පසුගිය දෙසතිය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වූයේ නාමයෝජනා සකස් කිරීමේ අර්බුදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට රට තුළ ඇතිව තිබූ දැඩි ඉල්ලුම හමුවේ අපේක්ෂකයන් තෝරාගැනීමේ විශාල අරගලයක නිරත වන්නට සිදුවිය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, පොදුජන පෙරමුණටද මෙම අර්බුදය නිතැතින්ම හිමිව තිබුණි.
එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට අනිකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මුහුණ දීමට සිදුවූ විශාලතම අරගලයේ වූයේ නියමිත පරිදි ප්‍රතිශතයට කාන්තා අපේක්ෂකයන් ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමයි. මන්දයත් ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය ව්‍යවස්ථාවෙන් පළාත් පාලන පනතේ ඉදිරිපත් කර ඇති 25% සීමාවට වඩා බොහෝ අඩුවෙන් පැවතීම නිසාවෙන් 25% ක් කාන්තා අපේක්ෂකයන් ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සියලුම පක්ෂවලට අභියෝගයක් වී තිබුණි.
නමුත් එක්සත් ජාතික පක්ෂ තුළ කාන්තා දේශපාලන සහභාගීත්වය විශාල ඉහළ අගයක පැවතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කාන්තා අපේක්ෂකයන් තෝරාගැනීමේ අර්බුදයක් නොපැවතුණි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහළ යාම මෙම මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි විශාල වෙනසකමක් ලෙස දැක්විය හැකිය. මන්ද යත් සියලුම පළාත් පාලන ආයතනවල 25% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනය අනිවාර්යයෙන් තිබිය යුතු අතර එමෙන්ම නාමයෝජනා සකස් කිරීම ආරම්භයේදීම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉතාම අසුබදායක පුවතක් පොහොට්ටු පක්ෂය පැත්තෙන් ඇසීමට ලැබුණි.
එනම් එක්තරා රංගන ශිල්පිනිය චෝදනා කර සිටියේ, පොහොට්ටු පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටියදීම එම පක්ෂයේ නිලධාරීන් විසින් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලු බවයි. එම තත්ත්වය ඇය විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත්, ජනමාධ්‍යයටත් පැමිණිලි කර තිබේ. එය රට තුළ එතරම් අවධානයකට ලක් නොවුණද එම තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ විශාල අඩුවක් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් පිවිසීමට දක්වන බිය හා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසාවෙනි.
රංගන ශිල්පිනියක වූ පමණින් හෝ ඇයගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් තිබූ පමණින් කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට කිසිදු පිරිමියෙකුට අයිතියක් නැතුවා සේම, විශේෂයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවට ලක්වීම මේ රටේ ජනතාව දැඩි ලෙස අවධානයට ලක්කළ යුතු කාරණයකි. මෙම ලිංගික අල්ලස් සිද්ධිය මේ රටේ ප්‍රධාන ප්රවාහයේ ජනමාධ්‍ය ආයතන හා වෙබ් අඩවි විශේෂ අවධානයකට ලක් නොකර අතහැර දැම්මේය. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මෙම සිද්ධිය බටහිර සීලාචාර රටක සිදුවූයේ නම් එය එම දේශපාලන පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුවන හෝ එම දේශපාලන පක්ෂයේ ඡන්ද පදනම මුළුමනින්ම හෝ අඩක් (අඩුම තරමින් කාන්තා ඡන්ද) අහිමිවීමේ අවදානමට ලක්වන තරම් බරපතළ සිද්ධියක් හෝ චෝදනාවකි.
නමුත් මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය ලංකාවේ ප්‍රධාන ප්රවාහයේ ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල හෝ දේශපාලන පක්ෂවල අවධානයට වැඩි වශයෙන් ලක් නොවූයේ එම ආයතන තුළ එම රංගන ශිල්පිනිය කෙරෙහි පැවති පූර්ව නිගමනය නිසා විය යුතුය. එය සීලාචාර සමාජයක කිසිසේත් සිදු නොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි බරපතළ සිද්ධියකදී අප අවධානයට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ රංගන ශිල්පිනියගේ කාන්තාභාවයයි. ඇය කාන්තාවක් වූ පමණින් කිසිවෙකුගේ හිංසනයට හෝ හිරිහැරයට ලක්වීමට හෝ ලක් කිරීමේ අයිතියක් කිසිවෙකුට නොමැත.
