බොන කෙනාට පොවන්න ඕනෑ නැත්තේය. එහෙත් සමහරු කරන්නේ බොන්න පුළුවන් අයටත් වද කරමින් පොවන්නට යෑමය. එහෙම බලකරමින් පොවන්නේ ආදරය පෙන්වන්නටය. සමහර බොන්න ඕනෑ අයත් කාටහරි කියලා පොවා ගන්න හිතාගෙන බොන්න බැරි බව හඟවනවාය. වැඩියෙන්ම පොවන්නේ අනුන්ගේ මඟුල් ගෙදරකට ගිය විටය.
පෙවිල්ල පටන් ගන්නේ පොඩි එකාගෙන්ය. අම්මලා දරුවන්ට කිරි පොවනවාය. කිරි බොන්න අකැමති දරුවන්ට වුණත් රවට්ටලා කිරි පොවන්නට අම්මලා දස්සය. ඉස්සර අම්මලා දරුවන්ට කිරි පෙව්වේ දරුවා වඩාගෙන තම පියයුරුවලින්ය. ඒත් අද නම් අම්මලා වැඩිදෙනා තම පියයුරුවලින් දරුවාට කිරි පොවන්නට කැමැති නැත්තේය. අද වැඩිදෙනා කිරි පොවන්නේ රබර් සූප්පුවෙන්ය. එහෙම පොවන්නේ මවුකිරි නොව රට කිරිය. ළදරුවාට තන කිරි පෙවූ විට තම රූප ශෝභාව අඩුවේ යැයි සිතා සමහර අම්මලා බෝතලය කටට අල්ලා සූප්පුවෙන් රට කිරි පොවනවාය. දැන් නම් දොස්තරලා කියන්නේ කිරිම පෙවිල්ල වෙනුවට පලතුරු යුෂ සහ වෙනත් පෝෂණ බීම පෙවිල්ල හොඳ බවය.
සමහරුන් ළදරුවන් කිරි නැතිව හඩද්දී සතුන්ට කිරි පොවන්න දස්සය. කැලයෙන් අල්ලාගත් නයි පැටියෙකු කූඩුවක දමාගෙන කිරි පොවමින් ඇතිදැඩි කළ තාපසයෙකුට අන්තිමට සිදුවූයේ උගෙන් පහර කා මිය යන්නටය. මූසිලයා තමා සමග තරගයට ඒම ගැන උරණ වූ මහළු ගුත්තිල පඬිවරයා කීවේ &මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විෂ ගොර සප්* කියලාය. එයින් පෙනෙන්නේ විෂ ඝෝර සර්පයන්ට වගේම මිනිසුන්ටද කිරි පෙවිල්ල වැරදි බවය.
කිරි ගොවියා කරන්නේ එළදෙනගේ කිරි උගේ පැටියාට බොන්නට ඉඩ නොදී ඒ කිරි අපට පෙවිල්ලය. පිටි කිරි වෙනුවට එළකිරි පෙවිල්ලෙන් රට සල්ලි ඉතිරි කර ගන්න පුළුවන්ය.
දරුවන්ට පොවන්නට කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නැති අම්මලා කරන්නේ දරුවන්ට කැඳ වතුර පෙවිල්ලය. තවත් අම්මලා කොත්මල්ලි වතුරද පොවනවාය. දැන් ළඟදී කිරිපිටි මිල ඉහළ යන්නට ඉඩ තිබෙන නිසා කැඳ වතුර පොවන දරුවන් තවත් වැඩිවන්නට පුළුවන්ය. දරුවන්ට මන්දපෝෂණය ඇතිවන්නේ කිරි වෙනුවට වෙනත් වතුර ජාති පෙවිල්ල හින්දාය.
කිරි පොවන්න ලෙහෙසි වුණත් කසාය පෙවිල්ල නම් හරි අමාරුය. ඒත් ලෙඩ සුව කරන්න කසාය බොන්න අකමැති කෙනාට කොහොම හරි පොවන්න වෙනවාය. තිත්ත රස කසාය පෙවිල්ල ළමයින්ට වගේම වැඩිහිටියන්ටද හරි අමාරුය. දැන් නම් කසාය වෙනුවට ලෙඩ්ඩුන්ට පොවන්නේ ඉංග්‍රීසි බෙහෙත්ය. පතඅට එකට හිඳුවා කසාය කෝප්පයක් පොවනවාට වඩා බෙහෙත් තේ හැන්දක් පෙවිල්ල ලෙහෙසිය. බේත් වතුර වෙනුවට පෙති පෙවිල්ල දැන් වැඩියෙන් සිදු වෙනවාය.
කුඩා දරුවන්ට බේත් පොවන්නට අමාරු වෙන්නේ කෑ ගහන විට පොවන දේ පිට ගිරියේ යන හින්දාය. නාසය අල්ලාගෙන පෙවූ විට පිට ගිරියේ යෑම අඩුය. දඟලන දරුවාට පොවන්න ගිහිං ඉස්මොල්ලේ ගියා කියන්නේ ඒකය. ගඟේ වැටුණම වතුර පෙවෙනවාය. එහෙම වතුර පෙවිලා මැරෙන්නටද පුළුවන්ය. ගොඩ පිහිනන්නට දන්නා අය ගැඹුරු දියේ පිනන්නට ගියාම වතුර පෙවිලා අමාරුවේ වැටෙනවාය.
