ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විශේෂ වෙනස්කම් කිසිවක් පසුගිය සතියේ සිදු නොවුණද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් පත්‍රයට අත්සන් තබනු ලැබීය. එම ගැසට් පත්‍රය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ අවසාන නීතිමය බාධාවද ඉවත් විය. මේ අනුව මැතිවරණය ජනවාරි මාසය අගදී සහ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මාසයේ මැදදී සිදු වේ. එම මැතිවරණය රටේ සියලුම දේශපාලන පක්ෂවලට හා බලවේගවලට තීරණාත්මක මැතිවරණයකි. මෙම පළාත් පාලන මැතිවරණය ජයගැනීම එක්සත් ජාතික පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ප්‍රධාන දේශපාලන පක්ෂවලත් අභිලාෂයයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ගොඩනැගී ඇති රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වනු ඇත.
පොදුජන පෙරමුණ මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ උත්කර්ෂයට නංවනු ලබන කාරණා කිහිපයක් තිබේ. මාගේ පෞද්ගලික තක්සේරුවට අනුව ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ නාමයෝජනා ලබාගනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සහ නියෝජිතයන්ගේ පසුගිය කාලයේ ක්‍රියාකාරකම්, මැතිවරණයකදී ඡන්ද ලබා දීම සඳහා භාවිත කිරීමට නොහැකි තරම් දූෂිතය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවල නියෝජිතයෝ පාසල්වලට ළමයින් දැමීමේ සිට පාරවල්වලට කොන්ක්‍රීට් දැමීම දක්වා වූ සියලුම පොදු වැඩවලදී අල්ලස් ලබාගෙන, කොමිස් ලබාගෙන කුජීත වී සිටිති. එය පොදුජන පෙරමුණ උත්කර්ෂයට නංවනු ලබන ඔවුන් සතු හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ ශක්තියේ විශාල දුර්වතාවක්ද විය හැකිය. මන්ද මෙම මැතිවරණයේදී කොට්ඨාසය තුළ ඇති සෑම පවුලකම සෑම පුද්ගලයෙකුගේම ඡන්දය වැදගත් වන බැවිනි. එහිදී මැද ඡන්ද, තරුණ ඡන්ද හා අලුත් ඡන්ද රාජපක්ෂවරුන්ගේ පෙරමුණට ලබාගැනීමට ඇති ඉඩකඩ අඩුය. ඔවුන් ලබාගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් කොටසකි. එම ප්‍රමාණය ග්‍රාමීය කොට්ඨාස ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.
පොදුජන පෙරමුණ විසින් මෙම මැතිවරණයේදී ගෙන එනු ලබන අනෙකුත් ප්රචාරක උපක්‍රමය වන්නේ සිංහල ජාතිකත්වය හා බුද්ධාගමය. මෙම මැතිවරණ සටන් පාඨය නිසාම මැතිවරණ ආරම්භයේදීම පොදුජන පෙරමුණට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද අහිමි වනු ඇත. නමුත් සිංහල පමණක් ඇති කොට්ඨාසවලට එය වාසියක් ලෙස පෙනුණද, ග්‍රාමීය ජනතාව ඡන්දය ප්‍රකාශ කරනුයේ ජාතිය හා ආගම මත පදනම්ව පමණක් නොවන අතර, අනෙකුත් දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඉවත් වූ විට ඉතිරි ඡන්දවලට එයින් බලපෑමක් කළ හැකිය. නමුත් එය කොට්ඨාසයක් ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් දැයි විමසා බැලිය යුතුය. පොදුජන පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත අනිකුත් මැතිවරණ සටන් පාඨය වනුයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්රතිපත්තියයි. එම ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇති චෝදනා ඉතා රසවත් ආකර්ෂණීය චෝදනා වේ. නමුත් මෙම චෝදනා රාජපක්ෂවරුන්ගේ ආර්ථික ප්රතිපත්තියයි. උදාහරණ ලෙස ඉඩම් විකිණීම පිළිබඳ ඇති චෝදනාව ගත හැකිය. එය රාජපක්ෂවරුන්ගේ ප්රමුඛ ආර්ථික ප්‍රතිපත්තිය වෙයි. එක්සත් ජාතික පක්ෂයට මේවා ඉතා පහසුවෙන් නිෂේධනය කළ හැකි චෝදනාය.
මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ආ හැකි ප්‍රධානම චෝදනාවක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට කටයුතු කරමින් සිටින බවය. එම චෝදනාව මෙම පක්ෂ දෙක අපහසුවට පත් කරන නමුත් මැතිවරණයක් අවස්ථාවකදී සෑම දේශපාලන පක්ෂයක්ම බෙදී වෙන්වී සිටින තත්ත්වයක් තුළ එම චෝදනාවට වටිනාකමක් නොලැබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. මන්ද මැතිවරණ සමයේදී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීරණාත්මක ලෙස බෙදී වෙන් වී මැතිවරණයට මුහුණ දෙන බැවිනි.
එසේම මෙම මැතිවරණයේ පොදුජන පෙරමුණට ඇති අනෙකුත් විශාලතම අභියෝගය නම් එම පෙරමුණ සතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායකයන් නොමැති වීමය. අවසානයේදී ග්‍රාමීය මට්ටමේ වැඩකටයුතු තීරණය වන්නේ ආසන සංවිධායකගෙන් වන අතර, ජනතාව සංවිධායකයන් වටා එක්ව පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන බව මාගේ මතය වෙයි. ඒ කෙසේ වුවද ලංකා ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණ ජය සෑම විටම ලැබී ඇත්තේ පවතින ආණ්ඩුවට පක්ෂවය. මන්දයත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩු මාරුකරන ජාතික මැතිවරණයක් නොවන තත්ත්වයක් තුළ ජනතාව විසින් පවතින ආණ්ඩුවේ කණ්ඩායම් තම ගම් පළාතේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට සහ පත් කර ගැනීමට උනන්දුවක් දක්වයි.
එසේම ග්‍රාමීය මැතිවරණවලදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 50%ක පමණ තත්ත්වයක පවතින අතර, එහිදී ප්‍රධාන වශයෙන් පක්ෂයේ කණ්ඩායමක් ඡන්දපොළට නොයෑම සිදුවේ. ඒ හේතුව නිසා ආණ්ඩු කණ්ඩායම් සාර්ථක ව්‍යාපාරයක් මගින් ජනතාව ඡන්දපොළට ගෙන්වා ගැනීමේ හැකියාව ඉහළ නංවාගත් තරමට ජයග්‍රහණය ලැබීමට ඉඩකඩ වැඩි වේ.
පළාත් පාලන මැතිවරණ පුරෝකථනය අනුව කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂය විසින් මුස්ලිම් සහ ද්‍රවිඩ ඡන්ද ඇති ආසන සියල්ලම පාහේ දකුණු පළාතේ ජය ගැනීමට හැකි අතර, සිංහල බෞද්ධ බහුතරය ඇති ආසනවල වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති තත්ත්වයක් තුළ යෝජිත නව මැතිවරණ ක්රමයේ පෙන්වා දෙනු ලබන බෞද්ධ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි අතර, ලැයිස්තු මන්ත්‍රීවරුන්ද විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. මෙම පළාත් පාලන මැතිවරණයේ වැඩිම වාසිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.