කලක් සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී සිටි අපට නිදහස ලබාගත හැකි වූයේ සිංහල නායකයන්ට පිංසිඳු වන්නටය. අද සුද්දන් නැති වුණත් දුප්පතාට සිදුව ඇත්තේ පොහොසතාගේ සපත්තුවට පෑගිලා ජීවත් වන්නටය. කොහොම වුණත් දුර්වලයාට, බලවතාට පෑගිලා ජීවත් වන්නට සිදුව ඇත්තේ ඔහුගේ කරුමයටය.
මහදැනමුත්තා කුඹුර පාගන්නේ නැතුව වී ඉස්සේ ගෝලයන් හතරදෙනා ඔසවාගෙන ගිය මැස්සක් උඩ ඉඳන්ය. ගෝලයන්ට ගොයම් පෑගුනට මැස්ස උඩ සිටින මහදැනමුත්තාට නම් ගොයම් පෑගුණේ නැත්තේය. ඉස්සර නම් ගොයම් පෑගුවේ අම්බරුවන්ය. ගොයම් පෑගිල්ලට කමත් භාෂාවෙන් කියන්නේ %මැඩිල්ල^ කියලාය. දැන් නම් ගොයම් පාගන්න අම්බරුවන් වෙනුවට යොදා ගන්නේ ට්රැක්ටර් යන්ත්රය. ට්රැක්ටර්වලින් ගොයම් පෑගිල්ල කඩිනම් වුණත් අම්බරුවන් යොදවා %ජක් මක්^ කියමින් පාගනවා තරම් කලාවක් නැත්තේය.
සමහර අය කේන්ති ගියාම කියන්නේ %උඹ නම් අපට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැත^ කියලාය. එහෙම කිව්වත් පයට පෑගෙන දූවිල්ල තරම් වටින්නේ නැති අය ඕනෑ කරන වේලාවක් තියෙනවාය.
සමහර වෙලාවට සෙනඟ තදබද වෙන විට බැරි වෙලා කකුල් පෑගෙන්න පුළුවන්ය. කකුල් පෑගිල්ලෙන් නොයෙක් අදහස් කියා පෑමට පුළුවන්ය. කොල්ලන් කෙල්ලන්ගේ කකුල් පාගන්නේ තම ආදරය ආරම්භ කරන්නටය. එහෙම නැති වුණත් සමහර අය වුවමනාවෙන්ම කකුල් පාගලා %අනේ සොරි^ කියා කියනවාය. කොහොම වුණත් කකුල් පෑගිල්ලෙන් ආරම්භ වන ආදරය බෙල්ල පෑගිල්ලෙන් අවසන් වුණු අවස්ථා තිබෙනවාය.
කකුල් පාගන්න බැරි වුණාට ඔළුව පාගන්න දක්ෂ අය ඉන්නවාය. ඇතැම් අය තමන්ට පහළ ඉන්න අයගේ ඔළුව පාගාගෙන ඉහළ යන්න හදනවාය. තමන්ට ඉහළ යන්න පුළුවන් නම් අනිත් තැනැත්තා මුළුමනින්ම පෑගිල්ලට කප්ගහලා සිටින අය ඉන්නවාය.
අත්වැල් අල්ලා ගත් ආදරවන්තයන් වෙරළේ රැල්ල පාගන්නේ විනෝදයටය. රැල්ල පාගමින් සිටින අය ලොකු රළ පහරක් එන විට අනිකාද ඇදගෙන ගොඩට දුවන්නේ ඉන් නොතෙමී බේරෙන්නටය. රළ පාගන්න මුහුදට බහින කෙනාට එයට පෙර වැල්ල පාගන්න වෙනවාය. වැල්ල පෑගිලා ඇතිවන පිය සටහන්වල වැඩි ආයුෂක් නැත්තේ රළ පහරට ඒවා අතුරුදන් වන හින්දාය.
යමක් කමක් දැන ගන්නට නම් ගෙන්දගම් පොළොව පාගන්නට ඕනෑය කියනවාය. සමහර අය පාවහන් දමාගෙන ගමන් කරන නිසා ඔවුන්ට කවදාවත් පොළොව පෑගෙන්නේ නැත්තේය. සමහරු තරහ ගියාම කියන්නේ 'මම උඹලගේ ගෙදර පස් පාගන්නේ නැහැ' කියලාය. 'පස් පාගන්නේ නැහැ' කියන්නේ 'අඩිය තියන්නේ නැහැ' කියන එකටය. 'නුවණක්කාරයන් පස් පාගන්න අකමැති තැන්වල මෝඩයන් පිනුම් ගහනවා^ කියලා කතාවක් තියෙනවාය. පළමුවෙන්ම හඳේ පස් පෑගුවේ නීල් ආම්ස්ට්රෝන් බව අමතක කරන්න නරකය.
වලිගය පාගා ගැනිල්ල පස් පෑගිල්ලට වැඩිය නරක විපාක දෙනවාය. සමහරුන් තමන්ගේම වලිගය පාගාගෙන රිදෙනවෝ කියලා කෑගහනවාය. බල්ලාගේ වලිගේ පෑගුණොත් නම් නොවරදවාම ඌ හපා කනවාය. අපේ ඇතැම් නායකයන් බොහෝ වෙලාවට කතා කරන්නේ වලිගය පාගාගෙන වගේය.
මඩ ගොඩට බැස්ස විට මඩ පෑගෙනවා වළක්වන්න අමාරුය. නිතරම මඩ පාගන අයගේ කකුල්වල තුවාල හැදෙනවාය. ගඩොල් හදන්නට කුලියට මඩ පාගන අය සිටිනවාය. ලොකු ලොකු අය කිසිදාක පොළොවේ අඩියක් නොතියන නිසා ඒ අයට මඩ පෑගෙන්නේ නැත්තේය. මඩ නොපාගන බොහෝ දෙනා මඩ ගැහිල්ලට නම් දක්ෂය. ඡන්ද කාලෙට වේදිකා පාගන අය දිගට හරහට එකිනෙකාට මඩ ගසන්නේ අනිකා පාගාගෙන උඩට එන්නටය.