ආර්ථික මොඩලයක් ලෙස නව ලිබරල්වාදය හඳුන්වා දුන් ආසියාවේ මුල්ම රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද එකකි. නව ලිබරල්වාදය යනු ලිබරල්වාදයේම දිගුවක් වන අතර, එය නිදහස් වෙළෙඳ පොළ ධනවාදය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නකි.
මෙය ඇතැම් විචාරකයන්ට අනුව නිදහස් වෙළෙඳ පොළ පිළිබඳ අන්තවාදයකි (Fundamentalism). ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව ලිබරල්වාදය සම්බන්ධයෙන් මැසිවිලි නගන්නෝ බොහෝ වෙති. ඕනෑම ප්රපංචයක හොඳ සහ නරක යන දෙපාර්ශ්වයම පවතී. නව ලිබරල්වාදයද එසේය. එහිද හොඳ සහ නරක යන දෙවර්ගයම පවතී.
ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදී ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබුවේද, ඒවායේ ඇති හොඳ පැති අවශෝෂණය කර ගෙන ඇත්නම්, ඒ ප්‍රමාණවත් නොවන තරමින් බව පෙනී යයි. පෞද්ගලික ක්ෂේත්රයේ දායකත්වය උපරිම වශයෙන් ලබා ගැනීම නව ලිබරල්වාදයේ මූලික අදහසකි. එහිදී තනි පුද්ගලයාගේ නිදහස කෙරෙහි විශාල අවධානයක් යොමු වෙයි.
නව ලිබරල්වාදය තුළදී අකාර්යක්ෂමතාව සඳහා ඉඩක් නැත. තනි පුද්ගලයා විසින් තමන්ගේ අසාර්ථකභාවය සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුය. නව ලිබරල්වාදයේ තවත් වැදගත් ගුණාංගයක් නම් හැකියාව කෙරෙහි තබන විශ්වාසයයි (meritocracy). එනම් දක්ෂයාට සමාජ ක්රමයේ හිණිමං නැගීමට ඉඩහසර සැලසීමය.
නව ලිබරල්වාදය අනුදත් බොහෝ බටහිර රටවල දක්ෂයාට සිය හැකියාව මත ඉහළට යෑමේ හැකියාව තහවුරු කර ඇත. මෙනයින්, නව ලිබරල්වාදයේ නිසඟ ගුණය වන තරගය තුළින් දක්ෂයා ජය ගන්නා අතර, රටේ සමස්ත ආර්ථික හා සමාජීය පසුබිම වර්ධනය වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය තුළ ඥාති සංග්‍රහය, මිතුරු සංග්‍රහය සමාජ දේහය කාගෙන පිළිකාවක් මෙන් නැගී සිටී.
මෙහිදී නියාමනය හිමි කරන්නේ තවත් විශේෂිත භූමිකාවකි. දක්ෂයාට උපරිම ආරක්ෂාව සහ වරප්‍රසාද දෙන අතරතුරදීම සමාජ ආයතන තුළ නියාමනය ඉහළින් පවත්වාගෙන යෑමට යුරෝපයේත්, බටහිරත් නව ලිබරල්වාදය මත පදනම් වූ රටවල් සමත්ව සිටියි. උදාහරණයක් ලෙස බස් රථ සේවා පෞද්ගලික අංශය මගින් පාලනය වන අතර, රජය විසින් ඒවායේ ගුණාත්මක බව විශාල වශයෙන් නියාමනය වෙයි.
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික ප්රාග්ධනයට සෑහෙන තරම් ඉඩක් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති යටතේ ලබාදී තිබුණද, නියාමනය සඳහා ලබාදී ඇත්තේ ඉතා අඩු ඉඩකි. උදාහරණයක් ලෙස ප්‍රවාහන සේවා ගත හොත් එමගින් ලැබෙන සේවාවල ගුණාත්මකභාවය හොඳින් සහතික වන්නේද යන්න තහවුරු කිරීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රවාහන මාධ්‍යයක් වන ත්‍රිරෝද කර්මාන්තය නියාමනය කිරීම සඳහා තවමත් නියාමන ආයතනයක් හෝ නොමැත. එසේ නියාමනය නොවූ බොහෝ ආයතන පවතී.
යහපත් නව ලිබරල්වාදී ක්රමයක මූලික ලක්ෂණ සැබෑ තරගයත්, දක්ෂයාට ප්‍රමුඛත්වය ලබා දීමත්, නියාමනයත් ශ්‍රී ලංකාව තුළ සිදු වන බවක් තවමත් පෙනෙන්නට නැත.
දර්ශන අශෝක කුමාර