අතවරයට පත්වූ ඇයට මේ සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙන් සම අයිතිවාසිකම් තිබිය යුතු අතර මේ සමාජය තුළ සුරක්ෂිතව ඇය කැමති ඕනෑම ආකාරයකට නීත්‍යනුකූලව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එයට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නොමැති අතර ඇය ඒ වෙනුවෙන් එළියට බැස කතා කිරීමට හැකියාවක් හා ශක්තියක් ඇති ගැහැනියක් වීම පිළිබඳව ගෞරවයක්, අප සැමට ඇය කෙරෙහි තිබිය යුතුය. ඇගේ පැමිණිල්ල කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයද ඉතාම අවම මට්ටමක පැවතී බවට පෙනී යන අතර මැතිවරණ කොමසාරිස්වරයාද පූර්ව නිගමනයක සිටියාදැයි සැකයක් උපදියි. මැතිවරණ කොමසාරිස්වරයා එසේ සිටියේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වැනි කීර්තිමත් නිලධාරියෙකුට එය නොගැළපෙන සිද්ධියකි.
කෙසේ නමුත් පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවරුන් ඇතුළු සියලු දෙනාම පාහේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිටින ස්ථාවරය දෘෂ්ටිමය විකෘතියකි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ බදුල්ල රැලියේදී මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම විසින් ප්‍රකාශ කරන ලද සමලිංගික සම්බන්ධතා සහ බහුභාර්යා සම්බන්ධතා පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරයයි. එම ස්ථාවරයන් කිසිදු තත්ත්වයක් යටතේ වුවත් සීලාචාර විධිමත් සමාජයකට නොගැළපෙන්නේය. එසේම ඉතාම මෑතකදී පොහොට්ටු පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු වන ආචාර්ය මහින්ද පතිරණ කථිකාචාර්යතුමා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිංගික සම්බන්ධයකට ශිෂ්ණය ප්‍රාණවත් වීම අනිවාර්යය කොන්දේසියක් බවට ප්‍රකාශයක් පළ කර තිබුණි. එය වසර දහස් ගණනක් පැරණි ප්‍රාථමික හණමිටි අදහසකි.
වර්තමානයේ ලිංගික සම්බන්ධතා යනු මූලික ලිංගික අවයවයන්ගෙන් එහාට ගිය දියුණු ක්‍රියාවලියකි. එහි සීමාවන් වචනවල සිට හැඟීම්, දැනීම්, බැලීම් හරහා උපකරණ දක්වා විහිදේ. නමුත් ප්‍රාථමික ගෝත්‍රිකයෝ තවමත් ලිංගිකත්වය යනු මූලික ලිංගික අවයවවල කාර්ය කොටසක් ලෙස හඳුනාගෙන සිටිති. රාජපක්ෂවරුන් පෙළෙන්නේ මෙම මූලික දෘෂ්ටිමය ඌනතාවයෙනි. මෙවැනි තත්ත්වයක් තුළ රංගන ශිල්පිනියට සිදුකළ ලිංගික බලපෑම සිල්ලරට ගැනීම අශීලාචාර ශෝකාන්තයකි.
කාන්තා නියෝජනය වැඩිකිරීමේ මූලික පදනම වූයේ කාන්තා දේශපාලන සහභාගීත්වය රට තුළ වැඩිකොට එමගින් කාන්තාවන් මේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි. එමගින් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, වත්මන් ආණ්ඩුවේත් අරමුණ බව බැලූබැල්මට පෙනේ. රාජපක්ෂවරු කාන්තාව හා ලිංගිකත්වය පිළිබඳ අඩු තක්සේරුවකින් හා ගෝත්‍රික මතවාදයක සිටියද, ආණ්ඩුව ලොව පිළිගත්, සියලුම සීලාචාර රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්රමවේදයන්ගේ එළඹ සිටියි.