටමත් විමල් වීරවංශගේ වචනයෙන් කියන්නේ නම් ජාත්‍යන්තර දඬු අඬුවට හිරවී හමාරය.
2015 මාර්තු 29 වැනිදා අප විසින් ගලවන ලද සම්බාධක උගුල නැවත පැමිණෙනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මත පළකරන සියලු දෙනා පහේ අනුමාන කරමින් සිටිති.
මානව හිමිකම් කවුන්සිලයේ සම්බාධක යනු සමාජ මාධ්‍ය පරිහරණයට බාධා කිරීම වැනි සරල කාරණයක් නොවන්නේය. ප්‍රථමයෙන්ම අපට ඉන්ධන මිලදී ගැනීමට ඇති අයිතිය අහිමි කරන්නේය. එමගින් රථවාහන හා යන්ත්‍ර සූත්‍ර නොවැදගත් යකඩ ගොඩවල් බවට පත්වන අතර, මුළු රටේම කාර්යාල හා කර්මාන්ත ශාලා වැසී යනු ඇත. අරාබියේ රටවල් සම්බාධක මැද සිරියාව ඉරානය මට්මට හෝ ආරක්ෂාවන්නේ ඔවුන්ට ඉන්ධන යහමින් ඇති බැවිනි. එක්සත් ජාතීන්ගේ සම්බාධක මගින් අපේ ජන ජීවිතය අවුල් කිරීමට ගත වන්නේ දින තුනකි. එනම් ඊළඟ තෙල් නැව හරවා යැවූ පසු අර්බුදය ආරම්භ වේ. උතුරු කොරියාවේ මෙන් මහමග කුසගින්නේ මියැදෙන්නට ගත වන්නේ මාස දෙකකි. දැන් කෙනෙකුට අවශ්‍ය නම් %කොස්, දෙල් කනවා බොලව්^ කියා ඉදිරියට පැමිණිය හැකිය. මේ මොහොතේද කොස් ගෙඩියක් පොළේ විකුණන්නේ රුපියල් 100කටය. වෙන කන්න දෙයක් නැති සමාජයක එය කෝටියක් වනු ඇත.
ඉන් පසු වෙනිසියුලාවේ මෙන් පැරසිටමෝල් පෙත්තට පෝලිමේ ඉන්නා විට හාමුදුරුවන් වහන්සේලා සිවුරු හංගාගෙන පෝලිමට එනු ඇත. මන්ද එවැනි තත්ත්වයක් යටතේ උන්වහන්සේලාගේ පරම සතුරන් වන්නේ මුස්ලිම් කඩ ගිනි තැබූවන්ට සාදුකාර දුන් උපාසක අම්මලා හා තාත්තලාය.
මෙවැනි අර්බුද රාශියක් ලිවිය හැකි වුවද, අප මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමය. ඒ සඳහා ප්‍රථමයෙන් මෙම අර්බුදය තේරුම්ගත යුතු අතර, එයට ජනතාව ලෙස බුද්ධිමත්ව මුහුණ දිය යුතුය.
රාජපක්ෂවරුන්ගේ දස වසරක පාලන කාලය තුළ ලංකාවේ අධිපති මතවාදය වූයේ, සිංහල ජාතිය මත පදනම් වූ රාජ්‍යයක් නිර්මාණය කරන බවට ග්‍රාමීය සිංහල බුදු දහම කේන්ද්‍රගත ජනතාවට උදේ, සවස ගිල්ල වූ ලණුවයි. මෙය මගින් අප සමාජය රෝගී කර ඇත්තේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රට පුරා වේදිකාවල නෙළුම් මල් පුබුදුවමින් ඔවුන් ශ්‍රී ලාංකික ගැමි ජනතාවට පොරොන්දු වූයේ දෙමළ, මුස්ලිම් ජනතාව නොමැති ජාතිකවාදී රටකි, සමාජයකි. එය 1974 දී උගන්ඩාවේත්, 1931 ජර්මනියේත්, අද උතුරු කොරියාවේ නායකයන් එම රටවල පහළ මධ්‍යම පන්තියට දුන් පොරොන්දුවයි. එම පොරොන්දුව මත පදනම්ව ඔවුන් ජයගත් නමුත් ඔවුන්ගේ මතවාදී නායකත්වයෙන් උද්දීපනය වූ සමාජ දැක්වූ කුරිරු ප්‍රතිචාරය මෙයයි.
ලංකා ඉතිහාසයේ රාජපක්ෂවරු තරම් වගකීම් විරහිත නායකයන් නිදහසින් පසු බිහි වී නොමැත්තේය. හම්බන්තොට වරාය ගොඩනැගීමේ සිට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීම දක්වා පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ වගකීම් විරහිත බවත්, අශීලාචාර බවත්ය. දේශපාලනයේදී ඔවුන් මිනිස් සිත් තුළ ඇති භාවයන් තමන්ගේ වාසියට යොදා ගනු ලබන්නේ ලෝකයේ පිළිගත් ආචාර ධර්ම තුට්ටුවට මායිම් නොකරමිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍යයට රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීන්දුවක් ගැනීමටත්, ඔවුන්ගේ කප්පරක් අපරාධ විශේෂ අධිකරණයක අසා හැකි ඉක්මනින් සිවිල් සමාජයෙන් ඉවත්කර තැබීමටත් කාලය පැමිණ තිබේ.