ෆැක්ටරි ආකෘතියේ අධ්‍යාපනය (Factory model school) යනු 19 වැනි සියවසේදී පමණ ලෝකයේ ප්‍රචලිත වූ අධ්‍යාපන මාදිලියකි. ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් ක්‍රියාත්මක වන්නේ එම මාදිලියයි. කාර්මික විප්ලවය සමයේ ෆැක්ටරිවල වැඩ කිරීමට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කර ගැනීම මෙම අධ්‍යාපන ක්රමයේ මූලික ඉලක්කය විය.
සීනුවක් නාද කරන විට ආහාර ගැනීමට යෑම, නැවත සීනුවක් නාද කරන විට ආපසු පැමිණීම, පේළි සැදීම, සීනුවට අනුව සියලු කටයුතු සිදුකිරීම ආදිය මෙම අධ්‍යාපන ක්රමයේ ලක්ෂණයයි. මෙම පාසල්වල ඉහළ සිට පහළට දැඩි නිලධාරීවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. දැඩි විනයක් අපේක්ෂා කෙරෙයි. නිදහස් චින්තනයට වඩා දිරිමත් කෙරෙන්නේ දෙන ලද ක්‍රමයක් යටතේ සිතීමටයි.
ෆැක්ටරි ආකෘතියේ පාසල් සාමාන්‍ය සමාජයෙන් වෙන්කොට නිර්මාණය කෙරේ. මෙම පාසල්වල ගොඩනැගිලි පවා නිර්මාණය කෙරුණේ ෆැක්ටරි ගොඩනැගිලිවල ආකෘතිය අනුවයි. දැන් නැගෙනහිර ජර්මනිය වශයෙන් හැඳින්වෙන පෲසියාවේ (prussia) මුලින්ම එම අධ්‍යාපන ක්‍රමය අත්හදා බැලුණු අතර, හොරස් මෑන් (Horace Mann) විසින් ඇමරිකාවට එය හඳුන්වා දෙන ලදී. වර්ග අඩි 800ක ෆැක්ටරි ආකෘතියට සාදන ලද පන්ති කාමරයකදී එකම වයස් කාණ්ඩයට අයත් ළමයින් 28 දෙනෙකු පමණ පුහුණු කිරීම මෙම ක්‍රමය යටතේ සිදු විය.
එහෙත් මේ වන විට මෙම ක්‍රමය යල් පැන ගොසිනි. බොහෝ රටවල් අධ්‍යාපනය සම්බන්ධයෙන් නව අත්හදා බැලීම් සිදුකරයි. ඒ අතරින් ෆින්ලන්ත අධ්‍යාපනය ලොව ඉහළින්ම සාර්ථක වූ අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකේ. ෆින්ලන්තයේ ළමයින් අවුරුදු 7 වනතුරු අකුරක් හෝ ඉගෙන ගන්නේ නැත. ගෙදර වැඩ හෝ විභාගවලින් ඔවුනට කරදරයක් නැත. අවුරුදු 16 වනතුරු කිසිදු දරුවෙකු විභාගයක් ලිවිය යුතු නැත. ඔවුන් පාසල් ගොස් පළමු අවුරුදු 06 ගතවනතුරුම කිසිදු තරගකාරී මැන බැලීමක් සිදුවන්නේද නැත. ඔවුන්ට වැඩි වශයෙන්ම පැවරෙන රාජකාරිය නම් පරිසරය හඳුනාගැනීම, සෙල්ලම් කිරීම වැනි දේයි.
එරට සිසුන්ගෙන් සියයට 93ක් උපාධි ලබයි. එය යුරෝපයේ ඉහළම ප්‍රතිශතයයි. දක්ෂතම දරුවා සහ අදක්ෂතම දරුවා අතර පරතරය අඩුම රට එයයි. ගුරුවරුද පන්තියේ වැඩ කරන්නේ පැය 04ක් පමණි. පැය දෙකක් ඉගැන්වීම ගැන ඉගෙන ගනිති. ඔවුන්ට ඉහළ වැටුප් ගෙවනු ලබන අතර, වෛද්‍යවරුන් සහ නීතිඥයන් හා සමාන සමාජ පසුබිමක් හිමිවේ. ෆින්ලන්ත නීතිය අනුව සෑම විනාඩි 45කට වරක්ම විනාඩි 15ක විවේක කාලයක් ළමයින්ට ක්‍රීඩා කිරීම සඳහා ලබාදිය යුතුය. විභාගවලදී ඔවුන්ගෙන් විමසනු ලබන ප්‍රශ්නද සමාජ ජීවිතය හා බැඳුණු ඒවා වෙයි. උදාහරණයක් ලෙස රැකියාවක් අහිමි වූ විට මුහුණ දෙන ආකාරය, ක්‍රීඩාවක නිරත වීමේදී අනුගමනය කළයුතු ආචාරධර්ම, ලිංගිකත්වය, කෑමබීම පාලනය කිරීම ආදිය ඒ අතර වේ.
2001 වසරේ අන්තර්ජාතික සම්මතකරණ මැනුම් අනුව ගණිතය, විද්‍යාව, කියැවීම යන අංශවලින් ලෝකයේ අංක එකෙහි සිටින්නේ ෆින්ලන්ත දරුවන්ය. මේ වන විට ෆින්ලන්තය විෂයයන් පාදකව ඉගැන්වීම නතර කර ඇති අතර, මාතෘකා පාදක කර ගනිමින් ඉගැන්වීම සිදුකරයි. ඊට අමතරව ෆැක්ටරි ආකාරයේ පැරණි ගොඩනැගිලි පවා වෙනස් කෙරෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ටියුෂන් පන්ති ආදියෙන් බැටකන දරුවෙකුගේ සහ ෆින්ලන්ත පාසල් දරුවෙකුගේ වෙනස කොපමණද යන්න සිතා ගැනීමටද දුෂ්කරය.
දර්ශන අශෝක කුමාර