මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ විට බහුලවම පක්ෂ මාරු කිරීම් සිදුවෙයි. මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති හෙයින් පක්ෂ මාරු වීම් සිදුවෙයි. ලිපිය ලියන විට ආසන්නතම සිදුවීම් වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජනිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක, ජනිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්ම මහත්මීන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමයි. ඇය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියකි.
කලකිරීම් වැනි කරුණු හේතු කරගෙන පක්ෂ මාරු සිදුවුවත් අවධානය කළ යුතු කරුණ වන්නේ පෞද්ගලික වරදාන වරප්‍රසාද ගැන සිතනවාද එසේත් නොමැතිනම් රට ගැන සිතනවාද යන්නයි. දිනෙන් දින රට අගාධයකට යන විට අප සැමගේම වගකීම විය යුත්තේ රට හරි මගට ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළකට සහාය දැක්වීමය. එහිදී පක්ෂයක පාට හෝ ලකුණ වැදගත් නොවෙනු ඇත. වැදගත් වන්නේ ප්‍රතිපත්තිය. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ පිරිස ඊයේ රාත්‍රිය දක්වාම ආණ්ඩුව විවේචනය කළ පිරිසය. එසේම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිසය.
දේශපාලඥයෙක් පක්ෂයක් මාරු කරයි නම් එය ප්‍රතිපත්ති මත සිදුවන දෙයකි. වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය පෙරේදා රාත්‍රිය දක්වා විවේචනය කළ පිරිස පසුවදා ආණ්ඩුවට එක්වෙන්නේ කුමක් නිසාදැයි යන්න පිළිබඳව අමුතුවෙන් ජනතාවට පැවැසිය යුතු නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය කරන විට එයට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එක්විය. එය ප්‍රතිපත්ති කරුණකි.
මේ වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවිම ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය නියේජනය කරන පොදුජන පෙරමුණට තිබෙන ගැටලුව වන්නේ නාමයෝජනා බාර දීමය. එනම් පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීමට විශාල අපේක්ෂාකයන් පිරිසක් අපට නාමයොජනා ඉදිරිපත් කර තිබේ. එයින් සුදුසුකම් ලබන පුද්ගලන් තෝරා ගැනීමේ ගැටලුවකට අප මුහුණ දී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට, එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂවලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ට නාමයෝජනා ගැනීමය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත. ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද විශාල කාර්යයක් ඉටු කළේය.
කෙසේ වෙතත් මේ වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකඩ වීම හේතුවෙන් උතුරේ ඡන්ද ප්‍රතිඵලය දෙකඩ වෙනු ඇත. නැගෙනහිරද මුස්ලිම් ජනයා නියෝජන කරන පක්ෂ වෙන වෙනම මැතිවරණය ඉදිරිපත් වීම හරහා ඔවුන්ගේ ඡන්දද බෙදී යනු ඇත. මෙය අවසාන වශයෙන් සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් ඇති කරන තත්ත්වයකි. එම පළාත් දෙක හැරෙනු ඇති විට ඉතිරි පළාත් හතේම බහුතරයක් වූ ජනතාව දැන් ආණ්ඩු විරෝධී මතයක සිටින හෙයින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් සිය ඡන්ද ආණ්ඩුවට එරෙහිව භාවිත කරනු ඇත.
පළාත් පාලන මැතිවරණය යනු බිම් මට්ටමේ ජනතාවගේ මතය නියෝජනය වන මැතිවරණයයි. මෙහි ප්‍රතිඵලය ඉදිරි පළාත් සභා මැතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනපතිවරණයට සෘජු බලපෑමක් ඇති කරනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ පිරිහීම මේ හරහා එළියට පැමිණෙනු ඇත.
මේ වන විට දුම්රිය වර්ජනයක් ක්‍රියාවට නැංවෙමින් තිබේ. දුම්රිය වර්ජනයක් මෙවැනි ආකාරයකට දීර්ඝව මෑත ඉතිහාසයේදී ගමන් කරන පළමු අවස්ථාව මෙය වෙයි. දුම්රිය සේවකයන්ට සාධාරණත්වය ඉටු නොකිරීම හරහා අවසන් වශයෙන් පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාවය. ආණ්ඩුව දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කළේ එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමයි. මේ හරහා ප්රශ්නය තවත් ව්‍යාකූල විය. අනෙක් අතින් සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ‘යන්නේ කොහෙද මල්ලෙ පොල්’ වැනි පිළිතුරක් ලබාදෙමිනි.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හරහා මූල්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීමට හා වෘත්තීය සමිති දැඩිව මර්දනය කිරීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් වෘත්තීය සමිති ඊයේ මෙම සටහන ලියන විටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් නොකිරීමට තීරණය කර තිබුණි.
ආණ්ඩුව මේ වන විට පරිපූරක ඇස්තමේන්තු විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ සඳහා අනුමැතිය ලබා ගනිමින් සිටියි. පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළේ ජනපති, අගමැති ඇතුළුව ආණ්ඩුවේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයක් කපා හැරි බවයි. අයවැයෙන් එසේ පෙන්වා එම කපා හැරූ බව පෙන්වන අගයට වඩා වැඩි ප්‍රමාණයක වියදම් පරිපූරක ඇස්තමේන්තු හරහා අනුමත කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.
අනෙක් අතින් ආණ්ඩුව පනත් සම්මත කර ගන්නේද බලහත් කාරයෙනි. යහපාලනයක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය යටපත් කර ඇත. පාර්ලිමේන්තුවද මංකොල්ල කමින් සිටියි. පැති දෙකක සිටියත්, මත දෙකක් දරුවත් පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත් විවාදයේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශක් මම මෙහිදී අගය කිරීමට අවස්ථාවක් කර ගන්නෙමි.
ඔහු පැවැසුවේ පාර්ලිමේන්තුවේ බලය ආණ්ඩුවට තිබූ පළියට පාර්ලිමේන්තු සම්ප්රදාය හා රටේ ජනතාවගේ අයිතීන් කඩා දැමීමට කටයුතු නොකළ යුතු බවයි. ඔහු උගත් දේශපාලකයෙක් ලෙස ඔහුට වත්මන් ක්‍රියාවලිය ගැන විවේචනයක් තිබුණත් යහපාලනය ගැන කතා කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ ගැන වැටහීමක් නොවීම ගැටලුවකි.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!