ඇතැම් අය වස බොනවා වෙනුවට පෙවිල්ලට දස්සය. තම දරුවන් දෙදෙනාට වස පොවා තමාද වස බී මියගිය මවක් ගැන පසුගිය දවස්වල පත්තරේ පළවුණාය. අම්මලාට එහෙම වස පොවන්න සිද්ධ වෙන්නේ වෙන කරන්න දෙයක් නැති වුණාමය. මිනිසුන්ට වැඩියෙන්ම වස පොවන්නේ ආණ්ඩුවෙන්ය. ආණ්ඩුව අරක්කු පොවනවා කියලා පොවන්නේ වසය. අරක්කු පෙවිල්ල නිසා හොඳට හිටිය මිනිස්සු ලෙඩ වෙලා මැරෙනවාය. අරක්කු පෙවිල්ලෙන් ආණ්ඩුවට හම්බ වෙන ආදායම විශාලය. ආණ්ඩුව කරන්නේ අරක්කු පෙවිල්ලෙන් ලැබෙන ආදායමෙන් ලෙඩවෙලා රෝහල්වලට ඇතුළු වන මිනිස්සුන්ට බෙහෙත් පෙවිල්ලය. මිනිසුන්ට අරක්කු පොවන්නේ නැතිනම් බෙහෙත් පෙවිල්ලටද අඩුවන බව වැඩිදෙනාගේ මතයය.
ලෝදිය පෙවිල්ල කරන්නේ අපායේ වැටුණු පවුකාරයාටය. යමපල්ලන් නිරිසතාගේ කට රත් වූ අඬුවලින් ඇරලා ලෝදිය පෙවූ විට එම ලෝදිය මුළු සිරුරම පුළුස්සා ගෙන ගුද මාර්ගයෙන් එළියට එනවා යැයි කියනවාය. ඒත් අරක්කු බීලා අපායේ වැටුණු එකාට නම් ලෝදිය පෙවිල්ලෙන් දන්වන්න බැරිය. සමහර අය අරක්කු පෙවිල්ලටද කියන්නේ ගිනිවතුර පෙවිල්ල කියලාය. ඒ නිසා අපායේ ගිනිවතුර පොවන්නට හදන විට ඉල්ලාගෙන බොන මිනිසුන්ද ඉන්නවාය.
පෙරේතයන්ගේ උගුර ඉඳිකටු හිලක් තරම් කුඩා නිසා උන්ට කිසිවක් පෙවිල්ලට අමාරුය. එහෙම පොවන දේවල් කුස තුළට නොගොස් කට දෙපැත්තෙන් යනවාය. &උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත් කියලා කියන්නේ සුර ගඟේ වැටිලාවත් වතුර නොපෙවෙන නිසාය. සමහරුන්ට මොනවා පෙව්වත් දැනුම පෙවිල්ල පෙරේතයන්ට වතුර පෙවිල්ලටත් වැඩිය අමාරුය. ගුරුවරයා කොතරම් උත්සාහ කළත් දැනුම පෙවිල්ලට බැරිවීමෙන් සිසුවා විභාගය අසමත් වෙනවාය. ඒත් පාසලේ ගුරුවරයාට දැනුම පෙවිල්ලට අපහසු සිසුන්ට දැනුම පෙවිල්ලට අධ්‍යාපන කඩේ ටියුෂන් මාස්ටර්ට පුළුවන්ය. එහෙම උත්තර පොවලා පොවලා විභාගෙන් ඒ නවයක් ගන්න පුළුවන් වෙන්නේ ටියුෂන් මාස්ටර්ගේ ආදර්ශ ප්‍රශ්න පත්තර කලාවට පින්සිදු වන්නටය.
කාට මොනවා පෙව්වත් අමාරුම පෙවිල්ල පණ පෙවිල්ලය. මැරෙන්න ආසන්න කෙනාට පණ පෙවිල්ල හරි දුෂ්කර වැඩක්ය. තමා ගෙනා ආයුෂ අවසන් වූ විට කොච්චර පණ පෙව්වත් වැඩක් නැත්තේය. සමහරුන්ට පණ තිබුණත් වැඩ කරන්නේ පණ ගිහිං වගේ නිසා ඒ අයට පණ පෙවිල්ල අමාරුය. ඇතැමුන්ට හැමදාම එකම වැඩේ කරන්න දුන්විට කාර්යක්ෂමතාව අඩුවීම නිසා පණ පොවන්නට වෙනවාය.
නිතරම වැඩ කරලා මොට්ට වූ ආයුධද පණ පොවන්න වෙනවාය. අනුන්ගේ දේවලට අතපෙවිල්ල නරක පුරුද්දක්ය. සමහරුන් පුරුදුවෙලා ඉන්නේ තමන්ගේ දේට වඩා අනුන්ගේ දේවලට අතපෙවිල්ලටය. ලෝකේ බලගතු රටවල් දුප්පත් රටවලට අතපෙවිල්ල නිසා ඒ රටවල් අමාරුවේ වැටිලා තියෙනවාය. ඡන්ද කාලෙට අපේ ජීවිතවලට අතපෙවිල්ලට දේශපාලුවන් නොයෙක් දේ කරනවාය. එහෙම වුණත් ඡන්දෙන් දිනුවාට පසු ඒ අයට අතපොවන්නට අපට කිට්ටු වෙන්නට අපහසුය.